Print this Article


මහ සඟ රුවන ගුණ කඳ

මහ සඟ රුවන ගුණ කඳ

රෝහිණී තරුණිය විශාලා මහනුවර ධනවත් බමුණකුගේ දුවකි. ඇය තරුණ කාලයේ දී ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන්ව සිටියා ය. මහ සඟරුවන ගැන පහන් සිතින් නිතර සිහිපත් කළා ය. දිනක් ඇයගේ පියා ඔබ ශ්‍රමණයන්ට ඒ තරම් පි‍්‍රය කරන්නේ ඇයි දැයි විචාළේ ය. ඇය ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

මාගේ ශ්‍රමණයන් වහන්සේ පැවිද්දන් විසින් කළ යුතු කාර්යය ඉටු කර ගැනීමට වෙහෙසෙති. නිවන ලබා ගැනීමට අවශ්‍ය පිළිවෙත් පුරති. රාගය, ද්වේශය ආදී කෙලෙස් උන්වහන්සේට නැත. උන්වහන්සේ තුන් දොරින් සිදු කරන ක්‍රියා පිරිසුදු ය. සේදූ සක් මුතු වැනි ය. උන්වහන්සේගේ අභ්‍යන්තර සිතිවිලි ද, බාහිර ක්‍රියා ද පිරිසුදු ය. කුසල ධර්මයෙන් පිරුණහ. බහුශ්‍රැත ය. ධර්මධර ය. ආර්ය ය. දැහැමි දිවි ගෙවන්නේ ය. සිත එකඟ ය. මනා සිහියෙන් යුක්ත ය. උන්වහන්සේ දුර සෙනසුන් සොයා යති.

අතීතය හා අනාගතය ගැන නොසිතා වත්මනට අනුව දිවි ගෙවති. නොයෙක් කුලවලින්, නොයෙක් ප්‍රදේශවලින් පැමිණ පැවිදි වුවත් ඔවුනොවුන් කෙරෙහි පි‍්‍රයමනාප භාවයෙන් යුතුව ක්‍රියා කරති. මෙ නිසාවෙන් උන්වහන්සේ මා පි‍්‍රයයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ විශේෂත්වය වශයෙන් ඇය දැන ඇත්තේ සුපිළිපන් ගුණයයි. මෙම පිළිවෙත් සරු බවින් මෙන් ම, බාහිර පෙනුමෙන් ද එකල භාරතයෙහි විසු ශ්‍රමණ පිරිස්වලින් මහා සඟරුවන වෙන්කොට හඳුනා ගැනීම පහසු විය. මෙසේ පිළිවෙත් පිරු මහා සඟරුවන ඍජුව මාර්ගඵලාවබෝධය ලබා දෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කළහ. එ මඟින් සෝවාන් ආදී මඟඵල පිළිවෙළින් ගොස් නිවන් දැකීමට සමත් විය.

සිවුමඟ කටයුතු නිම කළ නිසා මහ සඟරුවන කළ යුතු දේ කර ගත් තත්ත්වයට පත්වෙති. සිය යහපත ළඟා කර ගනිති. බුදුරජාණන් වහන්සේ මුල් ශ්‍රාවක හැට නමට ඒ බව වදාරා ලෝවැඩ පිණිස චාරිකාවෙහි යෙදෙමින් දහම් දේශනා කිරීමට අවවාද අනුශාසනා ලබා දුන් සේක.

එම ශ්‍රාවකයන් 60 නම වෙන් වෙන් මාර්ගවලින් වැඩම කොට ඒ ඒ පෙදෙස්වල සැරිසරා දහම් දේශනා කරමින් ලෝවැඩ සැලසූහ.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කළ දහම් පණිවිඩය දුර බැහැර පෙදෙස් කරා ගෙන යාමටත්, එය පවත්වා ගැනීමටත් සුපිළිපන් මහ සඟරුවන අපමණ වෙහෙසක් දැරී ය. වත්මන් සමාජයේ ද බුද්ධ ශාසනය රඳා පවත්වනුයේ මහා සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨ සේවාව නිසා ය. ඒ කුමන ආකාරයේ වෙහෙර විහාර තිබූ පමණින් ම බුද්ධ ශාසනය රඳා පවතින්නේ නැත. ශාසනය පවතින්නේ උන්වහන්සේ ශාසනික, ආගමික, සමාජික වශයෙන් බෞද්ධ ලක්වැසි ජනතාවගේ නෙත් පාදන්නට මඟ පැදීම නිසයි.

එබැවින් මහ සංඝ රත්නයේ ගුණ අගයන්න. උන්වහන්සේගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කිරීමට අද අද ම අධිටන් කර ගන්න.