Print this Article


අස්ථාන සැකයේ විනාශය මහත් ය

අස්ථාන සැකයේ විනාශය මහත් ය

තිස්ස තෙරුන් රහතන් වහන්සේ නමකි. උන්වහන්සේට මැණික්කරුවකුගේ නිවසේ දිනපතා දන් වළඳන්නට ආරාධනා ලැබිණි. දැන් මේ ආරාධනාවට වසර දොළසකි. ඒ අඹුසැමි දෙදෙනා ද තිස්ස තෙරුන්ට මවුපියන් වැනි ය.

දිනක් ඒ මැණික්කරුවා තෙරුන් ඉදිරියෙහි ම මස් කපමින් සිටියේ ය. ඔප දමා විදිනු පිණිස පසේනදී කොසොල් රජු විසින් එවනු ලැබූ මැණිකක් මැණික්කරුවාට ලැබුණේ ඒ අවස්ථාවේ දී ය. මැණික්කරුවා එය ලේ තැවරී තිබූ අතින්ම ගෙන පෙට්ටියක් මත තබා අත් සේදීමට ගෙට ගියේ ය. ඒ අවසරයෙන් ළඟ සිටි කොස්වාලිහිණියෙක් මැණික මස් කැටියක් යැයි සිතා ගිල්ලේ ය.

මැණික්කරුවා පැමිණෙන විට මැණික එහි නොතිබිණි. ඔහු ඒ ගැන දරුවන්ගෙන් හා බිරියගෙන් විමසුවේ ය. “අප ගත්තේ නැත” ඔවුන්ගේ පිළිතුරු විය.

මැණික ගන්නට ඇත්තේ තෙරුන් වහන්සේ ය’ මැණික්කරුවා බිරියට කීවේ ය.

“හිමියනි, එසේ නොපවසනු. අප මේ තෙරුන් ඇසුරු කරන්නට පටන් ගෙන බොහෝ කල් ය. මෙතරම් දීර්ඝ කාලයක් තුළ වුව උන්වහන්සේගෙන් කිසි වරදක් සිදු වී නැත. උන්වහන්සේ මැණික ගන්නට නැත’ බිරියගේ පිළිතුර විය.

එහෙත් තෙරුන් හැර අන් කිසිවෙක් ද නොවීය. විමසිය යුත්තේ තෙරුන්ගෙන්ම ය. මැණික්කරුවා තෙරුන් වෙත ගියේ ය.

“ස්වාමීනි, මෙහි තිබූ මැණික ඔබ වහන්සේ ගත්තෙහි ද?”

“නොගතිම්” තෙරුන්ගේ පිළිතුර විය.

“ස්වාමීනි මෙහි වෙන කෙනකු සිටියේ නැත. සිටියේ ඔබ වහන්සේ පමණි. මැණික රජතුමාගේ ය. එය නැති වුවහොත් අපට ගැලවීමක් ලැබෙන්නේ නැත. ඒ නිසා වහාම මැණික දෙන්න” මැණික්කරු කීවේ ය.

තෙරුන් වහන්සේ නිහඬ වූහ.

“හොඳින් හෝ නරකින් මැණික ගත යුතුයි” හෙතෙම බිරියට කීවේ ය.

හිමියනි, අප නොනසනු මැනවි. තෙරුන්ට නපුරක් වනවාට වඩා අප රජුගේ දාසත්වයට පත්වීම හොඳ ය. තෙරුන් වහන්සේට වරදක් කිරීම සුදුසු නැත” බිරිය ආයාචනාත්මකව පැවසුවා ය.

“අප සැම රජුගේ දාසත්වයට පත්වුවත් එය මැණික තරම් නොවටී’ කියූ මැණික්කරු කඹයක් ගෙන තෙරුන් වෙත ගියේ ය. කඹයෙන් තෙරුන්ගේ හිස පටලවා පොල්ලකින් කරකවා තද කරමින් මැණික ඉල්ලන්නට විය. තෙරුන් වහන්සේට බලවත් වේදනා දැනෙන්නට වුවත් කිසිත් නොකියා ඉවසා සිටියේ ලිහිණියා කෙරෙහි කරුණාවෙනි. දැන් තෙරුන්ගේ කන් – නාසාවලින් ලේ ගලයි.ඇස්එළියට පනින්නට වෙයි.

තෙරණුවෝ බිම ඇද වැටුණාහ. ලිහිණියා තෙරුන්ගේ ශරීරයෙන් ගලායන රුධිරය බොන්නට විය. “තෝ මෙහි ආවේ කුමකට ද? මැණික්කරුවා ලිහිණියාට පයින් ගැසීය. ලිහිණියා මැරී වැටුණේ ය. එවිට තෙරණුවෝ ‘ලිහිණියා මළේදැයි බලන්න’යි මැණික්කරුවාට කීහ. කෝපයෙන් සිටින මැණික්කරු “නුඹත් ලිහිණියා මෙන් මැරෙව“ යැයි මොර දුන්නේ ය.

ලිහිණියා මළ බව සැක හැර දැනගත් තෙරණුවෝ සත්‍ය පවසන්නට වූහ.

“උපාසකය, මේ ලිහිණියාගේ කුස පළා බලන්න. මැණික තිබෙනු ඇත” මැණික්කරුවා එසේ කළේ ය. මැණික හමු විය. ඔහුගේ සිතට දැනුණේ මහත් බියකි.

“ස්වාමීනි මා නොදැන කළ වරදට සමා වුව මැනවි” මැණික්කරුවා වැඳ වැටුණේ ය.

උපාසකය,මෙය අපගේවත් ඔබගේවත් දෝෂයක් නොවේ. මෙය සංසාර දෝෂයක් ම ය. මම ඔබට සමාව දෙමි” හිමියෝ වේදනාවෙන් මිරිකෙමින් වුව කරුණාවෙන් ම පැවසූහ.

‘ස්වාමීනි, ඔබ වහන්සේ මට සමාව දෙන සේක් නම් පෙර මෙන්ම මගේ නිවෙසින් දන් වැළඳීම කළ මැනවි, මැණික්කරු ඉල්ලා සිටියේ ය.

“උපාසකය, මෙවැන්නක් සිදුවූයේ අනුන්ගේ නිවෙස්වලට ඇතුළු වූ නිසා ය. මෙතැන් සිට මම කිසිවකුගේ නිවෙසකට ඇතුළු නොවෙන්නෙමි. දෙපා ශක්තිමත් ඇති තාක් පි¾ඩුසිඟා වඩින්නෙමි.”

යනුවෙන් තෙරණුවෝ පිළිතුරු දුන්හ.

මැණික්කරුගේ නිවෙසට කුලුපඟ වීමේ විපාකයෙන් හටගත් ව්‍යාධියන්ට තිස්ස තෙරුන් වහන්සේ වැඩි කලක් නොගොස් පිරිනිවන් පෑහ.

මේ වනාහි කුලයන්ට කුලුපඟ වීමේ විපාකයයි.

මැණික්කරු කලුරියකොට ඒ පාපයෙන් නරකයෙහි උපන්නේ ය. තෙරුන් වහන්සේට කරුණාව දැක්වූ ඔහුගේ භාර්යාව මරණින් මතු දෙව්ලොව උපන්නා ය.