Print this Article


බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ විචාර පූර්වක ශ්‍රද්ධාවයි

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ විචාර පූර්වක ශ්‍රද්ධාවයි

සෝවාන් මාර්ගඵල ලාභියකුවීමට නම් ශ්‍රද්ධාව පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගත යුතුයි. සංස්කෘතයේ දී මෙය “ශ්‍රද්ධා” ලෙස ද, පාලියෙන් “සද්ධා” ලෙස ද හැඳින්වෙන අතර එය සිංහල භාෂාවට බිඳෙනුයේ “සැදැහැ” යනුවෙනි. මෙහි අදහස වන්නේ විශ්වාසයට ඇදහීම නැතහොත් භක්තිය යන්නයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී ශ්‍රද්ධාව යනු ආගම හා සම්බන්ධ වචනයක් ලෙස සැලකේ. එය අර්ථයෙන් ගත්විට ආගමික සිරිත් විරිත් අදහන්නා “ශ්‍රද්ධාවන්තයා” ලෙස හඳුන්වනු ලැබේ. එනමුත් ශ්‍රද්ධාව යනු දෛනික ජීවිතයෙන් බැහැරවූ සංකල්පයක් නොවේ.

බෞද්ධයන් ආගමික වතාවත්වලට සහභාගිවී මේ දී හැමවිටම සන්සුන් සිතකින් ඊට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. ඔවුන්ගේ නොසන්සුන් වූ මනස් සන්සුන් කරනු පිණිස ආගමික කටයුතු සිදුකිරීමට පෙර බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්, නැතහොත් සැදැහැවත් පින්වතුන් යනාදී වශයෙන් ආමන්ත්‍රණය කරන අයුරු ඔබ අප කවුරුත් දන්නා කරුණකි. පුරාණයේ සිට පැවත එන ආමන්ත්‍රණය අදටත් දක්නට ලැබේ.

ඕනෑම පුද්ගලයකු කුමන හෝ ආගමක් අදහන්නේ ශ්‍රද්ධාව නිසා ය. එහෙත් බුදුදහමේ උගන්වනු ලබන "ශ්‍රද්ධාව" අන්‍ය ආගම්වල ඉගැන්වීම් හා සමාන නොවේ. බුදු දහමේදී ශ්‍රද්ධාව යන්න අධිකාරිමය ස්වරූපයක් නොගනී.

බුද්ධ දේශනාව අනුව ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකකි. එනම්, අමූලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා යනුවෙන් එම ප්‍රභේද දෙක දක්වා තිබේ.

අමූලිකා ශ්‍රද්ධාව යනු කරුණු විමසීමකින් තොරව හුදු භක්තිය පමණක් මුල්කරගෙන ඇති කර ගනු ලබන ශ්‍රද්ධාවයි. ප්‍රාග් බෞද්ධ යුගයේ දී බමුණත් අතර පැවතියේ මෙම අමූලිකා ශ්‍රද්ධාවයි. එනිසාම කිසිම වග විභාගයකින් තොරව වේදයෙහි කියූ දෑ ඒකාන්ත වශයෙන්ම සත්‍ය ලෙස පිළිගන්නා ලදී.

බුදුරජාණන් වහන්සේ උපමාවක් ගෙනහැර දක්වමින් අමූලිකා ශ්‍රද්ධාව බැහැර කොට තිබේ.

එම උපමාවට අනුව ඇස් පෙනෙන කපටි පුද්ගලයන් අන්ධයන් පිරිසක් වෙත ගොස් අසවල් ගම්මානයේ කෑම ඇති තරම් තිබෙනවා යැයි කියා ඔවුන්ගෙන් අල්ලස් ලබාගත්තේ ය. පසුව එම කපටියා එකිනෙකා කැසපටින් අල්ලාගෙන ටික දුරක් ගමන් කර පාරෙන් ඉවත්ව, මහ ගසක් යටට ගොස් මට වැඩක් තිබෙනවා යැයි පවසා නුඹලා යන්න යැයි කියා පලා ගියේ ය. අන්ධයෝ පිරිස ඔවුනොවුන් අල්ලාගෙන ගස වටේ යමින් මං මුළා වූහ.

වර්තමාන කාලයේ ද අමූලිකා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන බොහෝ උපාසක උපාසිකාවන් සිටින බව සිහිපත් කළ යුතු ය. මෙම අවිචාරවත් ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමට මාර්ගඵල ලාභියකුවීමට ඇති ඉඩකඩ ඇහිරීමක් බව සඳහන් කළ යුතු ය.

ආකාරවතී ශ්‍රද්ධාව යනු කරුණු හොඳින් පරීක්ෂා කොට බලා යමක් විශ්වාස කිරීමයි. බුදුරජාණන් වහන්සේ අනුමත කළේ අනුදැන වදාළේ විචාර පූර්වක වූ මේ ශ්‍රද්ධාවයි. ඥානය ලබා ගැනීමට අවශ්‍ය කරන මූලික උපන්‍යායන් ලෙස බුදුදහමේ දී ශ්‍රද්ධාව උපයෝගී කර ගනී. යම් අදහසක් ඇසූ විගස එය අසත්‍ය යැයි කියා එකවර ප්‍රතික්ෂේප කිරීම නොකළ යුත්තකි. එය සත්‍ය නිසි ලෙස දැන ගන්නා කරුණු ආරක්ෂා කර ගත යුතු ය. යමක් මනාව අදහන නමුදු එය සත්‍යවීමට, නොවෙනස් වීමට ඉඩ ඇත. එම නිසා සත්‍ය වැටහෙනතුරු එය ආරක්ෂා කර ගත යුතු සචිඡානුරක්ඛනා යනුවෙන් සූත්‍රවල සඳහන්ව ඇත. සචිඡානුරක්ඛනාව ශ්‍රද්ධාව නිසා පවතින්නකි. මින් අදහස් කරනුයේ යම් විශ්වාසයක් භක්ති පූර්වකව නොගත යුතු බවත්, සත්‍ය අවබෝධ වන තෙක් ශ්‍රද්ධාව අවශ්‍ය වන ප්‍රමාණයක් වශයෙන් බුදු දහමෙහි භාවිත කරන බවයි. එම නිසා රහත් වූ උතුමන්ට ශ්‍රද්ධාවක් නැත.

අභිධර්ම පිටකයෙහි ප්‍රථම ග්‍රන්ථයේ ශ්‍රද්ධාව පස්විසි සෝභන චෛතසිකයන්ගෙන් මුලින්ම සඳහන් වන කුසල සිත් හා යෙදෙන චෛතසික ධර්මයකි. බුද්ධාදීන් අරමුණු කොට සිත් හා යෙදෙන ධර්මයන් පහළවන ස්වභාවය ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව සිතෙහි ඇති වූ කල ලෝබ ආදී කෙලෙස් බැස සිත ප්‍රසන්න වන්නේ ය. මෙම ස්වභාවය සම්පසාදන ලක්ෂණ වශයෙන් මෙහි පෙන්වා දී ඇත.

එසේම සිතෙන් පාප ධර්මයන් නසමින් සිත කුසලයට නංවන හෙවත් සම්පක්ඛන්ධන ලක්ෂණය සිතෙහි යෙදුණු කළ මෙම තත්ත්වය ඇතිවේ.

ශ්‍රද්ධාව පිළිබඳ පූජ්‍යපාද හෑගොඩ ඛේමානන්ද නාහිමියන්ගේ ථෙරවාද න්‍යාය ග්‍රන්ථයේ දී න්‍යායානුකූල විග්‍රහයක් කර ඇත.

1. සද්ධා ප්‍රමාණය 2. ද්විධාවිපාකබව බුදුරදුන් විසින් දේශිතය. සද්ධා ප්‍රමාණයෙන් ආර්ය සත්‍ය අවබෝධය නොවේ. පරම සත්‍යාවබෝධය වූ විට සද්ධාව නැති වන්නේ ය. එනම් "ආරියා අස්සද්ධ” වන්නේ ය. තමා ම ප්‍රත්‍යක්ෂ කළ හෙයිනි.

එක්තරා පුත්‍රයෙක් මහියංගණ චෛත්‍ය ගොඩනඟා ඇති බව එය දුටු පියාගෙන් විමසයි. ඔහු ඇත්ත වශයෙන්ම විශ්වාස කරයි. අදහයි. පසුව දවසක පුතා එහි ගිය විට ඒ චෛත්‍යය දකියි. එවිට ඔහුගේ ඇදහීම ඉවත් වෙයි. ප්‍රත්‍යක්ෂය රඳයි. එමෙනි.

සද්ධා ප්‍රමාණය දෛනික ජීවිතයේ දී බොහෝ බලපාන්නේ ය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී “ශ්‍රද්ධාව“ යන්න ආගම හා සම්බන්ධ වචනයක් ලෙස හැඟේ. ආගමික ඉගැන්වීම් සිරිත් විරිත් අදහන්නා ශ්‍රද්ධාවන්තයා ලෙස අපි වහරමු. එහෙත් දර්ශනයක් වශයෙන් එන විට එය හුදෙක් යමකු හෝ යමක් විශ්වාස කිරීමයි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.