ඉන්ද්‍රිය අසංවර වන තැන ...
දර්ශනපති, අභිධර්මාචාර්ය
අමර සතරසිංහ
අපේ සිතට ආයතන හයක් ඔස්සේ අරමුණු ගලාගෙන එනවා. මේ ආයතන හය ඔස්සේ අරමුණු ගලාගෙන එන
නිසා ඒවාට ද්වාර කියලත් කියනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ද්වාර ඔස්සේ අපි
පිළිවෙලින් රූප දකිනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස ලබනවා,
අරමුණු ගන්නවා. අපි සිහිමුළාවෙන්, යෝනිසෝ මනසිකාරයෙන් තොරව ප්‍රිය රූප දකින විට ඒ
රූප ගැන ප්‍රියසටහන් සිහි කරනවා. එය විඳීන්නේ ඇළුනු සිතකින්. එවිට ඒ රූපය නිසා
නොයෙක් විඳීම් සිත තුළ ඇතිවෙනවා. සිත ආසාවෙන් සහ අසහනයෙන් පිරෙනවා. එවිට කර්ම
රැස්වෙනවා. නිවනින් ඈත් වෙනවා. තවද අප්‍රිය රූප දකින විට ඒ හා ගැටී කර්ම රැස්
වෙනවා. මෙයට ඉන්ද්‍රිය අසංවරය කියා කියනවා.
සුත්‍ර ගණනාවක, මේ ඉන්ද්‍රිය අසංවරය නිසා දුක් හටගන්නා බැවින් ඉන්ද්‍රිය සංවර කරගෙන
ඒ දුක් හට ගැනීම වළක්වා ගන්නා හැටි පැහැදිලි කරලා තියෙනවා. අපි ඒ සුත්‍රවලින්
කිහිපයක ඉන්ද්‍රිය අසංවරය ගැන දක්වා ඇති කරුණු ස්වල්පයක් සලකා බලමු.
ගිරිමානන්ද සුත්‍රය
නිවන අසංඛත යි. එහෙත් නිවන හැර අනිකුත් සියලු ධර්ම සංඛත යි. ඒවා අනිත්‍යයි. දුකයි,
අනාත්මයි. අනිත්‍යයි කියන්නේ හේතුන් නිසා හටගෙන හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ
වෙනවා කියන එකයි. පෘතග්ජන පුද්ගලයා ද්වාරවලින් ගත් අරමුණු නිසා හටගත් මනාප /අමනාප
ගැන කල්පනා කර කර ඒ අනුව චේතනා/කර්ම රැස් කරන බව ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරලා
තියෙනවා. තවද අවසේඛ පුද්ගලයා මනාප/අමනාප හටගත් විට ඒවා සංඛත, ඕලාරික,
පටිච්චසමුප්පන්න බව (හේතුන් නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන බව) දැන
ගන්නා නිසා ඒ පිළිබඳ චේතනා/කර්ම රැස් කර ගන්නේ නැති බව ගිරිමානන්ද සුත්‍රයේ
පැහැදිලි කරලා තියෙනවා.
මාලුංක්‍යපුත්ත සූත්‍රය
මාලුංක්‍යපුත්ත උග්ගටිතඤ්ඤ පුද්ගලයෙක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා
කරන දෙය වහා පරිපුර්ණ වශයෙන් අවබෝධ කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙටියෙන්
මාලුංක්‍යපුත්තට මෙසේ දේශනා කළා.
දැකපු නැති රූපයක් දකින්න ඕනේ ය කියා මාලුංක්‍යපුත්තගෙන් විමසුවා. මාලුංක්‍යපුත්ත
‘නැතැයි’ කියා පිළිතුරු දුන්නා. ඇසින් දකින රූපය දැකීම් මාත්‍රයකින් අවසන් කරන්න.
එසේ එය අරමුණු මාත්‍රයක් පමණක් බව දකින ලෙස, බුදුන් වහන්සේ මාලුංක්‍යපුත්තට දේශනා
කළා. මේ ආකාරයට ශබ්ධ, ගන්ධ, රස ආදිය ගැන ද පැහැදිලි කළා.
යමකු සිහි මුලාවී (යෝනිසෝ මනසිකාරයෙන් තොරව) ඇසින් රූප දකින විට ප්‍රිය සටහන් සිහි
කරයි. ඒ විඳීම් ඇලුණු සිතින් විඳ ගනී. එවිට සිත ආසාවෙන් අභිද්‍යාවෙන් සහ අසහනයෙන්
පෙළෙයි. දුක් රැස් කර ගනී. මාලුංක්‍යපුත්ත මහලු වයසේ දී පැවිදි වුවත් කෙටියෙන්
බුදුන් වදාළ මෙම ධර්මය අසා භාවනා කොට රහත් වුණා.
මාලුංක්‍යපුත්ත තෙරුන්ව නැවත ගිහිගෙට ගැනීමට ඔහුගේ ඥාතින් උත්සාහ කළා. නමුත්
මාලුංක්‍යපුත්ත මේ ඉන්ද්‍රිය අසංවරයෙන් කර්ම රැස්වෙන හැටි ඔවුනට පැහැදිලි කරලා,
ඔවුන් ව ධර්ම මාර්ගයට යොමු කළා.
ධර්මයේ හැසිරීමට ප්‍රමාද වුවහොත් වැලක්, ගසක් ඔතාගන්නා සේ තෘෂ්ණාව රැස්වෙනවා.
තෘෂ්ණාවට ඕනෑම දෙයක් යට කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ගතහොත් ඇසින් දකින රූපයට
ඇලී යාම දැක්වුවා. මින් ලබන ආස්වාදය සමඟ සසර දික්වෙනවා. ඒ නිසා ද්වාර හයකින් එන
අරමුණුවලින් සිත ආරක්‍ෂා කර ගත යුතු බව ඥාතීන්ට ප්‍රකාශ කළා. දුක් නැති කිරීමට මේ
තෘෂ්ණාව නැති කළ යුතුයි. ඇසින් රූප දකිද්දි ඒ පිටුපස ඒ ආයතනයන්ට අධිපති වු මාරයන්
ඇති බවත්, මාරයාට යට කිරීමට ඉඩ නොදෙන ලෙසත් මාලුංක්‍යපුත්ත ඥාතීන්ට අනුශාසනා කළා.
මෙලෙස ඉක්මනින් ධර්මයේ හැසිරී ආර්ය සතය්‍ය නම් විද්‍යාව උපදවා ගෙන තෘෂ්ණාව නසන ලෙස
තම ඥාතීන්ට මාලුංක්‍යපුත්ත තෙරුන් ධර්මයෙන් අනුශාසනා කළා.
කර්ම සකස්වීම, එනම් භවය සකස්වීම හේතු කරගෙන ඉපදෙනවා.
ඉපදිම හේතු කරගෙන ජරා– මරණ, සෝක වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම්
ආදිය හටගන්නවා.
මේ ආකාරයට ඉන්ද්‍රිය අසංවරය නිසා ද්වාර හයෙන් ගන්නා රූප,ශබ්ද, ගන්ධ,රස, පහස, ධම්ම
පිළිබඳ ඇලීම්, ගැටීම්, ඇති කර ගෙන අනවරත සංසාරේ දිගටම ගමන් කරනවා. අපරිමිත වූ දුක්
විඳිනවා
(ඉන්ද්‍රිය සංවර සූත්‍රයෙන්)
ඉන්ද්‍රිය භාවනා සුත්‍රය
මෙහිදි රූප නො බලා සිටීම, රූප බැලීමෙන් කර්ම රැස්වීම නතර කිරීමට පිළියම නොවන බව
පැහැදිලි කළා. එසේ කළ හැකි නම්, අන්ධ අය හොඳීන්ම ඉන්ද්‍රිය සංවර කරන අය විය යුතු
වෙනවා. ඉන්ද්‍රිය සංවරයට කුමක් කළ යුතු ද යන්න මේ සුත්‍රයේ හොඳීන් පැහැදිලි කොට
තිබෙනවා. ද්වාරවලින් නිමිති ගැනීම වළක්වන්න බැහැ. ඒ නිසා ඉන්ද්‍රිය භාවනාව වැඩිය
යුතුයි. නිමිත්තක් ගත්විට මනාප, අමනාප, මනාප/අමනාප තත්වයන් උපදී. රූපයක් දුටු විට
මනාපයක් අමනාපයක් මනාප/අමනාපයක් ඉපදී ඇතැයි ආර්යය ශ්‍රාවකයා දැන ගනී. ඒවා සංඛත ධර්ම
බව දැන ගනී. ඇස, රූපය, චක්ඛූ විඤ්ඤාණය නිසා ස්පර්ශ වේදනා, සංඥා, චේතනා පහළ වේ.
චක්ඛු ප්‍රසාදය, රූපය, චක්ඛූ විඤ්ඤාණය සංඛත යි. එනම් හේතු නිසා හටගෙන ඇත. මෙය
මැනවින් අවබෝධ කර ගන්නා විට විදර්ශනා උපේක්‍ෂාව හට ගනී. විදර්ශනා උපේක්‍ෂාව හටගන්නා
විට මනාප, අමනාප, මනාප/අමනාප වශයෙන් නො ගෙන නිරුද්ධ වේ. මෙය නිවනට මඟයි.
රාහුලෝවාද සූත්‍රය
බුදුන් වහන්සේ පුංචි රාහුල ස්වාමින් වහන්සේගෙන් ඇසුවා ඇස නිත්‍ය ද, අනිත්‍ය ද; රූපය
නිත්‍ය ද අනිත්‍ය ද; විඤ්ඤාණය නිත්‍ය ද අනිත්‍ය ද කියලා. මේ සියල්ල ම අනිත්‍ය,
දුක්ඛ, අනාත්ම බව පුංචි රාහුල හාමුදුරුවෝ බොහෝම නිවැරැදිව අවබෝධයෙන් බුදුන් වහන්සේට
පිළිතුරු දුන්නා.
ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය සහ ශරීරයෙන් හටගන්නා විඳීම් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව
පැහැදිලි කළා. තෙල්, වැටිය, දැල්ල යන තුනම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වේ. ඒ නිසා එයින්
හටගන්නා ආලෝකය ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වේ. ආර්ය ප්‍රඥාවෙන් මේ දුක් සැප විඳීම්
කෙරෙහි හට ගන්නා ඇලීම් නන්දිරාගය දුරු කළ යුතු වන බව පුංචි රාහුල හාමුදුරුවන්ට
පැහැදිලි කළා. එසේ කිරීමෙන් කර්ම රැස්වීම නතර කළ හැකි බව ද පැහැදිලි කළා. පුංචි
රාහුල හාමුදුරුවන් රහත් වුණා.
නිවන් මඟේ ආරම්භය ඉන්ද්‍රිය සංවරයයි. මනස, ඉන්ද්‍රිය සංවරයට පිළිසරණ ය. අරමුණු ගැන
නිමිති, අනුනිමිති නොගත යුතුයි. ආදිත්තපරියාය සුත්‍රයේ දී සඳහන් කරනවා ඇසින් රූප
ගෙන නිමිති, අනුනිමිති ඇති කරගෙන ඒ ඔස්සේ චේතනා කර්ම රැස්කර ගැනීම රත්වු යකඩයකින්
ඇස අතුල්ලා ගැනීමට වඩා භයානක බව. ඊට හේතුව ඒ අරමුණු ගැනීම නිසා සසරේ දි විඳීමට
සිදුවන දුක් කන්දරාව ඊටත් වඩා අති විශාල වීමයි. ඒ නිසා ද්වාරවලින් අරමුණු ගලා ඒමේ
දී ඒවා සංඛත බවත් හේතු නිසා ඇතිවී, හේතු නිරුද්ධ වීම නිසා නැතිවන බවත් හොඳීන්
යෝනිසෝ මනසිකාරයෙන් දැනගෙන ඒවා මත ඇලි ගැටී නොසිටිය යුතුයි. |