Print this Article


සිල් නොරකින තැන විනාශය මහත් ය

සිල් නොරකින තැන විනාශය මහත් ය

සීලය යනු සිත,කය, වචනය යන දොරටු තුනෙන් කය, වචනය යන දොරටු දෙක සංවර කර ගැනීම යි. වැරැදිවලින් කය, වචනය රැක ගැනීමයි. පරපණ නැසීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී වශයෙන් ශාරීරිකව සිදු කරනු ලබන වැරැදිවලින් වෙන්වීම කායික සංවරයයි.

බොරුකීම, කේලම් කීම, වැඩකට නැති නිෂ්ඵල බස් දෙඩවීම ආදි වශයෙන් වන වැරැදිවලින් තොරවීම වාචසික සංවරය නම් වේ. මේ ආකාරයෙන් යම් යම් වැරැදිවලින් (පව්වලින්) වැළකීම ‘චාරිත්‍ර සීල’ නම් වේ.

වැඩිහිටියන්ට සැලකීම, ඔවුනොවුන් වශයෙන් මිත්‍රශීලිව හැසිරීම, පින්කම් කිරීම, පරිසරය සුරැකීම ආදි වශයෙන් හොඳ දෑ අනුගමනය කිරීම ‘චාරිත්‍ර සීල’ නම් වේ. සිරිත්විරිත් අනුගමනය කිරීම යනු මෙය ම යි.

සිල් සමාදන්වීම පිළිබඳ වැරැදි වැටහීම් නිසා අද බොහෝ බෞද්ධයෝ ශීලය කෙරෙහි දක්වන්නේ ආගන්තුක ස්වරූපයකි. සිල් දෙන භික්ෂුවගෙන් කොටසක් තමන්ට ලැබෙන බව සිතති. මේ නිසා සිල්වතුන් සොය සොයා ගොස් සිල් සමාදන් වෙති. සිල්වතුන්ගේ සිල්වලින් කොටසක් තමන්ට ලැබෙන නිසාත්, එහෙයින් පින් අත්පත් වෙන නිසාත් යන වැරැදි කල්පනාව හේතු කොට සිල් ආරක්ෂා කිරීමට ඔවුහු නොපෙලඹෙති.

එසේ නම්, සිල් සමාදන් වීම යනු කුමක්ද? සිල් සමාදන් වීම යනු සිල් භාර ගැනීමයි. උදාහරණයක් වශයෙන් සතුන් මැරීමෙන් වළකින ශික්ෂා පදය සමාදන් වෙමි. (පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි) ආදි වශයෙන් ඒ පව්වලින් වළකින බවට තිබෙන නීතිය (ශික්ෂා පදය) රකින බවට පොරොන්දු වීමයි. පොරොන්දු වූ පමණින් යමක් ඉටු නොවේ. එනිසා පොරොන්දු රැකිය යුතුයි.

එය සීලයයි. මෙය චේතනා සීලය වශයෙන් හැඳින්වේ. කෙනෙක් ළඟ පොරොන්දු වූ විට ඔහු සාක්ෂියට තබා වැරැදිවලින් වැළකී සිටිනවා මිස, සිල්දෙන පුද්ගලයාගේ සීලයෙන් කොටසක් තමන්ට ලැබෙන්නේ නැති බව අවබෝධ කර ගත යුතු ය.

සමාදන් වූ හෝ පොරොන්දු වූ පරිදි, අකුසලයන්ගෙන් ඈත්ව කුසලයන්ගෙන් යුක්තව ජීවත් විය යුතුයි. එය චෛතසික සීල වශයෙන් විශුද්ධි මාර්ගයේ දී හඳුන්වයි. මේවා පුරුදු පුහුණු කිරීම ම පුද්ගලයාගේ දියුණුවට හේතු වේ.

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො – චිත්තං පඤ්ඤං ච භාවයං

නැණවත් මිනිසා සිල් පුරා සමාධියත්,

(භාවනාව) ප්‍රඥාවත් වඩයි.

විමුක්ති මාර්ගය ගොඩනැඟී ඇත්තේ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශීක්ෂා මත යි. බුදු දහමේ අනුපූර්ව ලක්ෂණ යනු එයයි. අද කෙනෙක් පිළිවෙත් තේරුම් නොගෙන භාවනාව ම වඩති.

ඉන් ලද ප්‍රගතියක් නම් නැත. භාවනා කිරීමට පෙර සීලයෙන් ක්‍රියාකාරි විය යුතුයි. සීලයෙන් තොර භාවනාවක් නැත. ආදී චරණය වශයෙන් සීලය හඳුන්වන්නේ ද එම නිසයි.

රැකීමට පහසු ම හා රැකීමට අපහසු ම සීලය

සිල් මුලින්ම පිරිය යුත්තේ ඇයි?

මනසෙහි කෙලෙස් පවතින ආකාර තුන සලකා බැලීමෙන් එය තේරුම් ගැනීමට හැකිය. එනම් 1.අනුසය 2. පරියුට්ඨාන 3. වීතික්කම

මේවා මනසෙහි කෙලෙස් පවත්නා අවස්ථා හෙවත් ස්වභාවයයි. රාගය, ද්වේෂය, වෛරය, මානය, කුහකකම්, ගුණමකුකම් ආදී කෙලෙස් මනසෙහි පැලපදියම් වී නිදිගත් ස්වරූපයෙන් පවතියි. එසේ පැවැත්ම අනුසය වශයෙන් හැඳින්වේ. අනුසය වශයෙන් පවත්නා කෙලෙස් ප්‍රඥා ශික්ෂාව විසින් සංවර කෙරේ. යටපත් කෙරේ. (චිත්තානු පස්සනා වැනි) භාවනා තුළින් අනුසය ධර්ම නැති කිරීමට සම්මර්ශනය කරයි) යටපත් කර ගත නොහැකි විටෙක අළුයට ගිනිපුපුරු සේ ඇවිළෙමින්, කැකෑරෙමින් හාත්පසින් නැගී සිටින තත්ත්වයකට පත්වේ. එය පරියුට්ඨාන (පරිංඋට්ඨාන) වශයෙන් හැඳින්වේ. සමාධි ශික්ෂාව පරියුට්ඨාන අවස්ථාවේ මැඬ පවත්වා ගනියි. සිත එක අරමුණක මෙහෙයවීම, පිහිටුවීම, විසිරෙන්නට නොදී තබා ගැනීම සමාධියයි. එය දියුණු කිරීම භාවනාව බැවින් භාවනා පුහුණුවෙන් හාත්පස නැගී සිටි කෙලෙස් අවස්ථා සමනය කර ගනියි. මේ ආකාරයෙන් පරියුට්ඨාන කෙලෙස් පාලනය කර ගන්නට බැරි නම් වීතික්කම තත්ත්වයට පත් වේ. වීතික්කම යනු ඉක්මවා යෑම යි. පිටාර ගලා යෑමයි.

අභ්‍යන්තරික වශයෙන් පැවැති කෙලෙස් සමාජගතවීම නොහොත් බාහිර ගත වන්නේ මේ මොහොතෙයි. මේ මොහොත පාලනය කරන්නේ, සන්සුන් කරන්නේ, සංවර කරන්නේ, වළක්වන්නේ සීල ශික්ෂාවෙනි. කයින් හා වචනයෙන් සංවර නොවූ පුඟුලා නිරන්තරයෙන් ගැටුම්කාරි සමාජ පරිසරයක් ගොඩනඟා ගන්නේ මේ නිසා ය. මෙයින් සැප නොව දුක ම ඇති වේ.

සිදුවිය හැකි ලොකු කුඩා ගැටුම් වළක්වා ගෙන කුසලවන්ත ජීවිත ගත කර ගත හැක්කේ සිල්වතකුට පමණයි. මේ ජීවන පැවැත්ම සමාජ ප්‍රගතිය උදෙසා මිස දුගතිය පිණිස නොවේ. වළක්වා ගැනීම පහසුම අවස්ථාවක් වළක්වා ගැනීමට අපහසුම අවස්ථාවක් වීතික්කම මොහොත බව ඔබට දැන් වැටහේ.

සුදෝ සුදුවතින් සැරසුණු සැදැහැවතකු සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා, නිවන් දකිත්වා, සිතමින් මෙත් වඩයි. තිගැස්සී දෙනෙත් විවර කොට බලන්නේ නොදුරෙහි සිටින පුද්ගලයා, කලකට පෙර තම ජීවිතයට හානි කළ අසවලා යැයි හඳුනා ගනී. දැන් සන්සුන් මනස කැලැඹී ක්‍රෝධය බුර බුරා පැන නඟියි. තම ජීවිතයට කළ හානිය විවිධාකාරයෙන් සිහිවෙයි. සමාධිගත නොවූ සිතට මෙය පාලනය කළ නොහේ. පින්බර මුහුණ වෛරයෙන්, ක්‍රෝධයෙන්, පුපුරු ගසයි. විඩාබර වේ. හදවතෙහි ක්‍රෝධය නැමැති ගිනිදැල් දිදුලයි. දැන් දැන් මේ තත්ත්වය පාලනය කළ නොහේ. කට පියාගෙන සිටිය නොහැකි ය. බැණගෙන බැණගෙන යයි. ඉන් නතර නොවේ. අතට හසුවූ ගල් ගෙඩියකින් සතුරාට පහර දෙයි. ලේ පෙරාගෙන බිම වැටෙයි. එයින් මිය යයි. කුරාකුහුඹුවකුටවත් වරදක් නොකළ, මොහොතකට පෙර මෙත් වැඩූ අහිංසක උපාසක තැන මිනීමරුවෙක් වී ඇත.

ඉහත සිද්ධියේ මෙත් වඩන අවස්ථාවේ කෙලෙස් අනුශය වශයෙන් පවතියි. පුද්ගලයා හඳුනාගත් මොහොතේ සිට ඇතිවූ කැළඹීම් ස්වභාවය ‘පරියුට්ඨානය’ යි. සමාධිය පුහුණුූ නොකළ නිසා කැලඹුණු ක්ලේශ සංවර ගත නොහැකි විය. මෙහි “වීතික්කම” අවස්ථාව නම් බැණ වැදීමත්, ගල්පහර දීමත් ය.

කායික හා වාචසික වශයෙන් සංවර නොවූ හෙයින් කෙලෙස් පිටාර ගලා ගොස් සමාජගත විය. ඇතැම් විට ඔහුට වාචසික සංවරයක් නොතිබී කායික සංවරය තිබුණා නම් හෝ මිනිස් ඝාතනයක් නොවේ. සීලය නොරැක්ක නිසා අහිංසකයා මිනීමරුවෙක් වූ හැටි ඔබට වැටහෙනවා නේද?

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.