Print this Article


ලෝ සත සුවපත් කළ මහා කරුණා ගුණය

ලෝ සත සුවපත් කළ මහා කරුණා ගුණය

බුදුන් වහන්සේට මෙන්ම බුද්ධ ශ්‍රාවකයන්ට ද ධර්ම ප්‍රචාරයේ දී විවිධ ආගමිකයන්ගේ හා ශාස්තෘන්ගේ අභියෝගවලට මුහුණපෑමට සිදුවිය. සාමකාමී වාද විවාදවල පටන් චරිත ඝාතන හා මිනීමැරුම් චෝදනා එල්ල කිරීමේ මට්ටම දක්වා අභියෝගවලට උන්වහන්සේ අභීත ලෙස මුහුණ දුන්හ.

වරක් බුදුරදුන් නිසා තමන් ගැබිනියක වී යැයි චෝදනා කොට, බුදුරදුන් ඉදිරියට චිංචි මානවිකාව එවනු ලැබීය. තවත් වරක් සුන්දරී නම් බමුණු යුවතියක සම්බන්ධව බුදුහිමියන්ට එරෙහිව විශාල උද්ඝෝෂණයක් කරනු ලැබීය.

පෞද්ගලික හේතූන් මත නගරයේ රස්තියාදු වන්නන්ට අල්ලස් දී, ඔවුන් බැණවදිමින්, අවමන් කරමින් උන්වහන්සේ පසුපස යැවූ අවස්ථා ද විය. මේ සියල්ලට ම ප්‍රධාන හේතුව වූයේ එවක සමාජයේ ප්‍රචළිතව පැවති අනේකවිධ විශ්වාස හා ආගම් ය. විශේෂයෙන් ම බමුණු දහම උන්වහන්සේ අතින් නිර්දය විවේචනයට ලක්වීම ය.

බුදුන් වහන්සේගේ අභියෝගයන්ට මුහුණදිය නොහැකි වූ ආගමිකයන් විසින් ගන්නා ලද තවත් පියවරක් නම් බුදු සසුනෙහි පැවිදි වීමට පෙර ආගමික වත් පිළිවෙත් පුරමින් ම සඟ සසුන දූෂණය කරන්නට මාන බැලීම ය.

බුදුරදුන් වෙත පැවිදි වූ වෙනත් ආගමිකයන් අතර බුදු දහමෙහි හා සංඝ සමාජයෙහි තොරතුරු සොයා ගෙන තම ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළ ඔත්තුකරුවන් ද සිටි බව පෙනේ.

එවක බුදුහිමියෝ සඟ පිරිස ද පිරිවරා ගෙන රජගහනුවර ආසන්නයේ කලන්දක නිවාපයේ පිහිටි වේළුවන ආරණ්‍යයේ වැඩ වාසය කළහ. මේ දිනවල සුසීම නම් ආගමික නායකයා විශාල ගෝල පිරිසක් පිරිවරාගෙන රජගහනුවර වාසය කළේ ය. බුදුන් වහන්සේට රජගහනුවර වාසීන්ගෙන් ලැබුණු ගෞරවය සහ පුදසත්කාර තමන්ට නොලැබීම ගැන සුසීමගේ ගෝල පිරිස සිටියේ මහත් චිත්ත සන්තාපයෙනි. මෙම තත්ත්වයෙන් ගැලවීම සඳහා කුමන්ත්‍රණය කළ ඔවුහු තම නායකයා වූ සුසීම වෙත ගියහ.

“නායකයාණෙනි, නගරයේ හැම දෙනාම ගෞතමයන්ට පුද සත්කාර කරති. එහෙයින් අපට ලැබෙන්නේ අල්ප සැලකිල්ලකි. මේ සඳහා අප වහාම පියවරක් නොගතහොත් අපගේ ශාසනය පරිහානියට පත්වනු ඇත. ඔවුහු සුසීමට සැළ කළහ.

ඉතින් අප කරන්න ඕනෑ කුමක්ද? සුසීම විමසීය. ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය බොහෝ ජනපි‍්‍රයයි. ජනතාව ඒ ධර්මයට වශී වෙනවා. යළි යළිත් ඒ ධර්මය අසන්නට ම පි‍්‍රය කරනවා. ඒ නිසා ඔබතුමා ගොස් ශ්‍රමණ ගෞතමයන් ළඟ පැවිදිව, ඔහු කියා දෙන ඒ ධර්මය හොඳින් හදාරමින් අපට කියා දෙන්න. එවිට අපිත් එය උගෙන ජනතාවට ඒ ධර්මය අපේ ධර්මය ලෙස කියා දෙමු. එවිට අපටත් ශ්‍රමණ ගෞතමයන්ට වගේම සැලකිලි ලැබේවි.”

“ඒක හොඳ අදහසක්” යැයි පැවසූ සුසීම ආනන්ද හිමියන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා සිටියේ ය. ආනන්ද හිමියෝ සුසීම, බුදුන් වහන්සේ වෙත ඉදිරිපත් කළ විට ඔහු පැවිදි කරවන ලෙස බුදුන් වහන්සේ අනඳ හිමියන්ට උපදෙස් දුන්හ.

බුදුන් වහන්සේ ඔහුට කළ ප්‍රථම ධර්ම දේශනයෙන් ම යථාවබෝධය ලත් සුසීමට තමන් කරන්නට ගිය බරපතළ වරද අවබෝධ විය.

“ස්වාමීනි, මම පැමිණියේ අවංකවම ඔබ වහන්සේ වෙත මහණදම් පුරන්නට නොව, ඔබ වහන්සේගේ ධර්මය සොරාගෙන යෑමටයි. මට සමාවන්නයි සුසීම බුදුහිමියන්ගෙන් සමාව යැද්දේ ය.