Print this Article


ලගුකොට නොසිතවු පවු පරදාර ය - නිරයට ඇද ගෙන යන එම පාර ය

ලගුකොට නොසිතවු පවු පරදාර ය - නිරයට ඇද ගෙන යන එම පාර ය

‘කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනු පංචශීලයේ තෙවන සිල් පදයයි. එහි සාමාන්‍ය අදහස මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදන් වෙමි යනුයි. කාමමිථ්‍යාචාරය සිදුවීමට ද කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා.

එනම්,

අන්සතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම,

සේවනය කිරීමේ සිත, සේවනය කිරීමට

උත්සාහය හා සේවනය කිරීමයි

කාමමිථ්‍යාචාරයේ ස්වභාවය පිළිබඳ විවරණය කරමින් රේරුකානේ චන්දවිමල මහ නාහිමියෝ මෙසේ පවසති. එනම් සැමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයකුට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටියදී පරපුරෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාමමිථ්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

මේ ලෝකයේ සිටින සත්ත්වයා ලිංගිකව හැසිරීම ඔවුනට ආවේණික වූ ධර්මතාවක්. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ සඳහන් වෙනවා.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපම්පි
සමනුපස්සාමි, යං ඒවං පුරිසස්ස
චිත්තං පරියාදාය තිටිඨති.
යථ ඉදං භික්ඛවේ ඉක්ථිරූපං

මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත ඇද බැඳගෙන හාත්පසින් ම පවතිනවා. ස්ත්‍රීන්ගේ කටහඬ, ස්ත්‍රීන්ගේ සුවඳ ස්ත්‍රීන්ගේ රසය, ස්ත්‍රීන්ගේ ස්පර්ශය, පුරුෂයාගේ සිත හාත්පස ඇද බැඳගෙන තිබෙනවා.

පුරුෂයකු සම්බන්ධ ව ස්ත්‍රියගේ ඇද බැඳගැනීමත් එසේමැයි.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකරූපම්පි
සමනුපස්සාමි යං ඒවං ඉත්ථියා චිත්තං
පරියාදාය තිට්ඨති
යථඉද භික්ඛවේ පුරිසරූපං

ස්ත්‍රිය පුරුෂයාගේ සිත හාත්පස අල්ලාගෙන තියෙනවා. එනිසාම පුරුෂයකුට ස්ත්‍රිය කෙරේ කටහඬින්, සුවඳින්, රසයෙන්, ස්පර්ශයෙන් ඇතිවන හාත්පස බැඳීම ඒ ආකාරයෙන් ම ස්ත්‍රියට ද ඇති වන බවයි මෙයින් අර්ථවත් වන්නේ. මෙයයි සත්ත්වයාගේ පැවැත්මට හේතුවන්නේ. මෙය ඔවුනොවුන් කෙරේ හැඟීම් දනවන ස්වභාවයයි. ශාරීරික වශයෙන් සත්ත්වයාගේ පවතින මෙම සුවිශේෂී ජීවවිද්‍යාත්මක සාධකය අප තේරුම් ගත යුතුයි. මෙම තත්ත්වය තුළ පුරුෂයන් හා ස්ත්‍රින් නීත්‍යනුකූලව මෙවුන්දම් සේවනය කිරීම වරදක් නොවෙයි. නීත්‍යනුකූල තත්ත්වය ඉක්මවූ විට සිදුවන්නේ කාමයෙහි වරදවා හැසිරීමක්.

පුද්ගලයාගේ නැතහොත් සත්ත්වයාගේ ස්වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලා ගැනීමයි. නමුත් එහිදී අප ලෝක සම්මතයන්ට ගරු කළ යුතුයි. මෙම ලෝක සම්මතයන්ට ගරු කරමින් ජීවත් වෙයි නම්, සමාජයේ ඇතිවන ගැටුම් බොහෝදුරට අවම කර ගත හැකියි. නිරාකරණය කර ගත හැකියි. අද බොහෝ මිනිසුන් තමන්ගේ ලස්සන ජීවිතය අසුන්දර කර ගෙන තිබෙන්නේ, ඒ ජීවිත අපායවල් බවට පත් කරගෙන සිටින්නේ තම චර්යාවන් පාලනය කර ගත නොහැකි නිසයි. එනිසා අප හැම මොහොතක් ම කල්පනා කළ යුත්තේ සමාජයේ ඉතාමත් සාධාරණ ලෙස ජීවත් වෙමින් සමාජ සංස්කෘතියේ පැවැත්ම සඳහා කටයුතු කිරීමටයි.

රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ ග්‍රන්ථයක ඇතුළත් කරුණු අපගේ අවධානයට ලක්කර ගැනීම ඉතා වැදගත්. එනම්

‘සර්වාකාර පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක් ඇතිකර ගැනීම අතිදුෂ්කර ය” එය හැකි වෙතොත් හැකි වන්නේ පැවිද්දකුට ය. සියලු පැවිද්දන්ට එය කළ නොහැකි ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ පිළිබඳ සිඛපද නොපනවන ලදී. යමකුට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කළ හැකි වුවහොත් දුකෙන් මිදීමට අත් හළ යුත්තක් ඉතිරි නොවේ. ඇසෙන් රූප දැක, දැකීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, කනින් ශබ්ද අසා ඇසීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, කයින් ස්පර්ශ දැන, සිතින් ධර්මයන් දැක දැනීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, නුඹ මෙලොවත් නොවේ ය. පරලොවත් නොවේ ය. දෙලොවේ ම නොවේ ය. එයින්ම දුක් කෙළවර වන්නෙහි යැයි" වදාළ සේක.

ගිහියන් විසින් ද එක්තරා ප්‍රමාණයකින් හෝ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගත යුතුයි. එසේ නොවුණහොත් මිනිසා තිරිසන් ගණයට වැටෙන්නේ ය.

මේ තමයි ලෝකයේ ස්වභාවය. කාමේසුමිච්ඡාචාරාවෙන් වැළකී නිසි සේ ඔවුනොවුන් යුගජීවිත ගත කරනවා නම් සමාජයේ ගැටුම් ඇතිවන්නේ නැහැ. ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ලෙඩදුක් ඇති වන්නේ නැහැ. මහා භයානක රෝග වැළඳෙන්නේ නැහැ.

ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ කාම මිථ්‍යාචාරය අකුසලය සුළු කොට නොසලකන්න එපා කියා ය. එනම්,

අසු කොට ගත නොතබති ආදාර ය
වදකොට මැරුවත් නැත ඒ විචාර ය
ලගුකොට නොසිතවු පව් පරදාරය
නිරයට ඇද ගෙන යන එම පාරය

සංස්කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්වකීය සෞන්දර්යාත්මක මහා කාව්‍යයේ සඳහන් කර ඇත්තේ ගින්නට දරවලින් තෘප්තියක් නැත. සයුරට ජලයෙන් තෘප්තියක් නැත. තෘෂ්ණා කාමියාට කාමයෙන් තෘප්තියක් නැත. එනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නැත යනුවෙනි.

මෙතැන තියෙන්නේ පව සහ පින අතර ගැටුමක්. යම් කිසි ක්‍රියාදාමයක් තුළින් අකුසලයක් සිදුවේ නම්, එය තමන්ටත් අහිතකර නම්, අනුන්ටත් අහිතකර නම්, දෙපාර්ශ්වයට ම අහිතකර නම් එය පවක්. යම්කිසි ක්‍රියාදාමයක් තමන්ට මෙන්ම අන් අයට ද හිතකර නම් එය පිනක්.

කාමයෙහි වරදවා හැසිරීමේ දී අනියම් පුරුෂයකු, අනියම් බිරියක චර්යා ධර්මයන්හි හැසිරෙන්නේ ඉතාමත් කැමැත්තෙන්. මේ නිසා එතැනදී කාමයේ වරදවා හැසිරීමක් වන්නේ නැතැයි කෙනකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ. මෙම ස්ත්‍රියට විවාහ වුණූ පුරුෂයෙක් සිටිනවා. පුරුෂයාට විවාහ වුණූ බිරිඳක් සිටිනවා. මෙම අනියම් ඇසුර නිසා මෙම පාර්ශ්වයන් අතර ගැටුම් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. සමාජ සදාචාරය බිඳවැටෙනවා. මේවා පවත්වා ගෙන යාමේදී නිතරම පසුවන්නේ සැකයෙන් බියෙන්. අප රටට අනුව සමාජ සම්මතයන් බිඳ දමා සිදු කරන මෙම ක්‍රියාවලිය නිසා ඊට පෙලඹෙන්නන් ද සිටින්නේ දෙගිඩියාවකින්. නොසන්සුන් සිතකින්. මේවා දිගින් දිගටම සිදුවන විට එයම අකුසලයට හේතුවක් වෙනවා.

අප සැම විටම කල්පනා කළ යුත්තේ යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ දී එය තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස වේ නම්, එය අකුසලයක් වන බවයි.

එනිසා කාට හෝ තමන්ගේ රුචි අරුචිකම් අනුව පමණක් හැසිරෙන්න අයිතියක් නැහැ. තමන් සිදුකරන ක්‍රියාවන් නිසා සමාජයට සිදුවන්නේ යහපතක් ද, අයහපතක් ද කියා නිතරම කල්පනා කළ යුතුයි. සමාජ සදාචාරයට යන සමාජ සම්මුතීන්වලට පිටුපා ක්‍රියාකිරීමට අපට අයිතියක් නැහැ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.