Print this Article


දෑතින් අල්ලාගෙන සිතින් අත්හැරීම

දෑතින් අල්ලාගෙන සිතින් අත්හැරීම

අප දකින හා නොදකින තිරිසන් ලෝකය හා සසඳා බැලූ විට මනුෂ්‍යයන්ගේ ප්‍රමාණය ගණනින් පැවසිය හැකි ය. ඒ ගණන කෝටි අටසියයක් පමණ වේ යැයි සිතමු. එසේ මනුෂ්‍ය ගහනය ගණනින් කිව හැකි වුව තිරිසන් ලොව වෙසෙන සතුන්ගේ ප්‍රමාණය කෙසේ නම් ගණනකින් පැවසිය හැකි ද?

මනුෂ්‍යයෙක් වී උපත ලැබූ වේ, බලවත් වූ පුණ්‍ය ශක්තියක් හේතුවෙනි.

මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වර්තමාන යුගය තුළ පරමායුෂ සාමාන්‍යයෙන් අවුරුදු සියයක් පමණ යැයි කීවත්, සියලු දෙනාට ම ඒ ආයුෂ ප්‍රමාණය එසේ නොවන බව ද ඉතා ම පැහැදිලියි. මෙලෙස ඉතා දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයට අප වටිනාකමක් එක් කළ යුතු වන්නේ බොහෝ දෙනෙකුට එය නොවැටහීම නිසා ජීවිතයට එක් කර ගන්නා නොවටිනාකම් තුළ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් විනාශයට පත්කර ගැනීම නිසා ය.

ගිහියන් ලෙස අප ජීවිතය පැවැත්වීමට රැකියාවක් කළ යුතු යි. ගේදොර ගොඩනඟා ගත යුතුයි. විවාහ දිවිය තුළ අපමණ යුතුකම් තිබෙනවා. මව්පිය වැඩිහිටියන් සමඟ, අසල්වැසියන් සමඟ, පූජ්‍ය පක්ෂය සමඟ, සමස්ත සමාජය සමඟ ගනුදෙනු කළ යුතුයි. එහෙත් ඒ සෑම තැනක දී ම විනයක්, ශික්ෂණයක් ඇවැසියි. පිළිවෙළක් ඇවැසියි.

තමන් ලද ශික්ෂණය තුළ තමන්ගේ ජීවිතය පමණක් නොව අන්‍යයන්ගේ ජීවිත ද තීරණය වනවා.

අපි සියලු දෙනා අන්‍යයන්ගේ ආදරය, සෙනෙහස, කරුණාව බලාපොරොත්තු වෙනවා. ගහනවට, බණිනවාට කැමැති නෑ. සියලු දෙනාට ම එය පොදුයි. එසේ නම් ආදරයයි, කරුණාවයි, ලෙන්ගතුකමයි, මනුෂ්‍යකමයි හදවතේ තැන්පත් කර ගෙන ලෞකික ජිවිතය ගැන සිතන්න පුරුදු වන්නට ඕනෑ. ඒ වගේ ම මේ ලැබූ මනුෂ්‍ය ජිවිතයේ යථාර්ථය දකින්න, වටහා ගන්න පුරුදුවෙන්නත් ඕනෑ. මේ සියල්ල හටගත්තා වගේ ම නැතිව යන බව, කිසිවක් ස්ථිර හෝ සදාකාලික හෝ නොවන බව තේරුම් ගත යුතු වනවා.

එක් මොහොතක් නාසයෙන් උඩට ගත් ආශ්වාසය පහළට හෙළා නැවත උඩට ගන්නට නොහැකි වුණොත්, මෙතෙක් මම මගේ කියා සිතා අල්ලා ගත්, සියල්ල එතැනින් ම නිමාවට පත්වනවා නේ ද? එය ඕනෑ ම මොහොතක සිදුවිය හැකියි. එනිසා ලැබූ මනුෂ්‍ය ජීවිතයේ සැබෑ ව තේරුම් ගෙන ආධ්‍යාත්මික වශයෙන් සුපසන් සිතක් ඇති කර ගන්නට වෙහෙසෙමු.

සියල්ල වෙනස් වන ලෝකයක් තුළ තමා තමාට ම ඇගයීමක් මෙන් ම වටිනාකමක් එකතු කර ගනිමින් ලෞකිකව ජීවිතය පැවැත්විය යුතු වනවා. එසේ පවත්වන අතර පරමාර්ථ වශයෙන් ඔබව මේ ලෝකයට බිහි කළ අම්මා - තාත්තා පටන් පසුකාලීනව එකතු වන්නා වූ ස්වාමියා - බිරිඳ - දරුවන් පටන් ආරම්භ කරල තමන් තමන්ට දක්වන හිතවන්තභාවය, ලෙන්ගතුකම වගේ ම මුළු ලෝකයක් කෙරෙහි දෑත - දෙපයෙන් උදව්වක් - උපකාරයක් කරන්න නොහැකි විය හැකියි. නමුත් සිතින්, යහපතක් ම වේවා!, සුවපත් ම වේවා යැයි කියන අදහස සිතකට නගා ගන්න බැරිකමක් නෑ.

ඒ ආකාරයෙන් ඔබ ඔබේ සිතෙන් නිදහස් වෙන්න අවශ්‍යයයි. මගේ යැයි කියා ඔබ - ඔබේ දෑතින් අල්ලා ගෙන සිටියත් සිතින් නිදහස් වෙන බවක් අපේ සිත් පුරා හදවතට දැනෙන්න ඕනෑ. මේ තමයි අපේ සිතේ ඇතිවෙන නිවීම. නැතිනම් සැනසිල්ල.