Print this Article


දෑස් පෙනුණ දලොව නොදකින්නෝ

දෑස් පෙනුණ දලොව නොදකින්නෝ

තණ්හාව, ඊර්ෂ්‍යාව, පළිගැනීම ආදී සිතිවිලි නිසා අද බොහෝ දෙනෙක් රෝගීහු බවට පත්ව සිටිති. ඒ රෝගී තත්වයන්ගේ ඵලය තමන්ට පමණක් විඳීන්න සිදු වූවක් නොවේ. අන්‍යයන්ගේ ද ජීවිත ද පෙළමින්, පීඩාවට පත් කරමින් නොනවතින අරගලයක අසුන්දරත්වය විදහා දක්වමින් සිටී. මෙසේ තනිකමින් හා පාළුවෙන්, අසහනයෙන්, ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් දැවෙමින්, ජීවිතයේ කිසිදු අරුතක් නොදැන, නොදැක ජිවත්වීම පුදුමයට කරුණක් නම් නොවේ.

විශේෂයෙන් තරුණ පිරිස් අතර මේ තත්වය වර්ධනය වීම කිසිසේත් ම සුබදායි නොවේ. මන්ද ඔවුන් ආවේගශීලි බැවිනි. එවිට තමන් තුළ වර්ධනය වන අයහපත් හැඟීම් නිසා ඔවුන් කරන කියන දේ පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නැත. නිවැරැදි කළ නොහැකි තරමට වැරැදීම් වන්නේ එවිට ය.

මිනිසාගේ සිතෙහි පරම සතුරා ආත්මාර්ථකාමී සිතිවිලි ය. තෘෂ්ණාව ය. මේ නිසා මිනිස් සිතේ සියලු පාප කර්ම ද, සාපරාධී ක්‍රියා ද හට ගනී. පෘතග්ජන මිනිසා සාමාන්‍යයෙන් කම්සැප - විඳීමට, වස්තුව - දේපළ අයිතිකොට ගැනීමට දැඩි ආශාවක් දක්වයි. ඔවුහු අගය කරන එකම දෙය ආශාවන් මුදුන් පමුණුවා ගැනීමත්, එයින් ලබන සතුටත් ය.

අන් අයට කරදර හිරිහැරයක් නොවන පරිදි තම තමාගේ ආශාවන් මුදුන් පමුණුවා ගැනීමෙන් එක්තරා සැනසීමක් ලැබෙන බව ඇත්ත ය. එහෙත් අවසන් ඵලය දුක්ඛිත ය.

ඒ වගේ සමහර දෙයකින් අප කිසියම් සතුටක් ලබනවා. ඒ සතුට ගෙනෙන දේ වඩ වඩාත් ළං කර ගන්නට, හිමි කර ගන්නට කැමැත්ත ඇති වෙනවා. ඒ වගේ ම සමහර දේ අපට ගෙන එන්නේ දුකමයි. අප උත්සාහ කරන්නේ ඒ දුක ගෙන එන දෙයින් ඈත් වීමටයි

මෙන්න මේ තෘෂ්ණාව හා ද්වේෂය පාලනය කර ගැනීමට නොහැකි වන්නේ නම්, සිදු වන්නේ දුකකින් තවත් දුකකට ලක්වීමයි. තෘෂ්ණා සිතිවිලි හා ද්වේෂ සිතිවිලි ක්‍රියා කරන්නේ එකටයි. එක් අවස්ථාවක තෘෂ්ණාව තවත් අවස්ථාවක ද්වේෂය බවට පෙරළෙනවා. හරියට එකම කාසියක දෙපැත්ත වගෙයි.

ඒ වගේ ම අපට සා - පිසාසා ඇතිවන විට ශරීරයට යම් ප්‍රමාණයක අපහසුතාවක් දැනෙනවා. එබඳු අවස්ථාවක ඒ හටගත් අපහසුතාව මඟ හරවා ගැනීමට සිත තුළ ආශාවක් හට ගන්නවා. එසේ ආශාවක් හටගත් විට සිත ඒ ආශාව තුනීකර ගත හැකි මාර්ග, ක්‍රම සෙවීමට පටන් ගන්නවා. ඒ සොයන දේ නොලැබුණු විට මේ අඩුව, අපහසුව දිගින් දිගට ම සිතට දැනෙන්නට වෙනවා. ඒ සෙවූ දේ ලැබුණොත් අපට තාවකාලික සහනයක් ලැබෙනවා. ඒ වගේ ම සමහර අවස්ථාවක ඒ අඩුව පිළිබඳ සිතෙහි පවතින අසහනය, හැඟීම් දුරුවී යනවා.

යම් බලාපොරොත්තුවක් ඉටුවන විට එතෙක් බලාපොරොත්තුවීමෙන් ලත් සතුට නැතවී යනවා. සමහර විටක එම බලාපොරොත්තු ඉටුවීමෙන් තෘප්තිමත් වන්නේ නැහැ. ඒ මන්ද යත් බලාපොරොත්තුව ඉටුවීමෙන් විඳීන්නට ලැබෙන්නේ බලාපොරොත්තු වූ සතුට ම නොවන නිසයි. ඒ නිසා අප තුළ අලුත් බලාපොරොත්තු, ආශා ඇතිවෙනවා. ලෞකික ජීවිතය ගොඩනැඟී තිබෙන්නේ ඉමක් කොනක් නොමැතිව උපදින මෙවන් වූ ආශා මෙන් ම බලාපොරොත්තු හා ඒවා තෘප්තිමත් කර ගැනීමට දරන උත්සාහයන් මතයි.

එය නිසි ලෙස තේරුම් නොගන්නා තාක් අපට සිදුවන්නේ සිතිවිලි සමඟ අරගලයක යෙදෙන්නටයි. අප වෑයම් කළ යුත්තේ ඒ සිතිවිලි අවබෝධ කොට ඉවසීමෙන් ජීවිතය කළමණාකරණය කර ගන්නටයි.