Print this Article


පැවිදි පින්කමක්

පැවිදි පින්කමක්

කෑගල්ල දේවාලේගම නාරංදෙනිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ දී ඉකුත් 26 වැනි දා පෙරවරුවේ කුල දරුවෙක් සසුන් ගත කළ බව විහාරාධිපති පොල්පිටියේ සුමනසාර හිමියෝ පැවසූහ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල පිටකන්ද ග්‍රාමයේ පදිංචිව සිටින කේ.ඩී. අජිත් කුමාර, ජී.ඩී.සංජුලා මහේෂිකා යන මව්පිය යුවලගේ දෙටු පුත් 12 හැවිරිදි කේ.ඩී. විහඟ නෙත්මිදු දරුවා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ, ගිනිගත්හේන බෝකරබැවිල ශ්‍රී අභිනවාරාමාධිපති උඩු බුලත්ගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක කෙහෙල්වරාවේ පියදස්සි හිමි, දේවාලේගම නාරංදෙනිය ශ්‍රී නාගවනාරාමාධිපති පොල්පිටියේ සුමනසාර හිමි යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පිටකන්දේ විපස්සී නමින් පැවිදි කෙරිණ.

මෙම අවස්ථාවට සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රඹුක්කන දියසුන්තක රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කොටගම චන්ද්‍රරතන හිමි, නෙළුන්දෙණිය මාම්පිට රජමහා විහාරාධිපති බෙලිගල් කෝරළයේ අස්ගිරි විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක යටිගල්ඔළුවේ විමලරතන හිමි, කෑගල්ල බුළුගහදෙනිය ශ්‍රී විතානාරාමාධිපති කෑගලු විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති පරණකූරු කෝරළයේ ප්‍රධාන සංඝනායක හපුගොඩ පඤ්ඤාකිත්ති හිමි යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා දායක දායිකා විශාල පිරිසක් එක්ව සිටියහ.

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්