Print this Article


පහන් සිතක කවි

දිනුම කුමටද?

පිරු යස අවිය වන භක්තිය මත රැඳෙමු
විරු රැස දිනිය ලොව ශක්තිය සිත ගනිමු
සරු ලෙස සවිය ඇති සත්‍යය වෙත යැපෙමු
බොරු බස දිවිය තුළ විත්තිය කර නොගමු

සරුවෙන් නැගල බහ දී වරදක වහන
කෙරුමන් හිතල නොවෙදෝ නොමඟක යවන
සසරෙන් ගෙවල හැකි දෝ එන දුක නසන
බොරුවෙන් දිනල මොටදෝ හදවත තැවෙන


මතු ජීවන ගමන් මගේ

දසමාසයක් මා කුස තුළ දරා ගෙන
සිටියා මගෙ අම්මා මැණිකක් සේ රකින
නරක අහරක් කිසිවිට ඇය නොගෙන
කල් ගෙව්වා ය සැම විට සිත දරා ගෙන

ඉපදුණ දිනේ සිට කෙතෙකුත් දුක් වින්දා
හොඳ නම ලබා දෙන්නට නිති වෙර දැරුදා
යහපත් කෙනකු කරනට ඔවදන් දුන් දා
මව්පිය දෙපළ කොතෙකුත් නම් දුක් වින්දා

නිතරම සිතුවේ අප ජීවත් කරන්නට
කෙත්වතු සරු කළා කුසගිනි නිවන්නට
මව මෙන් පියා කොතෙකුත් දුක් ගැහැට
වින්දත් කිසිම දිනක දි කීවේ නැත අපට

දිගු කාලයක් අප වෙනුවෙන් ම ය ගෙව්වේ
ඇය කුසගිනි ව අපගේ කුස පිරෙව්වේ
සමගිය සමාදානයමයි මතු කෙරුවේ
බුදු දහමටයි මුල් තැන තිතර ම පිරුවේ


බුදු හිමි නමදිමු

රන් තැටියක් සේ අහසේ
එළිය දෙමින් සඳ දිලිසේ
අපේ ගෙදර හැම දෙනාම
පන්සල් යන්නට සැරසේ

සුවඳ පිරුණු මල් නෙළාන
හඳුන්කූරු, පොල් තෙල් ගෙන
පූජා කර බුදු පාමුල
වඳිමු නළලත බිම තබාගෙන


පැතුම

ලොව නම් මිනිසා කෙලෙස කීවත්
මා ගත් මඟ ඒ මුනිදුන් භගවත්
පාරමි පුරලා රැක හොඳ පිළිවෙත්
හිමි සඳ මඟ ගොස් වෙමි මම යහපත්


මැදින් පෝදා

මැදින් පෝදා අපේ බුදු හිමි සෙනඟ විසිදහසක් දරා
කිඹුල්වත් පුර වැඩම කරලා සඟුන් පිරිසත් පිරිවරා
දහම් දෙසලා සුගත් බුදුහිමි ඥාති මානය බිඳ හැරා
දහම් එළියෙන් නුවර දිලුනා මැදින් පෝයත් සිහි කරා