Print this Article


දිවි දෙවැනි කොට සුරැකි ත්‍රිපිටක ධර්මය

දිවි දෙවැනි කොට සුරැකි ත්‍රිපිටක ධර්මය

සදාකල්හි පවතින කිසිවක් ලෝකයෙහි නැත. එහෙයින් බුදු සසුන ද වැනැසෙන සුළු ය. යම් දිනක පංච අන්තර්ධානය සිදුවී නම්, එදා සිට බුදුසසුනක් ද නැත. බුද්ධශාසනය පරියත්ති, පටිපත්ති, පටිවේධ කියා ප්‍රධාන වශයෙන් ත්‍රිවිධය යි උගන්වා ඇත.

ශාසනාන්තර්ධාන කථාවේ දී ඒ තුනට ම මේ අන්තර්ධාන කරුණුපස ඇතුළත් කළ හැක්කේ මෙසේ ය. පටිවේධ යන්නෙන් අධිගමය ගැනෙන අතර, පටිපත්ති යන්නට ලිංග අන්තර්ධාන, ධාතු අන්තර්ධාන යන දෙක ඇතුළත් කළ හැකි ය. අධිගම අන්තර්ධාන, පටිපත්ති අන්තර්ධාන, පරියත්ති අන්තර්ධාන, ලිංගන්තර්ධාන, ධාතු අන්තර්ධානය කියා අන්තර්ධානයෝ පස් දෙනෙක් වෙති.

අධිගම අන්තර්ධානය

අධිගම නම් සිවු මඟ ඵලය, සිවුපිළි සිඹියා ය, ත්‍රි විද්‍යා ය, ෂඩභිඥාය යන මේ ධර්‍මයන් අවබෝධ කොට ගැනීම් වශයෙන් සිය සතන්හි පමුණුවා ගැනීමයි. අධිගමය පිරිහීමට වන් කල්හි පළමුවෙන්ම අර්‍ථ, ධර්‍ම, නිරුක්ති, ප්‍රතිභාණ යන සිවුපිළිසිඹියාවන්ගේ පිරිහීම වේ.

පරිනිර්වාණයෙන් වර්‍ෂ දහසක් ගියපසු ප්‍රති සම්භිදා උපදවනු නොහැකි යැ යි අර්‍ථ කථාවන්හි සඳහන් ව ඇත. ප්‍රතිසම්භිදා උපදවනුව නො සමත් යෝගාවචරයෝ ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්ත විජානන, පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන ෂඩ්භිඥාවන් උපදවති.

කල් ගතවත් ම එද උපදවන්නට අපොහොසත් වන්නාහු පුබ්බේනිවාසානුස්මෘතිඥානය, දිව්‍යංක්ෂුරභිඥානය, ආශ්‍රවක්ෂයකර ඥානය යන ත්‍රිවිද්‍යාවන් උපදවති.

ඉන්පසු ත්‍රිවිද්‍යාවන් ද උපදවන්නට නොහැක්කෝ ශුෂ්ක විදර්‍ශකව හෙවත් අභිඥාදියක් නො ලබා කෙලෙස් නැසීම් පමණක් කොට රහත් වෙති.

කල් යෑමේ දී ශුෂ්ක විදර්‍ශකව රහත් වීමටවත් නො සමත් වූවෝ අනාගාමී මාර්‍ග ඵලය පමණක් ලබති.

අනාගාමී මාර්‍ග ඵලයවත් ලැබිය නො හැක්කෝ සකෘදාගාමී මාර්‍ග ඵලය ලබති. සකෘදාගාමී වීමට පුළුවන් කාලය ගෙවී යෑමෙන් සෝවාන් මඟ ඵල පමණක් ලබති.

කල් ගතවත් ම සෝවාන් මඟ ඵල ලබන්නෝ ද විරල වන්නාහ. යටත් පිරිසෙයින් එක සෝවාන් පුඟුලකු හෝ ජීවමාන කල්හි අධිගමය අතුරුදහන් වූයේ නොවේ. අන්තිම සෝවාන් පුඟුලාගේ කාල ක්‍රියායෙන් පසු අධිගමය අතුරුදහන් වූයේ යැයි සලකනු ලැබේ.

ප්‍රතිපත්ති අන්තර්ධානය

ප්‍රතිපත්ති නම්, බුද්‍ධානුශාසනය පරිදි පිළිපැදීම යි. උත්තරී මනුෂ්‍ය ධර්‍ම යැයි සලකන ධ්‍යාන විදර්‍ශනා මාර්‍ග ඵලාදිය උපදවන්නට අසමර්ථ වූ භික්‍ෂූන් වහන්සේ සිවු පිරිසුදු සීලය හොඳින් ආරක්ෂා කෙරෙති. කල් ගත වත් ම ඛුද්දානු ඛුද්දකයන්- කුදන් කුදු (දුක්කට - දුබ්හාසිතයන්) මඩිත්. ඉන්පසු පචිති ථුලසි ඇවැත් මැඩීමට ද බිය නොවෙත්. එසේ නො බිය වූවෝ ගරුකා පත්තිය යි නම් ලද සඟ වෙසෙස් ඇවැත් ද මඩිමින් සතර පරිජි පමණක් රකිති. පරිජි නොවන් එක පුද්ගලයලකු හෝ සිටින තෙක් ප්‍රතිපත්ති ශාසනය අතුරු දන් නොවූයේ නම් වේ.

අන්තිම භික්‍ෂුවගේ සීල භේදයෙන් හෝ කාලක්‍රියායෙන් හෝ ප්‍රතිපත්ති ශාසනය අතුරුදන් වූයේ නම් වේ.

පර්යාප්ති අන්තර්ධානය

පර්‍යාප්ති නම්, අටුවා සහිත බුද්ධ වචනය යි. බුද්ධ වචනය නැසෙන්නට නොදී ආරක්ෂා කරන්නෝ භික්ෂූහු වෙති. කල් යෑමෙන් භික්ෂූහු පර්‍යාප්තිය දැරීමෙහි අසමර්ථ වෙති. එවිට ප්‍රථමයෙන් අභිධර්‍ම පිටකය පිරිහෙයි. ඉනිදු මහා ප්‍රකරණ නම් වූ පට්ඨානය මුලින් ම ද, අනතුරුව යමක, කථාවත්‍ථු, පුග්ගල පඤ්ඤප්ති, ධාතු කථා, විභංග, ධම්ම සංගණී යන පොත් ද පිළිවෙලින් පිරිහේ.

මෙසේ අභිධර්‍ම පිටකය පිරිහුණු කල්හි සුත්‍ර පිටකය පිරිහීමට පටන් ගනී. පළමුවෙන් අංගුත්තර නිකාය අග සිට මුල දක්වා ද, ඊට අනතුරුව සංයුක්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, යන පොත් අග සිට මුල දක්වා පිරිහෙන්නේ ය.

දීඝ නිකාය පිරිහුණු කල්හි සූත්‍ර පිටකය පිරිහුණේ නම් වන්නේ ය. සූත්‍ර පිටකය පිරිහුණු කල්හි භික්ෂුහු විනය පිටකය සමග ජාතකයන් දරත්. එදෙකින් ද ලජ්ජි භික්ෂුහු විනය පමණක් දරත්. අලජ්ජි වූ ලාභාපේක්ෂකයෝ ජාතක පමණක් දරත්. ඔවුනට ද කල් ගතවත් ම ජාතක පවා දරා ගැනීමට නොපිළිවන් වන හෙයින් ජාතක ද වෙස්සන්තර ජාතකයේ සිට ක්‍රමයෙන් පිරිහෙමින් අවුත් අපණ්ණක ජාතකයෙන් කෙළවර වන්නේ ය.

විනය පිටකය ද කල් යත් යත්ම මස්තකයෙහි පටන් පිරිහේ. පළමුවෙන් පරිවාර පාළිය ද, අනතුරුව චූලවග්ග මහාවග්ග භික්ඛුණිවිභංග, භික්ඛුවිභංග යන විනය කොටස් ද පටි ලොමයෙන් පිරිහෙයි. අන්තිමට ඉතිරි වන්නේ ප්‍රාතිමෝක්‍ෂයයි. එද අග සිට මුලට පිරිහුණු කල විනය පිටකය අන්තර්හිත නම් වේ.

මෙසේ ත්‍රිපිටක ධර්‍මය භික්‍ෂූන් කෙරෙන් පිරිහී ගිය ද ගිහියන් අතුරෙහි හෝ සතර පද ගාථා මාත්‍රයක් දන්නා කෙනෙකුවත් සිටින තුරු පර්‍යාප්තිය පිරිහුණු සේ නොසැලකේ. යම් කලෙකැ සැදැහැති රජෙක් බණ අසනු කැමැතිව ඇතකු මත දහසකින් බැඳී පොදියක් තබ්බවා, සිවුපද ගයක් පමණ වූ බුදුබණ දන්නකුවත් ඇතොත් මේ දහස ගනීවා’යි තෙවරක් ම බෙර පියවී කරවා ද? එසේ වූ කලත් බුදුබණින් සිවුපද ගයක් වත් නොදන්නා බැවින් එය ගන්නා කෙනෙකු නොලැබ ආපසු රජ ගෙටම ගෙනෙත් නම්, එකල්හි පර්‍යාප්ති ශාසනය අතුරුදන් වූයේ නම් වන්නේ ය.

ලිංගන්තර්ධානය

මෙහි ලිංග නම්, මහණ වෙසයි. ශ්‍රමණ ස්වරූපය යි. ඒ මහණ වෙස අතුරුදහන් වීම ලිංගන්තර්ධාන නමි. කල් යත්ම භික්ෂුන්ගේ සිවුරු පෙරැවීම, පාත්‍රා පරිහරණය, අත් පා හැකිළීම, පෙර පසු බැලීම් ආදි වූ ශ්‍රමණ ආකල්පය දුටුවන් පහදනා සුළු නොවෙයි. නිගණ්ඨාදීන් ලබු කබල් ගන්නාක් මෙන් වැළමිටි හන්දියෙන් පාත්‍රය ගෙන ඇවිදිති. තවත් කල් යෑමෙන් අතින් හෝ සහල්ලෙක්හි බහා හෝ ගෙනයති. සිවුරු ද කැප සරුප් ලෙස පඬු නොපවා ඔටු ඇට වැනි පැහැයෙන් යුක්ත කොට යම්තම් පඬු පොවාගත් සිවුරු ඇතිව ඇවිදිති. කල් යත්ම කඩ කැපීමාදිය නොකොට දාවලු පමණක් සිඳ මසා හඳීති. ඉන්පසු කොන් කපා දමා අඳිති.

මෙසේ ක්‍රමයෙන් එකින් එක අඩු කරමින් අවුත් සිවුරු දැරීම කවර ප්‍රයෝජනයක් දැයි සිතා කුඩා කහකඩක් අතේ හෝ කරේ හෝ කෙස්සෙහි හෝ බැඳ ගෙන අඹුදරුවන් පෝෂණය කරමින් කෘෂි වනිග් ආදි කර්‍මාන්ත කොට ජීවත් වෙති. එකල්හි ද දක්ෂිණා දෙන්නෝ සංඝයාට දෙමැ යි ඔවුන් ඉදිරියේ තබා යම් දෙයක් පුදත් ද, ඒ දායකයනට පවා ගිණිය නොහැකි අප්‍රමේය වූ අනුසස් ලැබෙන බව ප්‍රකාශ වේ.

“භවිස්සන්ති ඛො පනානන්ද අනාගත මද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා; තෙසු දුස්සීලෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපහං ආනන්ද සංඝගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි”

යනු ඒ බව ප්‍රකාශ වන දේශනා පාඨයයි.

පූර්වෝක්ත පරිදි කහකඩක් බැඳගත්තෝ ද මෙයින් ඇති ප්‍රයෝජනය කුමක් දැයි සිතා ඒ කහකඩ ද ලිහා දමති. එකල්හි ලිංගාන්තර්ධානය වන්නේ ය.

ධාතු අන්තර්ධානය

මෙහි ධාතු නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ඉතිරි වූ සතර දන්ත ධාතු ය, දෙ අකු ධාතු ය, ලළාට ධාතු ය යන සප්ත ධාතූන් වහන්සේ සහ අබ - කඩ සාල් - මුං බියෙලි පමණැ’ති සෙසු භෂ්මාවශේෂ වූ වස්තූහු යි.

ඒ ඒ තන්හි සත්කාර සම්මාන නොලබන ධාතූහු තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනට වඩිති. කල් යත් යත්ම හැම තන්හි සත්කාර සම්මාන නොවේ. එකල්හි ලක්දිව හැම ධාතුහුම රුවන්මැලි දාගැබට වඩිති. එතැනින් නාගදීපයෙහි රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහ බෝමැඩට වඩිති. නාලෝ දෙව්ලෝ ඈතන්හි ධාතුන් වහන්සේත් මහ බෝ මැඩට රැස්වෙති. එසේ රැස් වූවාහු එතැන දී බුදුවෙස් ගෙනැ බොධිපර්‍යංකයෙහි වැඩහුන් බුදුන් වහන්සේගේ සියලු ශරීර ප්‍රභා දක්වා යමා මහ පෙළහරෙහි දී මෙන් ප්‍රාතිහාර්ය කොට සවනක් රැස් දස දහස් ලෝ දාහි පතුරුවාලති.

එහිදී දස දහසක් සක්වලැ දෙවි බඹහු රැස්ව හඬා වැළපෙති. ධාතු ශරීරයෙන් ම ගිනි නැඟී ඒ සිරුර නොපෙනීම් බවට යෙයි. දෙවියෝ තුන්යළක් පැදකුණු කොට “අනාගතයෙහි උපදනා බුදුන් දකුම්හ”යි තම තමන්ගේ වාසස්ථානයට යන්නාහ. මේ ධාතු අන්තර්ධානයයි.

මේ පඤ්ච විධ අන්තර්ධානයන් අතුරෙන් පර්යාප්තිය නම් ලද ත්‍රිපිටක ධර්මයාගේ අන්තර්ධානය ම ප්‍රධාන වේ. ඒ එසේ මැ යි. පර්යාප්තිය අන්තර්ධාන වූ කල්හි ප්‍රතිපත්තිය ද නැති වේ. ප්‍රතිපත්තිය නැති කලැ ප්‍රතිවේධයක් ඇති නොවේ ම ය. මෙය හොඳීන් දත් අතීතයෙහි විසූ භික්‍ෂූන් වහන්සේ ස්වකීය ජීවිතයටත් වඩා සැලකිල්ලෙන් ත්‍රිපිටක ධර්මය ආරක්‍ෂා කළහ.

පෙර ලක්දිවැ ඇති වූ චණ්ඩාල තිස්ස නම් මහ බියේ දී ප්‍රත්‍යයෙන් ක්ලාන්ත වූ භික්ෂූන් වහන්සේ කවුරුත් මුහුදු තරණය කොට පරතෙරට යාමට පැමිණියහ. නැව් තොටට සැපත් භික්ෂූන් අතුරෙන් සැට නමක් “මෙහිම සිට ත්‍රිපිටක ධර්‍මය රකිමැයි” සිතා දකුණු මලය දනව්වට ගොස් අල මුල් කොළවලින් දිවි පවත්වමින් ශරීර ශක්තිය ඇති කල්හි හිඳ ගෙන ත්‍රිපිටකය සජ්ඣායනා කළහ. හිඳ ගෙන සිටීමට නොපිළිවන් කල්හි වැලිගොඩක් ගසා වටේට හාන්සිවී හිස එක්ව තබා පර්‍යාප්තිය සම්මර්‍ශනය කළහ.

මෙසේ මහත් උත්සාහයෙන් දොළොස් වසරක් ත්‍රිපිටකය සම්පූර්‍ණයෙන් දරා සිටියහ. පෙරැකී බිය සන්සුන් කල්හි පරතෙර ගිය සත් සියයක් භික්ෂුහු නැවත අවුත් මණ්ඩලාරාමයට පිවිසියාහු ය. උන්වහන්සේ පැමිණි බැව් දත් ලක්දිව වුසු සැට නම ද එහි පැමිණියහ. දෙපක්ෂය ම එක්වී ස්වකීය පාඩම අනුව සංසන්දය කොට බැලූහ. එසේ බලත්ම ඇල පිල්ලෙකිනිදු නොසම තැනක් උන්වහන්සේ නොදුටුවෝ ය.

එහිදී ඒ දෙපිරිස අතරැ මෙබදු සාකච්ඡාවක් ඇතිවිය.

“පරියත්ති නුබො සාසනස්ස මුලං උදාහු පටිපත්තීති” සසුන් මුල පර්‍යාප්තිය ද? නැතහොත් ප්‍රතිපත්තිය ද? කියායි. එවිට පාංශුකූලිකයෝ ප්‍රතිපත්තිය මුල යැයි කීහ. ධර්‍ම කථිකයෝ පර්‍යාප්තිය මුල යයි කීහ.

“යාව තිට්ඨන්ති සුත්තන්තා - විනයොයාව දිප්පති
තාව දක්ඛින්ති ආලොකං - සුරියෙ අබ්භුඨිතෙ යථා
සුත්තන්තෙසු අසන්තෙසු - පම්මුට්ඨෙ විනයමිහි ච
තමො භවිස්සති ලොකෙ - සුරියෙ අත්‍ථඬ්ගතෙ යථා,
සුත්තන්තෙ රක්ඛිතෙ සන්තෙ - පටිපත්ති හොති රක්ඛිතා
පටිපත්තියං ඨිතො ධීරො - යොගක්ඛෙමා න ධංසති”

පර්‍යාප්තිය මුල්වන බව ප්‍රකාශ වන්නා වු පූර්වෝක්ත ගාථාවන් අයත් සූත්‍ර ධර්‍මය දේශනා කළ විට පාංශු කූලිකයෝ නිශ්ශබ්ද වූහ.

යම් සේ ගෙරින් සිය දහස් ගණන් ඇති ගව රැළක් සිටිය ද ගව දෙනක නැති කල්හි ගව පරපුර නොපවතින්නාක් සේ ම ආරබ්ධ විදර්‍ශකයන් සිය දහස් ගණන් සිටිතුදු පර්‍යාප්තිය අවිද්‍යමාන කල්හි මාර්ගාවබෝධයක් නම් නොවන්නේ මැ ය. එබැවින් පර්‍යාප්තිය සංඛ්‍යාත වූ ත්‍රිපිටක ධර්‍මය ආරක්‍ෂා කිරීම ශාසනස්ථිතිකාමීන්ගේ පරම යුතුකම බව පැහැදිලි ය.

සම්බුද්‍ධ පරිනිර්‍වාණයෙන් පසු පර්‍යාප්තිය නොනසා රැකියෝ භික්ෂුහු මැ වෙති. බැමිණිටියාසාය, චණ්ඩාලතිස්සභය වැනි ඉතා දුෂ්කර කාලයන්හි පවා ජීවිත පූජායෙන් යුක්තව උන්වහන්සේ ත්‍රිපිටකය නොරැක්කෝ නම්, අද බෞද්‍ධයනට පමණක් නොව මුළු ලොවට ම ධර්‍මයෙන් සැනසිය නොහැකි ය.

භික්ෂුන්ගෙන් පිරිමැසිය යුතු වූ මේ යුතුකම මෙකල කොතෙක් දුරට පිරිමැසේ දැයි පිරික්සා බලත්ම බෙහෙවින් කනගාටු වන්නට සිදුවන්නේ ය. ස්වකීය උරුමය වූ ත්‍රිපිටක ධර්‍මය රැක ගැනීම තබා එය ඉගෙනීමට පවා කැමැති කී දෙනෙක් අද භික්ෂුන් අතර සිටිත් දැයි විමසිය යුතු ය. මෙකල ඇතැම් පැවිද්දෝ තමන් විසින් නොවරදවා ම උගත යුතු වූ ත්‍රිපිටක බුද්ධ වචනය තරමක් දුරටවත් නො ඉගෙන ඉන් බැහැර වු පැවිද්දට අනවශ්‍ය වු නොයෙක් දේ උගනිති. එය සිය යුතුකම අමතක කැරුමෙකි. තමන් යා යුතු මග වරදවා ගැනුමෙකි. පැවිද්දේ දී දුන් ප්‍රතිඥාවට විරුද්ධ වීමකි. සිය බස හා පෙළ බසත්, බණ දහමට හා පෙළ හෙළ බසට ද උදව් පිණිස සකු බස ද හොඳින් උගත් කෙනකු විසින් නම් ඉංගිරිසිය වැනි අන්‍ය භාෂාවන් ඉගෙනීම නුසුදුසු නොවේ.

ශාසනාන්තර්ධානයට හේතු

නොයෙක් තන්හි ප්‍රකාශිත පරිදි පෙරැකී ශාසනාන්තර්ධානයට හේතු ද ඇත. භික්ෂූන් බණ දහම් නොදැනීම හා පිළිනොපැදීම ද, අධර්‍මය ධර්‍මය යැයි ද, ධර්‍මය අධර්‍ම යැයි ද, අවිනය, විනය යැයි ද, විනයය අවිනයැයිද යනාදි වශයෙන් ප්‍රකාශ කිරීම සහ කොසජ්ජය, මහිච්ඡතාව අසන්තුට්ඨිතාව, අයොනිසොමනසිකාරය, අසම්පජඤ්ඤය, පාපමිත්ත සේවනය, අකුසලයන්හි යෙදීම ය, කුසලයන්හි නොයෙදීම ය යනාදිය සහ පෙළ සහ අටුවාව වැරැදි ලෙස තේරුම් ගැනීම, ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන් චීවරාදී ප්‍රත්‍යය බහුල බවට පිළිපන් බව සස්න ලිහිල් කොට ගැනීම, නිවන් පිණිස ආරම්භ වීර්‍යය මාත්‍රයක් වත් නොකිරීම ද යනාදිය ශාසනාන්තර්ධානයට හේතු වශයෙන් ප්‍රකාශ වේ.

විශේෂයෙන් ම හොඳින් නොඇසීම, සකසා පාඩම් කර නොගැනීම, සකසා සිතට නොගැනීම, සිත්හි ධාරණය කර ගත් ධර්‍මය හොඳින් අභ්‍යාස නොකිරීම සහ ධාර්මිකව ජීවත් නොවීම යනාදී කරුණු කීපයක් අංගුත්තර පඤ්චක නිපාතයෙහි දේශනා කළ සේක.

මේ ආදී ශාසනාන්තර්ධාන කාරණා හොඳින් උගෙන ඒවායින් වෙන් වීමටත්, ශාසනාභිවෘද්ධිය සැලසෙන්නා වූ ධර්‍මයන්හි යෙදී තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශාසන දියුණුවට රුකුල් දීමටත් සියලු පින්වතුන් විසින් ම ඉටා ගත හොත් යෙහෙකි.

“නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තරං බාහිරං
එවං ගොපෙථ අත්තානං
ඛණො වෙ මා උපච්චගා
ඛණාතීතාහි සොචන්ති නිරයම්හි සමප්පිනා”

ඇතුළතින් හා පිටතින් රැකවල් කරන ලද පිටිසර නුවරක් මෙන් තම සිත රැක ගන්න. මේ අතිශයින් දුර්ලභ වූ මනුෂ්‍යාත්මය, බුද්ධොත්පාදය, පතිරූපදේශ වාසය, සම්‍යයක් දෘෂ්ටිය යන උතුම් අවස්ථාව නිකරුණේ ගත නොකරන්න. මේ උතුම් මොහොත නිකරුණේ ඉක්මවාලූ අය නිරයෙහි ඉපිද ශෝක කරත්, එහෙයින් මේ උතුම් අවස්ථාවෙන් වැඩ ගත යුතු ය.