Print this Article


අවියක් වැනි ය වචනය

අවියක් වැනි ය වචනය

ඕනෑම අදහසක් අසන්නාට හෙවත් බාහිර සමාජයට ඒත්තු ගැන්වීමේ දී වචනය තරම් ශකත්තිමත් තවත් අවියක් නැහැ. ඒ නිසාම කට හෙවත් මුඛය ගැන කථා කරන කොට දේශනාවේ එන ප්‍රධානතම ප්‍රකාශයක් වන්නේ ” පුරිසස්ස හි ජාතස්ස කුඨාරි ජායතේ මුඛෙ” මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ මේ ලෝකයෙහි උපදින මිනිසා උපදින්නේ තමන්ගේ කටෙහි කෙඨේරියක් රඳවාගෙන යන අදහසයි.

කෙඨේරිය කියන මේ ආයුධයේ ස්වභාවය නම් දෙපැත්ත ම කැපෙන ගතියෙන් යුක්තව මුවහත් ව පවතිනවා කියන එකයි. ඉතින් කට, එහෙම නැතිනම් කටෙන් පිටවෙන වචනය ද දෙපැත්තට ම හසුරුවන්නට ශක්තිය තියෙනවා. ඒ නිසා තමයි මේ දැන් කියන අදහස ඒ එක්කම ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් එන ආකාරයෙන් ඇතැමුන් විසින් පාවිච්චි කරන්නේ.

අපේ සිංහල භාවිතයේ දී එන කියමනක් තමයි ”හොඳට නරකට දෙකට කට ම ය ” මෙයින් කියැවෙන්නේත් අර මුලින් පෙන්වා දුන් අදහසම යි. ඉතින් ඒක එහෙම නම් මේ වචනයට තිබෙන ශක්තිය අසීමිතයි.

අපේ බුදුරජාණන් වහන්සේ මේ තුන් ලොවක් ජය ගැනීමට සමත් වූයෙත් මේ වචනය සුපරිසුද්ධව පාවිච්චි කිරීම නිසාම යි.

”යො වදතං පවරො මනුජෙසු” කියලා ඡත්තමානවක ගාථාවන්හි බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ වන පළමුවැනි ගාථාවෙහි මුලින් ම සඳහන් වෙනවා, වචන කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ උත්තමයා වන්නේ බුදුරජාණන් වහන්සේ බව.

වචනය වැරැදි විදිහට පාවිච්චි කළොත් එය බරපතළ ජීවිත විනාශවලට ද හේතු වෙනවා. එය නිවැරැදි විදිහට පාවිච්චි කළහම මුළු ලොවක් සුවපත් කළ හැකි තත්ත්වයක් පවතිනවා. ජය ගත හැකි වෙනවා.

අභයරාජ නම් කුමාරයෙක් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයෙහි දඹදිව ඉන්දියාවේ නිඝණ්ඨනාථපුත්ත නම් ප්‍රසිද්ධ ශාස්තෘවරයා එක්ක මිත්‍ර සම්බන්ධකම් පවත්වමින් ක්‍රියා කළා. මේ අභයරාජ කියලා කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ දවස රජගහ නුවර රජකම් කළ මගධයේ අධිපති බිම්බිසාර රජතුමාගේ පුතණු කෙනෙක්.

දවසක් දා නිඝණ්ඨනාථපුත්ත හමුවීමට ගිය මේ කුමාරයාට ඔහු යෝජනවාක් කරනවා. මෙකක්ද? යෝජනාව

”රජ කුමරුනි, ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත ගිහින් පුංචිපහේ වාදයක් කරන්න ඕන. එහෙම කළහම එවැනි ප්‍රසිද්ධ ශාස්තෘවරයකු සමඟ ඔබ වාද කළා කියලා ඔබට මහත් වූ ප්‍රසිද්ධියකුත් ලැබෙනවා. ඔබ විසින් පළමුවෙන් ම අහන්න ඕන ප්‍රශ්නය මේකයි,

ශ්‍රමණභවත් ගෞතමයෙනි, ඔබ කෙනකුට අප්‍රිය, අමනාප වචන කියනවා ද? ”

එහෙම අහන විට, ”එසේ ය, මම එහෙම අප්‍රිය අමනාප වචන කියන අවස්ථා තිබෙනවා. කියලා ගෞතමයන් ප්‍රකාශ කළොත් ඔබට ඒ එක්කම අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමා ඔබත්, පෘතග්ජන ගැමියකුත් අතර වෙනසක් නැහැ නේද කියලා. නෑ මම එහෙම අප්‍රිය අමනාප වචන කථා කරන්නේ නැහැ කියලා භවත් ගෞතමයන් ප්‍රකාශ කළොත් ඔබ වහන්සේ එහෙම නම් දේවදත්ත අපායෙහි, නරකයෙහි උපදිනවා කියලා දේවදත්ත තෙරුන්ට අප්‍රිය වචන ප්‍රකාශ කළේ නැද්ද? එහෙම කළා නේද කියලා ප්‍රශ්න කරන්නට හැකියි. මෙතැන දි ශ්‍රමණ භවත් ගෞතමයෝ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී නිරුත්තර වෙනවා ” කියලා නිඝණ්ඨනාථපුත්ත ප්‍රකාශ කළා.

ඉතින් අභයරාජ කුමාරයා ඒ කරුණ පිළිගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් පසුදින ම නිවසට දානයට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. එහි දී මේ ප්‍රශ්නය ඇසීමටත් තීරණය කළා. ඉතින් එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ පසුදින කුමාරයාගේ දානයට වැඩියා.

දන් වළඳා අවසන් වුණහම මේ අභයරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ආසන්නයට ගිහින් මිටි ආසනයක වාඩි වී මේ ආකාරයෙන් ප්‍රශ්න කරනවා.

”ස්වාමීනි, ඔබ වහන්සේ අනුන්ගේ සිතට අප්‍රසන්න, අප්‍රිය වචන කථා කරන්නේ ද?” එවිට බුදුරජාණන් වහන්සේ එහෙම ස්ථිර නියමයක් නැහැ. හොඳ දේට හොඳයි කියනවා. නරක දේට නරකයි කියනවා. යනුවෙන් ප්‍රකාශ කළා. මේ වෙලාවේ අභයරාජ කුමාරයා තීරණය කරනවා

නිඝණ්ඨනාථපුත්ත මේ උත්තරයෙන් ම පරාජයට පත් වුණා කියලා. ඒ සමඟ ම බුදුරජාණන් වහන්සේ අසා සිටිනවා

”ඇයි ඔබ ඔය විදියට ඇසීමට හේතුව කුමක් ද” කියා. කුමාරයා මෙම සිද්ධියේ මුල සිට ම විස්තරය බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළා.

මේ කියන වේලාවෙහි අභයරාජ කුමාරයාගේ ඇකයෙහි උඩුකුරුව නිදන පුංචි දරුවෙක් හිටිය හැටි බුදුරජාණන් වහන්සේ දුටුවා. බුදුරජාණන් වහන්සේ ඒ දරුවා පෙන්වා මේ විදියට ප්‍රශ්නයක් මතු කළා.

”කුමරුවෙනි, ඔබේ ඇකයෙහි ඉන්න මේ ළදරුවා යම් විදියකින් කිසියම් හේතුවක් නිසා පුංචි ලී කෑල්ලක් උගුරේ හිර කර ගෙන මොර දෙමින් වේදනා විඳිනවා දැක්කොත් ඔබ මොකද කරන්නේ?” කියලා ප්‍රශ්න කළා.

එවිට කුමාරයා කියනවා ”ස්වාමිනි, දරුවට කිසිදු වේදනාවක්, අමිහිරි බවක් නොදැනෙන ආකාරයෙන් එය ඉවත් කරන්නට බලනවා. එහෙම බැරි වුණොත් වම් අතින් හිස තද කර අල්ලා ගෙන දකුණු අතේ ඇඟිල්ලක් උගුර ඇතුළට දමා ඒ නිසා කිසියම් වේදනා සහිත තුවාලයක් උගුරේ ඇති වුණත්, ලේ ගලමින් තිබුණත්, ඒ ලී කෑල්ල එළියට ගන්නවා. එහෙම කරන්නේ දරුවාට ඇති සෙනෙහස නිසයි ” කියලා කුමාරයා පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවෙහි දී බුදුරජාණන් වහන්සේ වචනයක් ප්‍රකාශ කිරීමේ දී අප විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක් ද යන්න හරිම ලස්සනට පෙන්වා දෙනවා.

යම් වචනයක් අසත්‍ය නම්, අවැඩ ගෙන දේ නම්, අනුන්ට අප්‍රිය ද, අමනාප ද, ඒ වචනය කීම සුදුසු නැහැ.

යම් වචනයක් සත්‍ය වුවත් අවැඩදායක, අනුන්ට අප්‍රිය, අමනාප වූවක් නම් එය ත් කීමට සුදුසු නැහැ.

යම් වචනයක් සත්‍යය ද, වැඩ දායක ද එයට අනුන් අප්‍රිය වුවත්, අමනාප වුවත් එය කිය යුතු වෙනවා.

යම් වචනයක් අසත්‍යය ද, අවැඩදායක ද එය අනුනට ප්‍රිය වුවත්, මනාප වුවත් එය කීමට සුදුසු නැහැ.

යම් වචනයක් සත්‍යය ද, වැඩදායක ද එය අනුන්ට ප්‍රිය ද, මනාප ද එය කීමට සුදුසු යි.

මේ කරුණෙහි දී ඉස්මතු වන අර්ථය කුමක් ද? යන්න අප පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ මේ පිළිතුරෙන් අභයරාජ කුමාරයා වචනයේ පැවැතිය යුතු ගුණාංග කුමන ඒවා ද යන්න පැහැදිලිව වටහා ගත්තා.

බොහෝ විට විවිධ බන්ධනයන්ට හසුවෙලා අප ජීවත් වන මේ සමාජයෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව අප විසින් වචන පාවිච්චි කරනවා ද යන කරුණ තම තමන්ගෙන් ම ප්‍රශ්න කර ගත යුතු වෙනවා.

අප පුරුදු වෙලා ඉන්නේ ඒ ඒ වේලාවට කෙනකුගේ සිතට දැනෙන ප්‍රිය භාවය තේරුම් ගෙන වැරැදි, අසත්‍ය දේට වුණත් නිවැරැදියි, සත්‍යය යි කියන ආකාරයෙන් වචනය හැසිරවීමට නොවේ ද?

මෙය ස්ථිර අවංක බවකින් යුක්ත වන කෙනකුට පමණයි ක්‍රියාත්මක කළ හැකි වන්නේ.

රටේ මේ වනවිට සිදු වන මුදල් වංචා, දූෂණ, අක්‍රමිකතා, පිරමීඩ ගනුදෙනු ආදි විවිධ රටට, රට වැසියන්ට විපත්තිකර බොහෝ දේ සිදු වන්නේ මේ කියන අඩුපාඩු සහිත තත්වයන් යටතේ සත්‍යය, වැඩදායක, හිතකර තත්ත්වයන්ට ඉස්මතු වෙන්නට ඉඩ අවකාශ නො දී ලාභය, ප්‍රයෝජනය ම අරමුණු කොට ක්‍රියාත්මක වන තත්ත්වයන් පේනවා. ඒ යටතේ සමාජය ඉදිරියේ අදහස් වපුරන, ප්‍රකාශ නිකුත් කරන ජන කොටස් ශීඝ්‍රයෙන් වැඩි දියුණු වන තත්වයක් දක්නට ලැබෙන බව ප්‍රකාශ කරන්නට පුළුවන්කම තිබෙනවා. විවිධ දේශපාලන නායකයන් ජනතාව ඉදිරියට ඇවිත් ප්‍රකාශ කරන්නේ මෙවැනි අඳබාල ප්‍රකාශ. ඒවාට රැවටෙන බොහෝ පිරිස් වගේම ඔවුන් වටා ගොනුවෙන, ලාභ ප්‍රයෝජන ඔස්සේ යමින් ක්‍රියා කරන ජන කොටස් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අනුශාසනයෙන් බැහැර වී ක්‍රියා කිරීම පහසුවෙන් අපට දක්නට ලැබෙනවා.

සමාජයට හිතකර නම්, වැඩදායක නම්, අවංකවම එය සනාතනික වශයෙන් ම යථාර්ථය නම්, එවැන්න ප්‍රකාශ කිරීමටත්, ඊට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමටත් ක්‍රියා කිරීමට මිනිසුන් වශයෙන් අප සැම කෙනෙක් ම ක්‍රියා කළ යුතු වෙනවා. එවිට අප ඇස් ඉදිරිපිට දී ම ශීලාචාර සමාජයක් නිර්මාණය වෙනවා. ඒවගේ ම එවැනි සමාජයක පුද්ගලයා තවත් අයකු පිළිබඳ ඇති කර ගන්නා විශ්වාසය වැඩදායක වෙනවා. දැහැමි සමාජයක් ක්‍රමයෙන් ගොඩනැඟී කාටත් වැඩදායක ශිලාචාර සමාජයක් නිර්මාණය වෙනවා. කවුරුත් සත්‍යයට, යථාර්ථයට ගරු කරමින් ඔවුනොවුන් පිළිබඳ සැකෙන් බියෙන් තොර වූ සමාජයක් තුළ යහතින් ජීවත් වෙන්ට අවස්ථාව සලසා ගන්නවා.