Print this Article


දුසී මාරයා නිරයේ ගිය හැටි

දුසී මාරයා නිරයේ ගිය හැටි

මේ සිදුවීම් සිදු වූ දිනවල දී අපගේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වැඩ සිටියේ භග්ග ජනපදයේ සුංසු මාගිරි කියන නගරයේ. භේසකලාවනය කියන මුවන් ගේ අභයභූමියේ මොග්ගල්ලානයන් වහන්සේ සක්මන් කරමින් වැඩ සිටින විටදී එතැනින් යන පාපී මාරයා මුගලන් මහ රහතන් වහන්සේ දැක උන්වහන්සේගේ කුස ඇතුළට රිංග ගන්නවා.

ඒ සමගම මුගලන් මහරහතන් වහන්සේට දැඩි අපහසුතාවක් දැනෙනවා. මහරහතන් වහන්සේ කල්පනා කරනවා “මොකද අද මගේ කුසට වුණේ. මහා ලොකු බරක් දැනෙනවා හරියට මෑ ඇට පුරෝපු මල්ලක් කුසේ ගැටගහලා වගේ” කියලා. මොග්ගල්ලානයන් වහන්සේට තවත් සක්මන් කරන්න පුළුවන් වුණේ නෑ. සක්මනින් ඉවත් වෙලා කුටියට වැඩලා ආසනයක වාඩි වුණා. පස්සේ මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ ශරීරය ගැන නුවණින් විමසා බලන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දැනගත්තා තමන්ගේ කුස ඇතුළට පාපි මාරයා රිංගා ඇති නිසයි මේ වේදනාව කියලා. උන්වහන්සේ පාපී මාරයාට කියනවා “මාරය! එළියට පැමිණෙව. තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරන්න එපා. එයින් ඔබට බොහෝ කලක් දුක් විඳීන්න පුළුවන්” කියලා.

මහරහතන් වහන්සේ එක පාරට එසේ කියනකොට පාපී මාරයා කලබල වෙලා “මේ ශ්‍රමණයා මා ගැන දැනගෙන නෙමෙයි මෙහෙම කියන්නේ. ශ්‍රාවකයෙක් මාව කොහොම අඳුනගන්න ද?” කියලා හිතනවා.

මහා මොග්ගල්ලානයන් වහන්සේ මාරයාගේ ඒ සිතිවිල්ලත් දැකලා “ පාපී මාරය! ඔබ ඉන්නවා කියලා මම දන්නවා. ඔබ හිතන්න එපා මම ඔබව හඳුනා ගන්නේ නැතිව නිකන් එසේ කිවුවා කියලා” යනුවෙන් කියනවා.

එතකොට පාපී මාරයාට මෙහෙම හිතුණා. “මේ ශ්‍රමණයා නම් මාව දැනගෙන ම යි, මාව දැකගෙන ම යි එසේ කියන්න ඇත්තේ” කියලා. ඒ නිසා පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේගේ මුඛයෙන් එළියට ඇවිල්ලා කුටියේ උලුවස්ස ළඟ හිටගත්තා.

මුගලන් මහරහතන් වහන්සේ එයත් දැක මාරයාට කියනවා.

“පාපී මාරය! ඔතන ඉන්න ඔබවත් මට පේනවා. මට ඔබව පේන්නෙ නෑ කියලා නම් හිතන්න එපා. පාපී මාරය, මම නුඹට ඉස්සර සිදු වූ දෙයක් කියන්නම්” කියලා අතීත පුවතක් කියන්නට පටන් ගන්නවා.

පාපී මාරය, කකුසඳ නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළව සිටිය කාලේ දී මමත් හිටියා ‘දූසී’ කියන මාරයා වෙලා. ඒ දූසී මාරයාට දිනක් මෙහෙම හිතුණා. ‘මේ යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂූන්ගේ චුතියත්, උපතත් මට සොයා ගන්න බැහැ. ඉතින් මම මේ ගමේ ගෙවල්වල මිනිස්සුන්ට වැහෙන එක තමයි හොඳ. එතකොට ඒ සිල්වත් භික්ෂූන්ගේ සිත් විපිලිසර වේවි. එයින් මට ඔවුන්ගේ චුතියත්, උපතත් සොයාගන්න පුලුවන් වේවි” කියලා.

ඊට පස්සේ ඒ බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට දූසී මාරයා ආවේශ වුණා. සිල්වත් භික්ෂූන්ට ඒ මිනිස්සු නින්දා කරන්න පටන් ගත්තා. පරිභව කරන්න පටන් ගත්තා. බනින්න පටන් ගත්තා. “මොවුන් හිස මුඩු කර ගත්තු ලාමක ශ්‍රමණයෝ. පව්කාරයෝ. කාලකණ්ණි. දෙවියන්ගේ යටි පතුලෙන් ඉපදිච්ච එවුන්. මහ ලොකුවට භාවනා කරනවා කියමින් කිය කියා මූණ යටට පාත් කරගෙන ඉන්න කම්මැලියෝ” කියලා.

පවිටු මාරය, ඒ නිසාම ඒ දවස්වල මැරෙන මැරෙන මිනිස්සු බොහෝ දෙනෙක් සැපක් නැති දුගතිය නම් වූ නිරයේ තමයි ඉපදුණේ.

පසුව කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතුවා. “පින්වත් මහණෙනි, දූසී මාරයා දැන් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ආවේශවෙලයි ඉන්නෙ. ඒ නිසා මහණෙනි, දැන් ඔබ මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් වාසය කරන්න ඕනෑ කියලා.

කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම අවවාද කරද්දි, ඒ භික්ෂූන් වහන්සේ අරණ්‍යයකට වැඩියත්, රුක් මුලකට වැඩියත්, හිස් කුටියකට වැඩියත් මෛත්‍රී සහගත සිතින් ම වාසය කළා.

පසුව එක් දිනක් කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ උදේ කාලයේ සිවුරු පොරවාගෙන විධුරයන් වහන්සේත් සමඟ ගමට වැඩම කරනවා. ඒ මොහොතේ දූසී මාරයා එක්තරා දරුවකුට ආවේශ වෙලා ගල් කැටයක් අරගෙන ආයුෂ්මත් විධුරයන් වහන්සේගේ හිසට පහරක් ගැහුවා. ඒ ගල් පහරෙන් උන්වහන්සේගේ හිස තුවාල වුණා. හිස සිදුරු වෙලා ලේ ගලා යද්දීත් කිසි කතාවක් නැතුව විදුරයන් වහන්සේ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ම වැඩම කළා.

එතකොට කකුසඳ භාග්‍යවතුන් වහන්සේට මේ සිදුවීම දැනිලා උන්වහන්සේ මුළු ශරීරය ම හරවලා මාරයා දිහා බලා ‘මේ දූසී මාරයා තමන්ගේ පමණ දන්නේ නෑ’ කියලා කිව්වා. එහෙම හැරී බලනවාත් එක්කම දූසී මාරයා මාරබවින් චුත වුණා. මහා නිරයේ උපන්නා.

ඒයි මාරය! ‘දූසී’ මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේටත්, අග්‍ර ශ්‍රාවක විධුරයන් වහන්සේටත්, ආර්‍ය මහා සංඝරත්නයටත් පීඩා කළා. අන්තිමේ දී ඒ මාරයා මහා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්දා. දැන් ඒ කර්ම විපාක දැනගත් කෙනා ගෞතම තථාගතයාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය! එබඳු භික්ෂුවක් පීඩාවට පත්කරලා නුඹත් දුකට පත්වෙන්න ද හදන්නේ?”

පවිටු මාරය “මං මේ මෝඩයාව පුච්චලා දමනවා” කියලා ගින්න හිතන්නේ නෑ. නමුත් මෝඩ තැනැත්තා ම ඇවිලෙන ගින්නට වැටිලා පිච්චිලා යනවා. මාරය, අන්න ඒ වගේ නුඹත් මේ හැප්පෙන්න හදන්නේ රහත් භික්ෂුවක් එක්ක. මෝඩයෙක් ගින්නත් එක්ක ගැටෙන්න ගිහින් පිච්චිල යනවා වගේ පිච්චිලා යන්න ද හදන්නේ” කියලා මහා මුගලන් මහ රහතන් වහන්සේ මාරයාට තර්ජනය කරනවා. එතකොට මාරයා ගේ සිත දුකට සහ බියට පත්වෙලා එතැන ම අතුරුදහන් වෙලා නො පෙනී යනවා.

එනිසා, ආර්ය මහා සංඝරත්නයට අපි පීඩා නොකළ යුතුයි. අදත් ඉන්නවා ඔය වගේ මිනිස්සු. ස්වාමීන් වහන්සේ දැක්කොත් මොකක් හරි අඩුපාඩුවක් කියා ගර්හා කරනවා. ඔවුන් දන්නේ නෑ මොකද වෙන්නේ කියලා.

මේ සසර කියන්නේ මහා පුදුම සහගත දෙයක් අප රැස් කර ගත් සංස්කාරයන්ට අනුව අප රූකඩ වගේ මේ සසරේ ගමන් කරනවා. අද ඉන්න කෙනා නෙමෙයි හෙට. මහා මොග්ගල්ලානයන් වහන්සේ වැනි මහා පින්වතුන්ගේ කුසටත් මාරයා රිංගලා වධ දුන්නා නම් අප ගැන සිතා ගත හැකියි නේද? හොඳම දේ තමා මේ සසරෙන් මිදීම. ඒ සඳහා නුවණින් ලෝකය දෙස විදර්ශනා ඇසින් බලන්නට පුරුදු වෙන්න. එවිට ඔබට මේ සංස්කාරකයන් පිළිබඳ සෙල්ලම අවබෝධ කර ගනු හැකි වේවි.