Print this Article


සිත පහදවාගත් පිනක මහිමය

සිත පහදවාගත් පිනක මහිමය

අප තථාගතයන් වහන්සේ කරුණා සමාපත්තියට සම වැදී බුදු නෙතින් බැලුවා තමන් වහන්සේ අද කාටද පිහිට විය යුත්තේ කියලා. උන්වහන්සේ දුටුවා නිරයට යන්නට සිටින එක්තරා මහලු ස්ත්‍රියක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා

“මහණෙනි, අපි අද අසවල් ගම්මානයට පිණ්ඩපාතය වඩිමු” කියලා. ඒ භික්ෂුන් වහන්සේ පිරිස අතර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ සිටියා.

ඒ මහලු කාන්තාව වතුර කළයක් ගෙන නිවසට එමින් සිටියදී ඇය එන මාවතේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සඟ පිරිස වැඩියා. භාග්‍යවතුන් වහන්සේ පිටුපස සිටි මුගලන් මහරහතන් වහන්සේ අර ස්ත්‍රිය ඉදිරියට ගොස් වදාළා.

‘අම්මා, මේ වැඩ සිටින්නේ තුන් ලොව ජයගත් තුන් ලොවට ම පිළිසරණක් වූ අනන්ත බුදු ගුණයන්ගෙන් යුක්ත වන අපගේ ශාස්තෘ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ සියලු ලෝ සතුන් සසරින් එතෙර කරවනවා. ඔබ කෙරෙහි මහා අනුකම්පාවෙන් ශාස්තෘන් වහන්සේ මෙතැනට වැඩම කළේ. ඒ නිසා අම්මා හොඳට හිත පහදවාගෙන දොහොත් මුදුන් දී සතුටින් වන්දනා කර ගන්න' කියා වදාළා.

ඒ වදන් ඇසු ඇය ඔළුව උස්සල භාග්‍යවතුන් වහන්සේ දෙස බැලුවා. මහා පුරුෂ ලක්ෂණවලින් යුතු මහා රූපවන්ත, තේජාන්විත, නිවුන, අසිමිත ගුණ ඇති ශාස්තෘන් වහන්සේ දෑස පුරා දැක ගත්තා. ඇයට නිම්හිම් නැති සතුටක්, පී‍්‍රතියක්, ප්‍රබෝධයක් දැනුණා. සතුටින් සිතත්, කයත් පිරී ගියා. මෙතරම් ආනුභාවයක් තිබෙන මේ උත්තමයා මා කෙරෙහි අනුකම්පාවෙන් මෙතැනට වැඩම කළේ. ඒ නිසා මම හොඳට වන්දනා කර ගන්න ඕනෑ යැයි සිතා දෝත මුදුන් තබා සිත සතුටින් වන්දනා කර ගත්තා.

භාග්‍යවතුන් වහන්සේ බුදු නෙතින් දුටුවා මේ අම්මාගේ සිත සතුටින් පිරී තිබෙන බවත්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී තිබෙන බවත්. උන්වහන්සේ එතැනින් වැඩම කළා අදාළ වෙලාවට අදාළ පින කර ගන්නට උන්වහන්සේ ඇයට පිහිට වුණා. අප යම් දුකක් විඳින්නේ ඊට අදාළ පින නැතිකමින්, එයට අදාළ පින කර ගත් විට ජීවිතය සුවපත් වෙනවා.

ටික වෙලාවකින් පිස්සු හැදුන ගවයෙක් ඇණ ඒ අම්මා මිය ගියා. ඇය නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව උපන්නා.

ඇයට පහළවෙලා තිබුණා මහා විශාල, ඉතා සුන්දර දිව්‍ය විමානයක්. රන් දැලෙන් සැකසුනු රන් වියන් බැඳි රනින් නිම වූ විමානයක්. එහි අධිපතිනිය ඇය යි. මහළු ව, කෘෂ වී ගිය සිරුරක් සහිතව, දුර්වර්ණව මනු ලොව සිටි ඇය දැන් ඉතා සුන්දර දිව්‍යාංගනාවක්.

දිනක් අපගේ මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ දෙව් ලොව චාරිකාවේ වැඩියා. උන්වහන්සේ මේ සුන්දර රනින් කළ දිව්‍ය විමානය දුටුවා. සුන්දර දිව්‍ය විමානයක්. මෙහි අධිපති දෙව්දුව කවුද කියා උන්වහන්සේ අසා සිටියා. ඒ දෙව්දුව දිව්‍ය විමානයෙන් එළියට ආවා.

“පින්වත් දෙව්දුව, ඔබ මනු ලොව සිටිද්දී මෙතරම් මහානුභාව සම්පන්නව උපදින්නට කර ගත් පින කුමක්ද?

“පින්වත් ස්වාමින් වහන්ස, මම මිනිස් ලෝකයේ දී මහා ලොකු පින් කර ගත් තැනැත්තියක් නොවේ. මම පෙර ජීවිතයේ දිළිඳු, මහලු තැනැත්තියක් ව සිටිද්දී දිනක් භාග්‍යවතුන් වහන්සේත්, ඔබ වහන්සේත්, සඟ පිරිසත් මා ඉදිරියට වැඩියා. ඒ වෙලාවේ ශාස්තෘන් වහන්සේගේ ගුණ මට කියා දුන්නා. ඒ අප්‍රමාණ බුදුගුණ කෙරෙහි හිත පහදා ගන්නට කිව්වා. බැබැළෙන ඒ බුදු සිරුර දැක මම සිත පහදවා ගත්තා. එයයි මම කරගත් එකම පින. ස්වාමිනී, ඒ පිනේ විපාකය මම අද අත්දකිනවා. මේ දිව්‍ය සැප සම්පත් සියල්ලත්, දීර්ඝායුෂත්, සුන්දර රූපයත්, මහා පිරිවරත් ලැබුණේ ඒ පින නිසාම යි.