Print this Article


අනගාරික ධර්මපාල තුමා බුදු දහමේ අර්ථය ලෝකයට රැගෙන ගියා මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී අගමැති පවසයි

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දිනය සැමරේ

අනගාරික ධර්මපාල තුමා බුදු දහමේ අර්ථය ලෝකයට රැගෙන ගියා - මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී අගමැති පවසයි

අනගාරික ධර්මපාලතුමා බුදු දහමේ අර්ථය ලෝකයට රැගෙන ගිය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවති අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ දී පසුගිය 17 වැනිදා අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ය.

“අනගාරික ධර්මපාලතුමා ඉතා ඉහළ මනුෂ්‍යත්වයක් ලොවට දායාද කළ ලංකා පුත්‍රයෙක්. මෙවැනි අසීරු ගමනක යෙදෙන්න එතුමාට හැකි වුණේ එතුමා කෙරෙහි වූ මනුෂ්‍යත්වයේ ගුණාංග හා බුදුදහමේ ආලෝකය නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට දායාද කරන්න එතුමාට හැකි වුණා. සිද්ධාර්ථ කුමාරයා ඉපදුණ, බුද්ධත්වයට පැමිණි, ධර්ම දේශනා පැවැත ්වූ ස්ථාන යළි ලෝකවාසීන්ට දායාද කරන්න පුළුවන් වන්නේ අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීම සහ කටයුතු කිරීම නිසයි.

එසේ නොවන්නට එම ස්ථාන පිළිබඳ අදත් සාකච්ඡා කරමින් තිබෙන්නට පුළුවන්. ඉන්දීය රාජ්‍ය නායකයන් අනගාරික ධර්මපාලතුමාගේ කැපවීමට දැක්වූ සහයෝගය මේ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිහිපත් කරන්න කැමැතියි. අනගාරික ධර්මපාලතුමා බුදු දහමේ අර්ථය ලෝකයට ගෙන ගියා. පසුගිය ශත වර්ෂයේත් ඊට පෙරත් පැවති ලෝක දර්ශනවාදයන් හා ආගම් පිළිබඳ අදහස බොහෝ සරල බසින්, අර්ථාන්විත බසින් ඉදිරිපත් කිරීම නිසා අනගාරික ධර්මපාලතුමා ලොවට බුදුදහමේ පණිවිඩය ගෙන යෑමේ දී සුවිශේෂ අවස්ථාවක් උදා කර දුන්නා. ඒ පිළිබඳ විවිධ රටවල සවන් දුන් හා ලිඛිතව කියවූ අය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට පැමිණෙන්න පටන් ගත්තා.

“ලෝක විශ්වවිද්‍යාල බුදුදහම පිළිබඳ පර්යේෂණ කරන්නට ආරම්භයක් ගෙන ශතවර්ෂයක් පසුවට අප ජීවත් වන්නේ අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම අවස්ථාවේ දි යි. බානගල උපතිස්ස නායක ස්වාමින් වහන්සේ මේ ස්ථාන යළි පණ ගැන්වීමට කටයුතුª කළා. ඒ නිසා ජාත්‍යන්තර සම්බන්ධතා යළි ගොඩනඟන්නට, නායකත්වය දෙන්නට බානගල උපතිස්ස නායක ස්වාමින් වහන්සේ ඉටු කළ මෙහෙය මහා බෝධියට පමණක් නොව, ලෝක බෞද්ධ අනුගාමිකයන්ට මහත් වූ පණිවිඩයක් බවට පත් වුණා.

මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි, බෝදාගම චන්දිම නාහිමි, අම්බුලුගල සුමංගල හිමි ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.