Print this Article


තමන් සැනසී අනුන්ට ද සැනසීම දෙන්න

තමන් සැනසී අනුන්ට ද සැනසීම දෙන්න

මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට කැමැති අයගේ ප්‍රයෝජනය තකා ප්‍රායෝගික උපදෙස් ස්වල්පයක් මෙහි දක්වමු. මුලින්ම මෙත් වැඩිය යුත්තේ තමන්ට ම ය. මෙසේ කරන විට තම සිත සහ ගත පී‍්‍රතිමත් සැනසිලිදායක සාධනීය සිතිවිලිවලින් පුරවාගත යුතු ය. දුකින් කනස්සල්ලෙන් හා තරහින් තොරව සන්සුන්ව කල් යවන්නේ කෙසේදැයි සිතිය යුතු ය. එවිට ඔහු මෛත්‍රියෙහි මූර්තියක් බවට පත්වනු ඇත. මෛත්‍රියෙන් රැකෙන විට අහිතකර, පාපී විනාශකාරී සිතිවිලි හා කිරණ වළකා සිටින්නට ඔහුට හැකි වේ. නරකට හා වෛරයට ඔහු ප්‍රතිචාර දක්වන්නේ හොඳින් හා මෛත්‍රියෙන් ය. නිරන්තරයෙන් ම ඉවසීම ප්‍රගුණ කරන ඔහු කිසි විටෙක කෝපයට ඉඩක් නොදෙයි.

දිනපතා ජීවිතයේ දී මෙත් සිත් වඩන ඔහු ඇතුළතින් මෙන්ම පිටතින් ද සොම්නසින් ඉපිලෙමින් අන්‍යයන්ට ද සතුට ගෙන එයි. තමා සන්සුන් ව වෛරයෙන් තොරව සිටින විට අන්‍යයන් වෙත මෙත් වැඩීම පහසු වෙයි. තමන්ට මෙත් සිත නැතිව අනුන්ට මෙත් කළ නොහැකි ය. අනුන් පී‍්‍රතිමත් කරනට පෙර තමා පී‍්‍රතිමත් විය යුතුය. තමා සුවපත් කර ගන්නා මග තමන් දත යුතු ය. අනතුරුව තමන් අවට සිටින්නන්ට හා තමන් සෙනෙහස දක්වන අයට පොදුවේ හා වෙන් වෙන්ව මෙත් වැඩිය හැකි ය. ඔවුනට සැනසුම, සොම්නස හා රෝග උපද්‍රවයන් ගෙන් දුක් දොම්නස්වලින් නිදහස ද පැතිය හැකි ය.

ඥාතීන් හා මිත්‍රයන් වෙත මෙත් වැඩීමෙන් අනතුරුව තමන්ගේ මිතුරන් හා සතුරන් නොවන මැදහත් පිරිස් වෙත මෙත් වැඩිය හැකි ය.

තමන්ට හා තම නෑදෑ හිතමිතුරන්ට පැතූ සුවසෙත හා සතුට ම ඔවුන්ට ද පැතිය හැකි ය. මින්පසු තරමක් අමාරු කාර්යක් වුව ද, තමන්ගේ සතුරන්ට ද මෙත් වැඩිය යුතු ය. තමන්ට වෛර කරන අයට මෙත් වැඩීමෙන් ලබන්නේ අති දුෂ්කර ජයග්‍රහණයකි. බුදුරදුන් වදාළ පරිදි, වෛර කරන දනන් මැද අපි වෛර නොකර ජීවත් වෙමු.