Print this Article


බෙදෙනවා ද ? බැඳෙනවා ද?

බෙදෙනවා ද ? බැඳෙනවා ද?

අප බෝසතාණන් වහන්සේ එක් අවදියක රුක් දෙවියෙක් ව ඉපදුණා හ. එහි වූ දෙවියන්ගේ නායකයා බවට කලක් යද්දි එතුමා පත් විය.

එතුමා දෙවියන් අමතා එම වනය තුළ මහ ගස්වල කුඩා ගස්වල එකම තැන විමන් තනා ගන්නා ලෙස දෙවියන්ට කියන්නට විය. යම් කෙනකු එයට අකැමැති නම් වෙනත් ප්‍රදේශයක තනිව විමාන සාදා ගත්ත ද එහි වරදක් නැතැයි මෙම දෙවියන්ගේ නායකයා පැවසීය. බොහෝ දෙවිවරු නායකයාට අවනතව ඒ ස්ථානයේ කුඩා ගස්වල මහ ගස්වල විමාන තනා ගත්හ. එහෙත් පුද පූජාවන් කෙරෙහි ලොබ බැඳ ගත් සමහර දෙවිවරු ගම්මානවල පැවැති හුදකලා මහ ගස්වල විමාන තනා ගත් හ. මෙසේ කලක් ගත වෙද්දී මහා සුළඟක් හමන්නට විය. එම සුළඟට මුහුණ දීමට මෙම මහ ගස්වලට ශක්තිය නැති විය. මේ සුළඟින් ගම්මානවල වූ හුදකලා මහ ගස් කඩා වැටිණි. එම දෙවිවරුන්ගේ විමාන බිඳ වැටිණි. වනයෙහි වූ මහ ගස් හා කුඩා ගස් මේ මහ සුළඟට එක්ව මුහුණ දෙන ලදී. එක් දිසාවකින් සුළඟ හමන විට ලොකු ගස් හා කුඩා ගස් එකට සුළඟ හමන දිසාවට හැරිණි. අනෙක් දිසාවෙන් හමන විට එම දිසාවට හැරිණි. මේ නිසා ඒ කිසිම ගසකට හානියක් නොවූ අතර, ඒ දෙවියන්ගේ විමාන ද හානි නොවිණි.

බෙදී සිටිනවාට වඩා බැඳී සිටීමේ වැදගත්කම දක්වන මෙය පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන රුක්ඛධම්ම ජාතකය යි. බුදුරජාණන් වහන්සේ මෙම ජාතක කථාව දේශනා කළේ තම ඤාතීන් වන ශාක්‍යයන් හා කෝලියන් අචිරවතී නදියෙහි වතුර බෙදා ගන්නට යුදයකට සැරසුණ අවස්ථාවේ දී ඔවුන්ට අවවාද කිරීම සදහා ය. ආත්ම ලාභය සඳහා බෙදෙනවාට වඩා එකට බැඳී සිටීම තුළින් තමන්ගේ ආරක්ෂාව සැලසෙන බව උන්වහන්සේ සුළගක දී අනුගමනය කරන ගස්වල ධර්මතා තුළින් පෙන්වා දෙති.

වර්තමානයේ අප බෙදීමට කටයුතු කරයි. කතා කරන භාෂාව, අදහන ආගම අනුව බෙදී වෙසෙන්නට කල්පනා කරති. කුල ගෝත්‍ර අනුව බෙදෙයි. ආගම ද, විවිධ මත වාද තුළ, බෙදන්නට වෙර දරති. පිරිසක් බුදුරජාණන් වහන්සේ උපන් ජම්බුද්ද්වීපය මේ රටේ ම වුවකැයි කියති. ජම්බුද් ද්වීපය, සීහළ දීපය, ගිරි දීපය වශයෙන් ඓතිහාසිකව බෙදුන රටක් බව දක්වති.සොළොස් මහ ජනපද වූ බව දක්වති. කුඩා කුඩා කණ්ඩායම්වලට බෙදීම වරදක් නැතැයි යන මානසිකත්වය අප සිත තුළ පැළපදියම් කරන්නට වෙර දරති. ඔවුන්ගේ ජම්බුද්දීපයත්, දෙමළ විමුක්ති කොටි සංවිධානය ඇඳි සිතුවමත් වෙනස් වන්නේ අල්ප මාත්‍රයකිනි.

සිංහල බෞද්ධයාගේ මේ බෙදීම, ලාංකිකයාගේ මේ බෙදීම නිසා යම් දවසක රුක්ඛධම්ම ජාතකයෙහි සුළඟ මෙන් මහා ව්‍යසනයක් පැමිණි කළ පුද්ගලයන් වශයෙන් රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අප අවාසනාවන්ත තත්වයට පත් වෙයි. තමන් ම අවබෝධය ලැබුවා යැයි කියන සමහරු මේ යථාර්ථය නො දනිති යි. සමහර විටෙක දන්නා නමුත් තම පෝෂකයන්ගේ අරමුණ ඉටු කිරීම උදෙසා එසේ කරති. වටු වැද්දාගේ කථාවෙහි වටු රැළට වූ ඉරණම ඔවුන් විසින් ඔවුන්ට උරුම කර ගනිති. මුලින් වටු වැද්දා දැල එළූ කල හැම දෙනා එක්ව සමගිව දැළ ඔසවා තම දිවි රැක ගත්හ. පසුව අසමඟි විය. ඒ නිසාම දෙවන වර දී වටු රැළ වැද්දාට ගොදුරුව විනාශය උරුම කර ගත්හ. එදා සිටි වටු වැද්දෝ අදත් ඒ අයුරින් ම ක්‍රියා කරති. අසමඟි වූ රටේ පුරවැසියන් වූ වටුවෝ තවමත් පිල් බෙදී එකිනෙකාට චෝදනා කරමින් වාද විවාද කරති. රණ්ඩු සරුවල් වෙති.විනාශය ළඟා කර ගනිති.

බුදුරජාණන් වහන්සේ මෙම බෙදීම ප්‍රතික්ෂේප කළහ. බෙදිය යුත්තේ බලය නොව ඔවුනොවුන්ගේ ක්‍රියාකාරකම් ය යන්න උන්වහන්සේගේ දේශනාව යි. නො මරමින්, නො මරවමින්, සොරකම් නොකරමින්, සොරකම් නො කරවමින්, බොරු කේළාම් නොකියමින්, නො කියවමින් රටක් හදන අයුරු කියන උන්වහන්සේ දේශිත සුහුරු රාජ්‍ය පාලන ක්‍රමය නම් සක්විති රාජ සංකල්පය යි.

පන්සිල් අනුව ලෝකයක් තැනීම මෙම සංකල්පයේ අරමුණ යි. සක්විති රජු රටවල් ආක්‍රමණය කරයි. එම රාජ්‍යයේ රජුන් ප්‍රධාන පුරවැසියන් සීලයෙහි පිහිටුවයි. අනතුරුව ධාර්මිකව රාජ්‍ය පාලනය කරන ලෙස දක්වා එම රජුට ම රට බාර දෙයි. මෙය පුද්ගල නායකත්වයෙන් යුතු පැසිට්වාදී පාලනයක් නොව ධර්මය පදනම් කර ගත් උසස් පාලනයකි. පඤ්චසීල ප්‍රතිපදාව පදනම් කර ගත් පාලනයකි. උන්වහන්සේ අගය කළේ බෙදුණු පාලනයක් නොවෙයි. බැඳුණු පාලනයකි. එදා පැවති රාජාණ්ඩු හා සමුහාණ්ඩු අතර උන්වහන්සේ අගය කළේ රාජාණ්ඩු ක්‍රමය යි. ඒ නිසා ම උන්වහන්සේ තම දිවියේ වැඩිපුරම විසුවේ කෝසල, මගධ වැනි රාජාණ්ඩු තුළයි. උන්වහන්සේගේ පෙර උත්පත්ති කථා කියවන ජාතක කථා තුළ උන්වහන්සේ මතු කරන රාජ්‍ය සංකල්පය රාජාණ්ඩු ක්‍රමය යි. උන්වහන්සේ ඉතා සමීපව සම්බන්ධතා දැක්වූයේ කෝසල, බිමිබිසාර, අජාසත්ත වැනි රාජාණ්ඩු ක්‍රමය අනුගමනය කළ රජවරුන් ය. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන කල ආදි ලෙස ඒ සියලු කථා ආරම්භ කරන්නේ රාජාණ්ඩු ක්‍රමය හුවා දක්වමින් ය. මෙය ඒකීය රාජ්‍ය සංකල්පය මතු කරන අවස්ථාවකි.

බොහෝ විට සතුරාට අවශ්‍ය වන්නේ අප බෙදීමට යි. බෙදුනු විට අප දුර්වල වෙයි.එකිනෙකාට වෛර කිරීම, ද්වේෂ කිරීම, මානයෙන් යුක්ත වීම වැනි නරක කෙලෙස් පදනම් කොට අප අභ්‍යන්තරිකව දූෂණය වෙයි. ඒ නිසා මේ භවය පමණක් නොව භව සංසාරය ම විනාශ කර ගනියි. කුඩා කුඩා කණ්ඩායම් වූ කල අප ජවයෙන් හීන වෙයි. දුර්වල වෙයි. තනි තනිව කෙඳි වෙනවාට වඩා එක්ව ලණු වීම ශක්තිය ගොඩ නැඟෙන අවස්ථාවකි. එසේ නොවුනොත් සතුරා ඔහු කැමැති අයුරින් අප ආක්‍රමණය කරයි. නිදහස නැති කරයි. වහල් භාවයට පත් කරයි. එය ද භව සංසාර ගමන ම විනාශ කිරීමට හේතු වෙයි. ආරවුල් ඉදිරි දොරින් එන විට සාමය පෑළ දොරින් පැන දුවයි.

බුදු දහම අගයන්නේ බලය බෙදීම නොව බලය එක්තැන් වී එක් අරමුණක් ඉටු කර ගන්නට කාර්ය බෙදීමයි. මේ සඳහා කදිම නිදසුනකි ලටුකික ජාතකය. වනයෙහි කැට කිරිල්ලක් සිටියි. දිනක් ඒ වනයෙහි වූ අලියෙක් කැටකිරිල්ලගේ කූඩුව කඩා කිරිල්ලිගේ දරුවන් විනාශ කරයි. අලියා තමන්ට කළ අයුක්තියට දඬුවම් දෙන්නට ඈ සිතයි. ඇගේ යහළුවෝ පිරිසක් වෙති. ඒ කපුටෙක්, නිලමැස්සෙක් හා ගෙම්බෙකි. තමන්ට වූ අසාධාරණය කැටකිරිල්ල යහළුවන්ට කියයි. ඔවුහු ද කැටකිරිල්ලට උදව් කිරීමට එක් වෙයි.

අලියා නිදා සිටින අවස්ථාවක කපුටා ගොස් ඇස් දෙක වටා කොටා තුවාල කරයි. නිල මැස්සා ඉහද ගහයි. අලියාගේ ඇස් වටා ඉහද ගැසූ නිසා ඌගේ ඇස් නො පෙනෙයි. අලියාට කෑම සොයන්නට හෝ වතුර සොයා ගන්නට හෝ නොහැකි වෙයි. ගෙම්බා කඳු මුදුනට වී නාද කරයි. වතුර එහි ඇති බව සිතා අලියා හඬ ඔස්සේ කඳු මුදුනට යයි. අලියා කඳු මුදුනට ආ කල ගෙම්බා කඳු පාමුලට විත් හඬයි. වතුර කඳු මුදුන නොව පාමුල ඇතැයි සිතන අලියා යළි කඳු පාමුලට එන්නට සැරසෙයි. එවිට ඌ කන්දෙන් පෙරළී මරණයට පත් වෙයි.

එක අරමුණක් උදෙසා වැඩ බෙදා ගත් කල ඒ අරමුණ ඉටු කර ගත හැකි ය. පුංචි සතුන් ටිකක් විශාල අලියකු විනාශ කරයි. එසේ නම් අපට එන විශාල අභියෝග, යෝධ කුමන්ත්‍රණ,බලවතුන්ගේ හිරි හැර වළක්වන්නට භේද දුරලා එකට එක් විය යුතුයි. වෛරය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මානය ආදි නරක සිතිවිලි සිත දරා අපි නො බෙදෙමු. කරුණාව, මෛත්‍රිය, දයාව ගොඩ නඟා ගෙන එකිනෙකා එකට බැඳෙමු.