Print this Article


ධර්ම දූතයන් වහන්සේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට මේ සුදුසුම කාලයයි

ධර්ම දූතයන් වහන්සේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට මේ සුදුසුම කාලයයි

ලෝකයේ ප්‍රථම වරට ධර්මදූත සේවයක් ආරම්භ කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම ධර්ම දූත සේවය එතරම් ලෙහෙසි පහසුවෙන් සිදු කළ හැකි දෙයක් නොවේ. එයට එක් හේතුවක් නම්, අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ඉන්දියාවේ පැවති විවිධ ආගමික දාර්ශනික පුද පූජා සිරිත් විරිත්වලට බුදුදහම බොහෝදුරට පටහැනිවීමයි. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ම සඳහන් කළහොත් “පටිසෝතගාමී” ධර්මයක් වශයෙන් බුදුදහම ඉදිරිපත් කරන්නට සිදුවීමයි. සත්‍යවූත්, ප්‍රතිඵල සහිත වූත්, ක්‍රමවත් වූත්, බුදුදහම පතළ සමාජයේ බලගතු විප්ලවයකට හේතු වන්නක් විය. මේ ගැන ඉන්දියාවේ හිටපු අගමැති ‘ජවහර්ලාල් නේරු’ සඳහන් කොට ඇත්තේ මෙසේ ය.

“අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ වටිනා ආගමික ප්‍රතිපත්ති හැටියට ඉන්දියාවේ මහජනයා පිළිගෙන තිබූ බොහෝ සිරිත් විරිත් හා ඇදහිලි ක්‍රමවල කිසිම හරයක් නැති බව කීමට තරම් කවර තරමේ ධෛර්යයක් සහ අවබෝධයක් බුදුරදුන්ට තිබුණ ද යන්න මට නම් සිතා ගත නොහැක.”

බුදුරජාණන් වහන්සේ තමන් ලොව පහළවීමේ ප්‍රධාන කාර්යය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා දී දුක නැති කිරීමට මහජනයා නියම මාර්ගයේ යෙදවීමයි. බුද්ධත්වයෙන් වැඩි දවසක් ගතවීමට පෙර තමා විසින්ම අවබෝධ කර ගත් ධර්මය දුද්දස, දුරනුබෝධ වශයෙන් උන්වහන්සේට ම වැටහුණි. බුද්ධ ධර්මය ජනතාව අතර ප්‍රචාරය කිරීමට මොනතරම් අමාරුද යන්න එයින්ම වැටහෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ මෙන්ම උන්වහන්සේ විසින් පිටත් කොට යැවූ ශ්‍රාවකයන් වහන්සේ ද ඉහත සඳහන් ප්‍රශ්නයන්ට සාර්ථකව මුහුණ දෙමින් ද බොහෝ ජනයා අතර පැවති මිථ්‍යා ආගම් දුබල කරමින් ද, ධර්ම පණිවුඩය සාර්ථකව ප්‍රචාරය කරමින් ද ලැබූ ජයග්‍රහණය පිළිබඳ පුළුල් අවබෝධයක් අපට තිබිය යුතු වෙයි.

බුද්ධ කාලයටත් වඩා ඉන්දියාව තුළත්, ලෝකයේ විවිධ රටවලත් බුද්ධ ධර්මය ව්‍යාප්ත වූයේ ධර්මාශෝක අධිරාජයාගේ පාලන කාලයේ දී බව ශාසන ඉතිහාසයේ පැහැදිලි වෙයි. තම තමන්ගේ ආගම් ප්‍රචාරය කිරීමට සූදානම් වන සෑම කෙනෙක්ම ධර්මාශෝක මහරජු අනුගමනය කළ සාධාරණ ධර්ම ප්‍රචාරක සේවය ගැන අවබෝධයක් ඇති කර ගත යුතු ය. ඒ බව අශෝක සෙල්ලිපිවල මෙසේ සඳහන් වෙයි. “ධර්ම දූත සේවය කිරීමට සූදානම් වන සෑම භික්ෂූන් වහන්සේ කෙනකුම එවකට ඒ රටේ පැවති කිසිම ආගමකට නින්දා අපහාස පරිභව කිරීමෙන් හා ඒ ආගම පහත් කොට සලකා බුද්ධ ධර්මය, මහජනයාට කියා දීමෙන් තමන්ගේ ධර්මයට අගෞරවයක් කර ගන්නා බව සැලකිය යුතු ය.

බොහෝ රටවල ප්‍රථමයෙන් ම ගිය ධර්මදූතයන් වහන්සේගේ දක්ෂතාවය සමඟ වැදගත් වූ කරුණු කීපයක් නිසා සාර්ථක ප්‍රතිඵල ලැබීමට හැකි විය. බොහෝ රටවල බුද්ධ ධර්මය ගෙනයන ලද්දේ ඒ රටවල කැමැත්ත අනුව කරන ලද ආරාධනයක් මතවීම එයින් එක් කරුණකි. ඒ නිසාම එම දූත පිරිස පිළිගැනීමටත්, ඔවුන්ගේ දේශනවලට සාවධානව කන්දීමටත් රටවල පාලකයන් ඇතුළු ජනතාව සූදානම් වූහ.

විවිධ රටවල පැවැති සිරිත් විරිත් සහ ඇදහිලි ඇතුළත් සංස්කෘතික අංගයන් සමඟ නොගැටීමට වගබලා ගැනීම බෞද්ධ ධර්ම දූතයන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් විය. මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම වන විට පැවති දේව, යක්ෂ, වෘක්ෂ වන්දනාවන් පිළිබඳ නිවැරැදි අවබෝධයක් පාලකයන් ඇතුළු ජනතාවට ලබාදීමට ගත් උත්සාහය අප විසින් මෙහිදී සිහියේ තබාගත යුතු වෙයි.

වර්තමානයේ ධර්ම ප්‍රචාරක සේවයන්හි යෙදෙන අය පමණක් නොව, බුද්ධ ධර්මය සුරකිමින් ඒ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන සියලු භික්ෂූන් වහන්සේ විසින් ම සැලකිල්ලට ගතයුතු තවත් කරුණු රාශියක් වෙයි.

බෞද්ධ වැඩ කිරීමට අපමණ බාධක ඇතැයි දුක්වන අය සිතිය යුතු එක් කරුණක් වෙයි. එනම් බුදු දහම පමණක් නොව අතීතයේ සිට පැවත එන සියලු ආගම් ප්‍රචාරය කිරීමේ දී එවැනි අවහිර පැවතුන බවයි.

ජෛන හින්දු වැනි බොහෝ ආගම් කලක් විවිධ හේතු නිසා යටපත් වී තිබුණ ද නමුත් නැවත හිස ඔසවා සජීවීව මේ දක්වා ක්‍රියාත්මක වෙයි. බුදුරදුන් උපන් දඹදිව ධර්මාශෝක අවධියේ එක් පැත්තකින් ප්‍රබල ලෙස බුදු දහම ලොවේ නැඟී සිටියත් තවත් පැත්තකින් ඒ රජුගේ දේවිය වූ “තිෂ්‍ය රක්ෂිතා” වැනි අයගේ ද අන්තග්‍රාහී ඇතැම් හින්දු පාලකයන්ගේ ද, විදේශීය ආක්‍රමණිකයන්ගේ ද බලපෑම නිසා දඹදිවින් බුදු දහම අතුරුදහන් වන්නට විය. අනගාරික ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්ය නොවන්නට අද වුවත් ඉන්දියාවේ බුදුදහම ගැන සිතා සැනසීමක් ලැබිය නො හැකි ය.

ඕනෑම ආගමක් සමාජයක ස්ථාපිත කළ හැකි වන්නේ, එය මගේ ය, මට ප්‍රයෝජනවත් ය. යන සංකල්පය ඇති කිරීමෙනි. යුරෝපයේ පතළ වූ සමහර ආගම් බුද්ධිමත් යුරෝපීය ජාතීන් ප්‍රතික්ෂේප කරන මේ වකවානුවේ පෙරදිග බෞද්ධ බලයට තර්ජන එල්ල කරමින් එම ආගම් ජනතාව අතර ව්‍යාප්ත වන බව විවිධ වාර්තාවලින් පැහැදිලි වෙයි. එයට හේතුව මෙම ආගමික ඉගැන්වීම් හා විශ්වාස ජනතාව පිළිගැනීමට නොව, එම ආගමිකයන් විසින් ජනතාව ඈඳා ගැනීම පිණිස යොදා ගෙන ඇති උපක්‍රමයන් කෙරෙහි ඔවුන් නැඹුරු වීමයි. මේ පිළිබඳ ජනතාවට දොස් නැඟිය නොහැක්කේ ඔවුන්ට ඇති ආර්ථික ප්‍රශ්නවලට මේ අයගෙන් පිළිසරණක් ලැබෙන බැවිනි.

දුක නැති කොට නිර්වාණය අවබෝධ කිරීමට මඟ කියාදීම භික්ෂූන් සතු කාර්යයක් බව සත්‍යයකි. එහෙත් බුදුරදුන් වුවත්, ‘අනුපුබ්බ කථා’ හෙවත් ඉතා ලිහිල් මාර්ගයේ සිට අනුපිළිවෙළින් උසස් මාර්ගය දක්වා ජනතාව මෙහෙයවීමට වග බලාගත් හෙයින් ධර්මය වහා පැතිරුණු බව අපි දනිමු. බඩගින්නේ පසුවූ කෙනකුට අහර ලබාදී පසුව දහම් දෙසීමට උන්වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය අප විසින් කල්පනාවට ගත යුතු වෙයි.

වර්තමානයේ බොහෝ ගිහි පැවිදි අය මහායාන හීනයාන හෝ වෙනත් ආගමික නො වේ නම් දේශපාලන මතිමතාන්තරයන් පිළිබඳ හෝ දීර්ඝ වශයෙන් වාද විවාද කරති. ඒ තුළින් අනවශ්‍ය වාද භේද ඇතිකර ගනිති. සමගියේ අගය පෙන්වූ බුදුරදුන්ගේ දහම අනුව යන ගිහි පැවිදි අය තුළින් මේ නිසා නො නිමෙන වාද භේද මතුවනු දකින්නට ලැබීම අවාසනාවකි.

කවර ආගමක් හෝ එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් සම්බන්ධ නොකළහොත් එය ව්‍යාප්ත කිරීම පහසු නොවේ. මෙය තේරුම් ගත් සමහර අබෞද්ධ අය අනාථ, මහලු, ළමා නිවාස ඇති කරමින් ද, ආරෝග්‍යශාලා සහ පාසල් සේවා පවත්වමින් ද ක්‍රියා කරති. එපමණක් නොව උප්පැන්න, විවාහ මරණ ලියාපදිංචි කටයුතු මෙහෙයවමින් ඒවා ආගමික ව්‍යාප්තියට යොදා ගනිමින් ජනතාව තුළ සජීවී මතක සටහන් තිබීමට පියවර ගනිති.

බුදු දහම වැලැඳගත් අය අතර පමණක් නොව බුදු දහම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන නව සමාජයන් අතර වුවත් ඔවුනොවුන්ගේ ජීවිතවලට එදිනෙදා පිහිටවන ක්‍රම කොපමණ ප්‍රමාණයක් අප ක්‍රියාත්මක කොට ඇද්දැයි සලකා බැලිය යුතු ය. එවිට ගිහි පැවිදි බෞද්ධ නායකයන් වශයෙන් බොහෝ දෙනා තමන්ගේ වගකීම කොතෙක් දුරට පැහැර හැර ඇත්දැයි සිතා ගත හැකි වෙයි.

අපරදිග රටවලට අද බුද්ධාගම අත්‍යවශ්‍ය වී ඇති බව පෙනේ. එහෙත් බුදුදහම ජනිත වූ පෙරදිග රටවල තත්ත්වය බෙහෙවින් කනගාටුදායක ය. එය ධර්මය පරණවීමෙන් හෝ ධර්මය අතුරුදන් වීමෙන් වූවක් නොවේ.

ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත් ආදී ජනසන්නිවේදන මාර්ගයන් ආගම ප්‍රචාරයට නිසිලෙස උපයෝගී කර ගැනීමට හැකිවුවහොත් ලබා ගත හැකි ප්‍රතිඵල විශාල ය. ඒ අංශයන්හි ඇති ශක්තිය බෞද්ධයන්ට බෙහෙවින් අඩුවීම බලවත් පාඩුවකි. ජනසන්නිවේදන මාධ්‍යයන් ප්‍රබලව ඇති රටවල දේශපාලන හෝ ආගමික බලපෑම් නිසා බලාපොරොත්තු පරිදි බුදුදහම ව්‍යාප්ත කිරීමට අපහසු වී තිබේ.

හදිසියේ අසන්නට ලැබුණ බෞද්ධ දේශනයක් හෝ කියවන්නට ලැබුණු බෞද්ධ පොතක් හෝ සාකච්ඡා කරන්නට ලැබුණු බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනකු නිසා බුදුදහම දැන ගැනීමට ආසා කරන බොහෝ අය විවිධ රටවල සිටිති. ඒ අය ධර්මය දැන කියා ගැනීම පිණිසත්, බෞද්ධ භික්ෂූන් වහන්සේ තම රටවලට වැඩමවා ගැනීමට බලාපොරොත්තුවෙන් කරන ඉල්ලීම ඇත්තේ එකක් දෙකක් නොවේ.

මේ දහම පිපාසය සංසිඳවීමට තරම් ප්‍රබල පිරිසක් තවමත් අපට ඇති කිරීමට නොහැකිවීම ගැන අප ලජ්ජාවිය යුතු ය.

මහජනයාට අවංක සේවයක් සිදුකිරීමට කැමති ආත්මාර්ථකාමීත්වයෙන් බොහෝ දුරට බැහැර වූ භික්ෂූන් පිරිසකගේ සේවය අද බෙහෙවින් අවශ්‍යය.

විශේෂයෙන් විනයෙන් හා බාහිර ආකල්ප සම්පත්තියෙන් භික්ෂූන් වහන්සේ සම්පූර්ණ වුවහොත් එදා චණ්ඩාශෝක අධිරාජයා තුළ ප්‍රබල මානසික විප්ලවයක් ඇති කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සිදු කළ සේවයට නො දෙවෙනි සේවයක් තරුණ භික්ෂූන්ට අදත් කළ හැකි බව අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතුව ඇත.

බෞද්ධ ධර්ම දූතයන් වහන්සේ නමක් සතු තවත් ප්‍රධාන යුතුකම නම් තමා වෙත පැවරී ඇති විවිධ කාර්යයන් මැනවින් සිදු කිරීමට අවශ්‍ය හැකියාව ලබා ගැනීමයි. එය අංශ දෙකකින් සම්පූර්ණ විය යුතු වෙයි. හැදෑරීමට ඇති විෂය මාලාව අතුරින් පාලි භාෂාව සහ බුද්ධ ධර්මය පිළිබඳ නිවැරැදි හා ගැඹුරු අවබෝධයක් තිබීම එකකි. ඒ සමඟ කවර තත්ත්වයක කෙනකු හමුවේ වුව ද අදහස් ඉදිරිපත් කර අවබෝධ කරවීමට තරම් විදේශීය භාෂාවක් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත යුතුවෙයි. යහපත් ඇවතුම් පැවතුම් සමඟ ඉහත දැක්වූ කරුණුවලින් සම්පූර්ණ වූ භික්ෂු නමකට ලෝකයේ ලැබිය හැකි ගෞරවය මේ පමණකැයි කිව නොහැකි ය. කවර ආගමක් හෝ ප්‍රචාරය කිරීමේ දී තර්කානුකූලව සත්‍යය පහදා දෙනු විනා අන් ආගම් පහත් කොට සැලකිය යුතු නොවේ.

ධර්ම දූත කාර්යය වශයෙන් අද සමහර අය සලකනුයේ තම රටින් වෙනත් රටකට ගිය අයට බණ කීම සහ ඔවුන්ට අවශ්‍ය වෙනත් ආගමික කටයුතු සිදුකිරීමයි. තම රටින් ගිය අයට පමණක් නොව ඒ රටේ පුරවැසියන් වන විවිධ ජන කොටස් පිළිබඳ සලකා බැලීම අවශ්‍යය. ඔවුන්ගේ ගති පැවතුම් සිරිත් විරිත් ආදී සියල්ල ම තියුණු ලෙස හිතට ගෙන ඒවා සමඟ නොගැටෙමින් බුදුදහමේ මූලික පදනම වෙනස් නොවන ආකාරයට ක්‍රියා කිරීමට වගබලා ගත යුතුයි. ආත්මාර්ථකාමී හැඟීම්වලින් තොරව ජීවිතයේ නොයෙක් දුක් ගැහැට විඳ දරා ගැනීමට තරම් ආත්ම ශක්තියක් ද තිබිය යුතු යි.

ජාති භේද, කුල භේද, වර්ණ භේදවලට වහල් නොවී අපක්ෂපාතීව සේවය කිරීමට පුරුදු විය යුතු ය. ජීවත් වන රටේ හෝ සමාජයේ මහජනයා පිළිකුල් කරන යම් යම් දේ ගැන සිතා බලා කටයුතු කළ යුතු ය. වෙනත් ආගම් ලෝකයේ ප්‍රචාරය කිරීම පිණිස පුහුණු කරන ආයතන රාශියක් විවිධ රටවල ඇත. ගුවන් විදුලිය හා රූපවාහිනී මාධ්‍යයෙන් දේශන පැවැත්වීම පුවත්පතකට ලිපි සැපයීම නොවේ නම් පොදු ආගමික දේශනයක් පැවැත්වීම ඇතුළු හැම දෙයක් පිළිබඳ පුහුණුවක් එවැනි ආයතනවලින් ලබා දෙයි. ඒ සඳහා වැය කිරීමට ඕනෑ තරම් ධනය පෞද්ගලිකව ම හා රාජ්‍යයන් මඟින් ඔවුනට ලැබේ. ධර්ම ප්‍රචාරයට කැමති භික්ෂූන් අද ලංකාවේ ඇතත් එම සේවය කිරීමට අවශ්‍ය පුහුණුවක් ලබා දීමට ඉදිකර ඇති ආයතනවලින් එම සේවය සාර්ථක අන්දමින් කෙරෙන බවක් නො පෙනේ.

මේ නිසා ලෝකයට ම අවශ්‍ය ධර්ම දූතයන් වහන්සේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටුවීමට මේ සුදුසුම කාලය යි. ඒ සමඟ විවිධ රටවල ධර්ම ප්‍රචාරක සේවයක් සඳහාත් අවශ්‍ය පොත් පත් නිකුත් කිරීම සඳහාත් තැන්පත් අරමුදලක් රජයේ හා ධනවත් බෞද්ධයන්ගේ ආධාර ඇතිව ලංකාවේ පිහිටුවා එය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට විධිවිධාන යෙදිය යුතුය. මෙය මහඟු ප්‍රතිඵල ගෙන දෙන කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි.