Print this Article


දෙලොවම සැප සලසන අනුසස් පිරි කුසල කර්මය

දෙලොවම සැප සලසන අනුසස් පිරි කුසල කර්මය

දානය යන වචනයේ සරල අදහස දීම යනුයි. යමක් දීමේ දී දෙන්නා තුළ පැවතිය යුතු ගුණාංග රාශියකි.

පළමු කොට දායකයා සීලාදී ගුණධර්මයන්ගෙන් පිරිපුන් අයකු විය යුතුයි. සීලයෙන් පිරිහුණු අයකුගේ දානය සත්පුරුෂ දාන ගණයට අයත් නොවේ.

දෙවැන්න ඔහු තුළ අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් මුල් ඉදිරිපත් විය යුතු ය. අලෝභය නම් දෙනු ලබන දෙය කෙරෙහි ඇති ඇල්ම හෙවත් ආශාව දුරු කිරීමයි. යමෙක් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් දන් දෙයි නම් එහිදී ද ලෝභය ඉදිරිපත් වෙයි. අද්වේශය නම් ප්‍රතිග්‍රාහක පක්ෂය කෙරෙහි හෝ වෙනත් පක්ෂයක් කෙරෙහි ද්වේශයෙන් තොරව දන් දීමයි. මෛත්‍රී සහගත සිතින් දන් දිය යුතු ය යනු මෙහි අදහසයි.

ඇතැම්හු සිය වස්තුව පරිත්‍යාග කරනුයේ ඥාතීන් හෝ දරුවන් කෙරෙහි වන ද්වේශයෙනි. ඔවුන් කෙරෙහි වන ද්වේශය දාන ස්වරූපයෙන් වඤ්චක ධර්මයක් ලෙසින් පහළ වූ විට මෙවන් දාන දෙනු දක්නට හැකි ය.

කිනම් ක්‍රමයකින් හෝ ද්වේශය පදනම් කොට දීම දානය දුර්වල වීම සඳහා හේතු වෙයි. අමෝහය නම් මුළා නොවීමයි. කර්ම කර්මඵල නො අදහනසුලු ස්වභාවය මෝහය නම් වේ. ඒ අනුව කර්මඵල නොඅදහන්නහුගේ දානය අසම්පූර්ණ වූවකි. මූලික වශයෙන් දානයක් අංග සම්පූර්ණ වීම සඳහා ඉහත සඳහන් ගුණාංග සම්පූර්ණ විය යුතු ය.

මීට අමතරව දානය සඳහා යොදාගන්නා දාන වස්තුව ද ධාර්මික විය යුතු ය යන්න බෞද්ධ ඉගැන්වීමයි. බාහු බලයෙන් දහඩිය වගුරුවා ධාර්මිකව උපයන ලද වස්තුව වියදම් කොට දානෝපකරණ සූදානම් කොට ගත යුතු ය. මෙහි දානෝපකරණ යනුවෙන් ආහාරපාන, වස්ත්‍ර, බෙහෙත් වැනි කිනම් දානෝපකරණයක් හෝ ගත හැකි ය. තවත් අයකුගෙන් යමක් පැහැර ගැනීමෙන්, සොරා ගැනීමෙන්, අධාර්මික ධනෝපායන ක්‍රම මඟින් ලත් දානෝපකරණවලින් සිදුකරන දානය ධාර්මික දාන ගණයට අයත් නොවේ.

දානයක දී සම්පූර්ණ විය යුතු තුන්වැනි අංශය ප්‍රතිග්‍රාහක පක්ෂයයි. දීමට සිත හා පරිත්‍යාග කිරීමට වස්තුවක් ඇතත් ප්‍රතිග්‍රාහකයකු නොමැති කල්හි දානය අංගසම්පූර්ණ නොවේ. තම ආහාර බඳුනේ ඉතිරි වූ ඉඳුල් හෝ සතකුට ආහාරයක් වේවා යන චේතනාවෙන් ඉවතලීම පින් සිදුවන ක්‍රියාවකි. එහෙත් දානයක ආනිසංස වඩාත් දියුණු වනුයේ දායකයා මෙන්ම ප්‍රතිග්‍රාහකයා ද සීලාදී ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ කල්හි ය. වරක බුදුරදුන් වෙත පැමිණි බමුණෙක් කවරකුට දිය යුතු දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසීය. එවිට බුදුරජාණන් වහන්සේ පවසනුයේ යමකු කෙරෙහි පැහැදීමක් ඇද්ද ඔහු වෙත දිය යුතුයි යනුවෙනි. මෙහිදී කාහට දීමෙන් වඩා ප්‍රතිඵල ලද හැකි දැයි විමසූ බමුණාට පිළිතුරු දෙමින් මහා සංඝයා විෂයයෙහි දෙන ලද දෙය වඩා ආනිසංස දායක බව දේශනා කොට ඇත. එසේ දේශනා කොට ඇත්තේ උන්වහන්සේ තුළ පවත්නා සීලා දී ගුණ ධර්ම පදනම් කොට ගෙන ය.

සත්පුරුෂ දානපතියා කිසියම් අරමුණක් පෙරදැරි කොටගෙන දන් දෙයි. පරිත්‍යාගයක දී ඒ සඳහා ඉදිරිපත් වන අරමුණ ඉතා වැදගත් ය. තමා උසස් කොට ගැනීමට, අනුන් පහත හෙළීමට දෙන දානය ඵල රහිත ය. එය ඊර්ෂ්‍යා මාන උපදවයි.

යමක් දීමේ දී සෝමනස්ස සහගතවීම ඤාණ සම්පයුක්තවීම, අසංඛාරික වීම වඩා ප්‍රතිඵල ගෙන දෙයි. සතුටින් යුක්තව, කර්ම කර්මඵල ඇදහීමේ නුවණින් යුක්තව, තමාම මෙහෙය වී ක්‍රියාව සිදුකිරීම මෙයින් අපේක්ෂිතයි.

දානය ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වා ඇත. එනම් ආමිස දානය, අභය දානය සහ ධර්ම දානයයි. ධර්ම දානය සියලු දානයන් අභිභවා සිටී. ඒ සියලු යහපතට ධර්මයම හේතුවන බැවිනි. ආමිස දානයේ දී පූජා බුද්ධියෙන් දෙන දානය හා අනුග්‍රාහක බුද්ධියෙන් දෙන දානය යනුවෙන් දානය දෙයාකාර ය. බුදු, පසේ බුදු, මහරහත් උතුමන් විෂයයෙහි හා සීලයෙන් ගුණයෙන් උසස් උතුමන් කෙරෙහි දෙන දානය ප්‍රජා බුද්ධියෙන් දෙන දානයයි. තමා වෙත යමක් ඉල්ලා ගෙන එන හෝ බලාපොරොත්තුවෙන් සිටින අයකු වෙත අනුකම්පාව පෙරදැරි කොට දෙනු ලබන දානය අනුග්‍රාහක බුද්ධියෙන් දෙනු ලබන්නකි. මීට අමතරව අභය දාන යනුවෙන් එන ජීවිත දානය ද වැදගත් දානයකි.

දස පාරමිතා, සතර සංග්‍රහවස්තු, දස පුණ්‍ය ක්‍රියා, දොළොස් පින් ක්‍රියාවන්, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වැනි තැන්වල දානය ආරම්භයට ම යෙදෙයි. බුදුසමය මේ තරම් දානය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනුයේ ඇයි?

සියලු කෙලෙස්මල සුන් කිරීම නිවන ලෙසින් බුදුසමය පෙන්වා දෙයි. පුද්ගලයා තමා වටා සම්පත් ඒකරාශී කර ගැනීමේ අනාර්ය පර්යේෂණයක නිරන්තරයෙන් යෙදී සිටියි. සසර ගමන නැවතීමේ මඟ තෘෂ්ණාව නැවත නොනැඟෙන පරිදි දුරු කළ යුතු ය. තෘෂ්ණාව පවතිනතාක් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් සැරි සරයි. ඒ අනුව තෘෂ්ණාව දුරු කිරීමේ ක්‍රියාවලිය දානයෙන් ආරම්භ කළ හැකි ය. එය යමක් පරිත්‍යාග කොට එයින් විශාල දෙයක් බලාපොරොත්තුවෙන් නොකළ යුත්තකි. බොහෝ දේ බලාපොරොත්තුවෙන් දෙනු ලබන දානය වෙළඳාමකි. ඒ අනුව දානය තෘෂ්ණාව ක්ෂය කිරීම් සංඛ්‍යාත නිර්වාණ මාර්ගයේ මූලික පියවරක් ලෙස හඳුන්වා දිය හැකි ය.

වරක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මෙන් ම සෙස්සන් ද දානයෙහි අනුසස් දනිත් නම් බත් සරළුවකුදු දන් නොදී නොවළඳන බව පැවසූහ. ලාභීන් අතර අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේට ප්‍රත්‍යයන්ගෙන් කිසිදු අඩුවක් කිසිදු කලකවත් නොවූයේ සසර දෙන ලද දානානිසංසයන් හේතුවෙනි.

ලෝසක හිමියන්ට නිවන් දකින භවයේදීවත් කුස පිරෙන්නට ආහාර වේලක් නොලැබුණේ තමා විසින් පෙර භවයක දී සිදු කරන ලද දන් වැළැක්වීමක් හේතුවෙනි. විමානවත්ථු පාලියේ තමා විසින් සසරේ දෙන ලද දාන හේතුවෙන් දිවසිරි වළඳන බොහෝ දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු දැකගත හැකි ය. දානය එලොව මෙලොව දෙලොව ම සැප සලසන ආනිසංසදායක කුසල කර්මයක් බවත්, කෙලෙස් බැමි සිඳ සසර ජය ගන්නා මඟක් ලෙසත් හඳුනාගත හැකි ය.