Print this Article


ධම්මදින්නා තෙරණින් වහන්සේ

ධම්මදින්නා තෙරණින් වහන්සේ

දඹදිව්හි සුපතළ
රජගහනුවර තෙද බල
කුල ගෙයක එක් කල
ජනිත වූ කුමරියක සුකොමළ

රණලියක ගන්නා
හැඩරුව ගතෙහි පෙන්නා
පුරෙහි හැම දන්නා
විය ඇගෙ නම ධම්මදින්නා

විකසිත කුසුම විය
සපැමිණි දිවිය නිසි විය
විවාහය සිදුවිය
විසාබය සිටු ඇගෙ පති විය

බිම්සර නිරිඳු තෙම
මිතුරෙකි සෙනෙහ නොව නිම
දිනක ගොස් දෙව්රම
ඇසූ දෙදෙන ම තිලොව සදහම

බිව් අමා දම් පැන
දුක ම ය දිවිය අපමණ
නොසිරි සතුටක් ගැන
කුමට වෙහෙසෙනු ඉතින් තව දැන

මේ සියලු සම් පත
රැගෙන තුටු කර තුන් සිත
ධම්ම දින්නා ඉත
වෙසෙනු ගොස්
ඔබ මාපියන් වෙත

වැටුණ බස් සවනට
අනලක් නැඟී සිත යට
දැනී දුක ඇය හට
මෙසේ කීවා වැටී පා පිට

ඔබ හළ සම්පතින්
කිමද ඵල මට සැපතින්
හිමියනි ඉත සිතින්
පතමි වරමක් දෙනු මැනවිතින්

දරා ගෙන කහ වත
පුරා සදහම් මුනි වත
නිමා කර බව ගත
කරා පැමිණෙමි දිනක නිවන ත

අසා ඇගෙ මුදු බස
වඩවා හදෙහි නිති තොස
මෙහෙණි අරමක වැස
බොන්න සැලසූ දහම් අම රස

දැහැනට සම වැදී
බවුන් වඩමින් වැර දී
බව ගමනින් මිදී
ලැබූ අරහත් ඵලය සුසැදී

පැනසරස පඬි බව
නොමඳව පැවති නොතොරව
සුගත හිමි නොමඳ ව
දෙවු දම් කතික අග සව් බව