Print this Article


නොබිඳිය හැකි බැඳීමක අපූර්වත්වය

නොබිඳිය හැකි බැඳීමක අපූර්වත්වය

බෞද්ධාගම තුළ බුද්ධ චරිතය හා එහි ක්‍රියාකාරිත්වය පරමාදර්ශයක් ලෙසින් බෞද්ධ ජීවන ප්‍රතිපදාව හා බැඳී ඇත. බුදු උපත සිදු වනුයේ මලින් ගසින් ගැවසී ගත් සුන්දරත්වයෙන් පිරිපුන් උයනක් තුළ ය. එදා කිඹුල්වත දී සිද්ධාර්ථ කුමරු සමාපත්ති සුවයට සමවදිනුයේ එළිමහන් කෙතක් අසල ය.

ගිහිගෙයි අනියත බව දැන මහණ දිවියට පිවිසෙනුයේ අනෝමා නම් සුන්දර ගං තෙර අසල දී ය. සතියක් සමවත් සුවෙන් වැඩ වෙසෙනුයේ අනුපිය අඹවනය තුළ ය. සත් සතිය ගත කරනුයේ ගංගා වැලි තලාවක පිහිටි උරුවෙල් දනව්වේ ඇති එළිමහන් භූමියේ ය. බුද්ධත්වයට පත්වූයේ නේරංජනා ගංතෙර පිහිටි ඇසතු බෝරුක් මුල දී ය. පළමු දම්සක් පැවැතුම පස්වග මහණුන් වෙත දේශනා කරනුයේ ද ඇසළ සඳ පායා තිබූ ඉසිපතනාරාමයේ පිහිටි මනරම් එළිමහන් පරිසරයක දී ය. උන්වහන්සේගේ පරිනිර්වාණය ද නිස්කලංකත්වය ගැබ්කර ගත් පරිසරයක් ඇසුරු කරමින් සිදුවීම ද පරිසරය හා බුද්ධ චරිතය අතර බැඳීම වඩාත් පැහැදිලි කරයි.

රාජ රාජ මහ ඇමැති ගණයාගේ ප්‍රසාදයට පත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානු ලබන්නේ ද කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ සාල වනෝද්‍යානයේ සල්ගස් අතර ය. බුද්ධ චරිතය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් රැසක් ම මෙසේ පරිසරය හා කොතරම් සමීපත්වයක් තිබේ ද යන්න මෙම තොරතුරු තුළින් මනාව පැහැදිලි වේ.

සුන්දරත්වයෙන් පිරුණු ස්වභාවික පරිසරයට උන්වහන්සේ කොතෙක් ඇලුම් කළේ ද යන්න අරියපරියේසන සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. සිත දමනය කිරීමට ස්වභාවිකත්වය කොතෙක් දුරට අදාළ වන්නේ ද යන්න ද ඉන් මනාව පෙන්වා දෙයි. එහිදී උන්වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කොට ඇත.

“මහණෙනි එහිදී මට මෙබඳු අදහසක් විය. භූමි භාගය රමණීය ය. වන ලැහැබ ප්‍රසාදජනක ය. සුදු වැලි තලා ඇති, මනා කොට ඇති සිත්කලු නදිය ද ගලාබස්නී ය. හාත් පසින් සොඳුරු ගම ද වෙයි. පධන් කරනු කැමැති කුල පුත්‍රයකුට පධන් වීර්යය සඳහා ම මෙය සුදුසු ම ය. යනුවෙන් උරුවෙල් දනව්ව ඇසුරු කොට පැවැති පාරිසරික සුන්දරත්වය බුදුරදුන් විසින් වර්ණනයට ලක් කර තිබේ.

එමෙන් ම පරිනිබ්බාන සූත්‍රයේ දී ද බුදුරදුන් විසින් මෙසේ දේශනා කර ඇත. “රමණීයයි ආනන්ද ය, රමණීයයි. වෛශාලිය රමණීයයි. උදේන චේතිය රමණීයයි. ගෝතමක චේතිය රමණීයයි. පත්තම්බ චේතිය රමණීයයි. බහුපුත්තක චේතිය රමණීයයි. ආනන්ද චේතිය රමණීයයි. චාපාල චේතිය රමණීයයි. (රමණීයං ආනන්ද වෙසාලියං රමණීයං උදෙන චෙතියං , රමණීයං ගොතමක චෙතියං රමණීයං පත්තම්බ චෙතියං රමණීයං බුහුපුත්තක චේතියං රමණීයං ආනන්ද චෙතියං රමණීයං චාපාල චෙතියං යස්ස කස්සචි ආනන්ද චත්තාරො.....) යනුවෙනි.” ඒ ඒ ස්ථානයන්හි ස්වභාවික සෞන්දර්ය බුදුරජාණන් වහන්සේ ආස්වාදනය කරනුයේ සරාගිකත්වයෙන් මුසපත් වූවකුගේ ආස්වාදයක් වශයෙන් නොව විරාගිකත්වය මුසු වූ ප්‍රභාස්වර මනසකින් අව්‍යාජව ස්වභාව සෞන්දර්ය වින්දනය කරනු ලැබූවකු ලෙසින් බව පැහැදිලි ය.

වනාන්තරය සසල මිනිස් සිත නිසල කළ රමණීය භූමියකි. (රමණීයානි අරඤ්ඤානි) වනය විදසුන් වඩනා තෙරවරුන්ගේ ක්ෂේම භූමියක් ද වන්නේ ය. ආරණ්‍ය, සුන්‍යාගාරය හා රුක් මුල් සෙනසුන් බවුන් වඩන භික්ෂූන්ගේ සිත් ගත් තැන්වේ. බුදුරජාණන් වහන්සේ විසින් ද බවුන් වඩන්නට සුදුසු ස්ථාන ලෙස මෙම ස්ථාන නම් කර ඇත. වනයේ නිසලතාව සසල හිත නිසල කරන අතර, වනයේ සහිලස ගිනි ගත් හිත නිවාලයි. විසිතුරු දැයින් පෙළනු ලැබූ සිත ශාන්ත පරිසරයෙන් හෙබි වනයෙන් සන්සුන් කරයි.

බුදුරජාණන් වහන්සේ කෙතෙක් පරිසරයේ සෞන්දර්යාත්මක බව අගය කළේ ද යන්න කාළුදායි හිමියන් කිඹුල්වත ගැන කරන වර්ණනයෙන් පැහැදිලි ය. උන්වහන්සේ බුදුරදුනට කිඹුල්වතට වැඩම වීමට ආරාධනා කළා පමණක් නොව කිඹුල්වත පිළිබඳ බුදුරදුන්ගේ සිතේ ඇති කරන සෞන්දර්යාත්මක චිත්‍රණය ද ඉතාමත් වැදගත් ය. “බුදුපියාණෙනි! කිඹුල්වත්පුර දැකුම්කලු ය. වියළි පරඩැල් හැළී ගොස් ගස් නැවුම් දලු ලා ඇත. එම දලු ගිනිසිළු මෙන් දිදුලයි. බබළයි. සිනිඳු මඳ නල දසත පැතිරෙයි. මලින් විකසිත වූ ළපලු ගස්වැල් සිත්කලු ය. විසිතුරු ය. දසත විහිදී යන සුවඳ මඳ නල හදවත් පුබුදුවාලයි. ඵල බරින් අතු නැමි නැමී ඇත. සීත උණුසුම සම ව පවතියි. වසන්ත සමය පැමිණ ඇත. ඔබගේ ශාක්‍යයන් කෝලිය වංශිකයන් සමඟ පැදුම් දෙස ඇති රෝහිණී නදිය ඔබ වහන්සේ තරණය කරන අයුරු බැලීමට දෙනෙත් දල්වා බලා සිටිති” යැයි කාළුදායි තෙර සිය පුරවරය ගැන කරන වර්ණනය ඉතාමත් සිත්කළු ය.

බුදු හදවත විරාගික වූ සෞන්දර්යාත්මක හැඟීම් ඉස්මතු කරලීමට සමත් බවක් මෙයින් පෙනේ. එසේම මෙහි දී ස්වභාවික පරිසරයේ නිර්මාණාත්මක රසය කෙරෙහි බුදුරජාණන් වහන්සේ කොතරම් ඇලුම් කළා ද, ඉන් රසයක් උන්වහන්සේ වින්දනය කළා ද යන්න පැහැදිලි ය.

එමෙන් ම උන්වහන්සේ තමන් වහන්සේ දක්නට පැමිණි බොහෝ දෙනා වෙත සිය ධර්ම දේශනා කිරීමේ දී ඔවුන් ජීවත්වන පරිසරය ඇසුරෙන් කරුණූු ගෙන හැර දක්වමින් අවබෝධ කරවීමට දහම් දෙසූ බව එම දේශනාවන් පරික්ෂා කරන විට පෙනී යන කරුණකි. වන පෙත, කඳු, ශිඛර, පර්වත, ගලා යන නදිය, තුරුලතා, නිල්වන් කෙත,වැස්ස වැනි භෞතික වස්තු උන්වහන්සේ උපමා රූපක සේ ගනිමින් අසන්නාට කරුණු වඩාත් පහසුවෙන් අවබෝධ වන ලෙසින් දහම සමඟ ගළපා පෙන්වා දුන්හ. ධනිය ගෝපාලයනට දේශනා කළ සූත්‍රය මීට කදිම නිදසුනකි. වැස්ස වලාහක පිළිබඳ ධනිය හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වන සංවාදය, පරිසරයේ සුන්දරත්වය හා ලෝකෝත්තර තත්ත්වය ද ඊට බද්ධ කරමින් කරන සාකච්ඡාව ඉතාමත් චමත්කාර ය. කසීභාරද්වාජ බ්‍රාහ්මණයා අමතා කෘෂිකාර්මික කටයුතුවල දි යොදාගනු ලබන දෑ පදනම් කොට ගෙන ලෝකෝත්තර මාර්ගය උන්වහන්සේ ඔහුට පැහැදිලි කර දුන්හ. මලක් නොතළා රොන් ගන්නා බඹරකු සේ භික්ෂුව (යථාපි බමරො පුප්ඵං – වණ්ණගන්ධං අහෙට්ඨයං) දායක පක්ෂය නොපෙළා හැසිරිය යුතු බව කියයි. (ඵාලෙති රසමාදාය එවං ගාමෙ මුණි චරෙ) බුදුරජාණන් වහන්සේ වැඩ විසූ දෙව්රම ගැන වර්ණනයක් කරන ඛේමා තෙරණිය දෙව්රමේ පාරිසරික සුන්දරත්වය මෙසේ දක්වයි.

“බුදුරදුන්ගේ ගඳකිළිය පිහිටි රම්‍ය වූ වේළුවනය යමකු විසින් නොදක්නේ නම් ඔහු නන්දන වනය නොදක්නා ලද බව අපි හඟින්නෙමු.” (රම්මං වෙළුවනං යෙන – න දිට්ඨං සුගතාලයං – නතෙන නන්දනං දිට්ඨං – ඉති මඤ්ඤමසෙ මයං)

එමෙන් ම උන්වහන්සේ භික්ෂුනට මල්කම්, ලියකම්, මුවරදත් පස්වනක් පැහැකිරීම් ද අනුදැන වදාරා තිබේ. (අනුජානාමී භික්ඛවෙ මාලාකම්මං ලතා කම්මං මකර දන්තං පඤ්චපටික්කන්ති) යන තැනින් ගම්‍ය වනුයේ භික්ෂූන්ගේ හෝ අරණට පැමිණෙන සැමගේ සතුට සඳහා පරිසරයේ සුන්දරත්වය අත්‍යවශ්‍ය බව ය.

මිනිසා හා පරිසරය අතර ඇත්තේ නොබිඳිය හැකි බැඳීමකි. නීලහරිත පැහැ ගහකොළ, ගංගා, ඇළ දොළ, කඳු හෙල් මිටියාවත්, සතා සිවුපාවුන් ආදී නේක විධ සම්පත් නිසා රමණීය වන පරිසරය මිනිසාගේ ම අවිනීතකම් හා තණ්හාධිකබව නිසා විනාශයට යමින් තිබේ. මිනිසා රැකෙන්නේ පරිසරය නිසා ය. එහෙයින් පරිසරය රැක ගැනීම මිනිසාගේ යුතුකමකි.