Print this Article


ධර්මය ප්‍රඥාවන්තයාටයි

ධර්මය ප්‍රඥාවන්තයාටයි

දුක යන වචනය ඇසුණ පමණින් අපට සිහිපත් වන්නේ, කායික ව හෝ මානසික ව විඳින දුක් වේදනාව යි. කයෙහි සිදුවන කැඩීම්, බිඳීම්, තුවාල ආදිය නිසා විඳින දුක, කායික දුක් වේදනාව යි. කරදර, විපත්, අගහිඟකම් ආදිය නිසා සිතෙන් දුක් විඳීම මානසික දුක් වේදනාවයි. ජාති, ආගම් භේදයකින් තොරව සියලු මිනිසුන්ටත්, සියලු සතුන්ටත් මෙම දුක් වේදනාව පොදු දෙයකි.

එසේම සියලු දෙනාම මේ දුක් වේදනාවන්ගෙන් පලා යාමටත්. සැප වේදනා විඳිමින් සතුටු වීමටත්, සැමදා ම උත්සාහ කරති. නමුත් එය එලෙසින් ම නො ලැබෙන දෙයක් බව අප සැම දෙනා පිළිගත යුතු සත්‍යයකි. කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ම, උපන්නා වූ සියලු සත්වයන් හට මෙම කායික, මානසික දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදුවේ.

සැප වේදනා, දුක් වේදනා, දුක් සැප රහිත වේදනා, වශයෙන් විඳීම් තුනක් ඇත. මෙම වේදනා තුනම, අවබෝධ කළ යුතු “දුක” ට අයත් බව සූත්‍ර දේශනාවල සඳහන් වේ.

දට්ඨබ්බ සූත්‍රයෙහි (සං.නි.4) සඳහන් වන්නේ, සැප වේදනාවක් විඳින විට එය දුකක් ලෙස විමසා බැලිය යුතු බවයි. දුක්වේදනාවක් විඳින විට එය ඇනෙන උලක් ලෙස විමසා බැලිය යුතු ය. දුක් සැප රහිත වේදනාවක් විඳින විට එය අනිත්‍ය වශයෙන් විමසා බැලිය යුතුය. මෙයින් පැහැදිලි වන්නේ අවබෝධ කළ යුතු ‘දුක’ යනු දුක් වේදනාව ම නොවන බවයි. සැප වේදනාවක් විඳින විට එය විඳින්නේ ඇලුණ සිතින් ය. එහි ඇත්තේ “රාගානුසය”යි. දුක් වේදනාවක් විදින විට එය විඳින්නේ ගැටුණ සිතින්ය. එහි ඇත්තේ පටිඝානුසයයි. දුක් සැප සහිත වේදනාවක් විඳින විට එය විඳින්නේ මුළා වූ සිතින් ය. එහි ඇත්තේ අවිච්ඡාඅනුසයයි. මේ සියල්ල ම සසරට හේතු වන කෙලෙස් හෙවත් අකුසල් වේ. මේ නිසා අප විඳින්නා වූ සියලු වේදනා අවබෝධ කළ යුතු “දුකට” ම අයත් වේ. එසේ නම් අවබෝධ කළ යුතු “දුක” යනු කුමක්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය සත්‍ය පිළිබඳ සඳහන් වන “සච්චවිභංග“ සූත්‍රය ආදි සූත්‍ර දේශනාවල “දුක” නම් වූ ආර්ය සත්‍යය විස්තර වන්නේ,

හට ගැනීම ද දුකකි ජාතිපි දුක්ඛා) වයසට යාමද දුකකි. (ජරාපි දුක්ඛා) ලෙඩ දුකට පත් වීමද දුකකි (ව්‍යාධිපි දුක්ඛා) මරණයට පත් වීම ද දුකකි ( මරණම්පි දුක්ඛා) අපි‍්‍රය දේවල් හා අපි‍්‍රය පුද්ගලයන් හා එක්වීම ද දුකකි. (අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ) පි‍්‍රය දේවල් හා පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන් වීම ද දුකකි. (පියේහි විප්පයෝගෝ දුක්ඛෝ) තමා කැමැති වන්නා වූ වයසට නොයාම, ලෙඩ නොවී සිටීම ආදිය එලෙස ම සිදු නොවීම ද දුකකි (සම්පිච්ඡං න ලභති දුක්ඛං) සංශේපයෙන් දක්වන්නේ නම් පංච උපාදානස්කන්ධය ම දුකකි. (සංඛිත්තේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා) ආදී වශයෙනි.

මෙම විස්තරයෙහි සඳහන් “සංඛිත්තේන” යන වචනයෙන් කියැවෙන්නේ, ඉහත සඳහන් ඉපදීම, වයසට යාම ආදී සියල්ලම උපාදානස්ඛන්ධ බවයි. එබැවින් ඉපදීම (ජාති) දුකක් ලෙස විමසා බැලීමේ දී, ලෝක සම්මුතිය අනුව පමණක් නොව මේ මොහොතේ සකස් වන පංච උපාදානස්ඛන්ධයක් ලෙස ද විමසා බැලිය යුතු ය. ජාති යන්න දීර්ඝව විස්තර කිරීමේ දී “ඛන්ධානං පාතුභාවෝ” (ස්ඛන්ධයන්ගේ පහළවීම) වශයෙන් විස්තර වන්නේ එබැවිනි.

එසේම ජරා හෙවත් වයසට යාම දුකක් ලෙස විමසා බැලීමේ දී, ලෝක සම්මුතියට අනුව කෙස් පැසීම, දත් වැටීම පමණක් නොව මේ මොහොතේ සිදුවන ආයුෂ ගෙවී යාම ද (ආයුනෝ සංහානි) ස්ඛන්ධ ඇසුරෙන් විමසා බැලිය යුතු ය.

මොහොතක් පාසා සිදුවන ස්කන්ධයන්ගේ පහළ වීම හා බිඳීයාම ම අවබෝධ කළ යුතු “දුක” වශයෙන් දේශනා කොට ඇති බව මෙයින් පැහැදිලි වේ. මේ නිසා අවබෝධ කළ යුතු “දුක” යන්න නිවැරැදි ව තේරුම් ගැනීමට නම්, පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්, නැතිවීමත් එය දුක වන්නේ කෙසේද යන්නත් ඉතා හොඳින් විමසා බැලිය යුතු ය.

ඇසින් රූපයක් දැකීම යනු පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමයි. කනින් ශබ්දයක් ඇසීම යනු පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමයි.මේ අයුරින් නාසය, දිව, කය, මනස යන ආයතන හයෙන් අරමුණූ ලැබීම යනු ස්ඛන්ධයන්ගේ හට ගැනීමයි. මේ බව මහා ප්‍රාඥා සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් “මහා හත්ථිපදෝපම” (ම.නි.-1 සූත්‍රයෙහි ඉතා හොඳින් විස්තර කොට ඇත. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහ පංච උපාදානස්ඛන්ධයයි. ඇස, කන ආදී සෑම ආයතනයකින් ම අරමුණුූ ලබා ගැනීමේ දී සිදුවන්නේ මේ ස්ඛන්ධ පහෙහි සකස් වීමයි.

මෙහි රූපය යනු සතර මහා භූත ප්‍රත්‍යයෙන් හටගත් රූප සංඥාවයි. එම රූපය ඇසුරෙන් ගත් විඳීම වේදනාව යි. රූපය හඳුනා ගැනීම සංඥාවයි. ඒ පිළිබඳ චේතනාව සංඛාර වන අතර මේ සියල්ල වෙන් කොට තේරුම් ගැනීම විඤ්ඤාණයයි.

ඇසින් සිදුවන “දැකීම” යන්න මේ අයුරින් කොටස් පහක් ලෙස කෙටියෙන් විස්තර කර දැක්විය හැකි ය. මෙසේ අනිකුත් ආයතනයන්ගේ ද ස්කන්ධ සකස්වීම තේරුම් ගත යුතු ය.

පංච උපාදානස්ඛන්ධයෙහි “ස්ඛන්ධ” යනු ගොඩ හෙවත් රාශිය යන්නයි. ඇසින් රූපයක් දැකීම යනු රූප ගොඩකි. වේදනා ගොඩකි. සඤ්ඤා ගොඩකි. සංඛාර – විඤ්ඤාණ ගොඩකි. ඇසින් රූපයක් දැකීම යනු රූප වේදනා ආදී ස්ඛන්ධයන්ගේ ගොඩ ගැසීමක් බව සරල උදාහරණයකින් පෙන්වා දිය හැකි ය.

තරමක් දුරින් පිහිටි කණුවක් හෝ ගසක් වැනි යමක් දෙස බලන්න. එහි පහළ සිට ඉහළට ඉතා සෙමින් බලා ගෙන යාමේ දී, එකිනෙකට වෙනස් රූප නැවත නැවත සකස් වෙන බව තේරුම් ගත හැකි ය. මුලින් දුටු රූපය බිඳී නැතිවී යාමෙන් නැවත අලුත් රූපයක් හටගන්නා බව පැහැදිලි වේ. එසේ නම් ගස හෝ කණුව දැකීම යනු රූප,වේදනා, රාශියක දැකීමේ එකතුවක් බව තේරුම් ගත හැකි ය.

මේ අයුරින් කන, නාසය ආදි අනෙකුත් ආයතන පිළිබඳ විමසා බලන්න. ඒ සෑම ආයතනයක ම අරමුණුූ ගැනීම යනු ස්කන්ධ ගොඩ ගසා ගැනීමක් බව පැහැදිලි කර ගත හැකි ය. මෙයින් පැහැදිලි වන්නේ ආයතන හය තුළම, මොහොතක් පාසා ස්ඛන්ධ බිඳී යන බවත්, නැවත සකස් වෙන බවත් ය. මෙම සිදුවීම ‘අනිත්‍ය” බව වශයෙන් දේශනා තුළ සඳහන් වේ.

අනිත්‍යය යනු ඇති වූ යමක් බොහෝ කලකට පසු නැතිවී යාම නොව, මේ මොහොතේ සිදුවන, ස්කන්ධයන්ගේ හට ගැනීම හා නැතිවීම බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

මේ නිසා ඉපදීම (ජාති) වයසට යාම (ජරා) ආදිය ද දුක් වන්නේ අනිත්‍ය බව පදනම් කොට ගෙනම වේ. එබැවින් ජාති, ජරා, මරණ විස්තර කිරීමේදී ද ස්ඛන්ධයන්ගේ බිඳීයාම මුල්කොට විස්තර නොවේ නම් එය අවබෝධ කිරීම කිසිසේත් ම කළ නොහැකි දෙයකි. අර්හත්වයට පත්වූ රහතන් වහන්සේ ජාතිය ක්ෂය කළ (ඛීණා ජාති) වශයෙන්, උදාන ප්‍රකාශ කරන්නේ ජාතියෙහි ඇති අනිත්‍ය බව මේ මොහොතේ ම ප්‍රත්‍යක්ෂ කළ බැවින් ය.

බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු “දුක” වශයෙන් පෙන්වා දී ඇත්තේ දුක් වේදනාව නොවන බව පෙර සඳහන් කළෙමු. දුක් වේදනා, සැප වේදනා, දුක් සැප රහිත වේදනා යන සියලුම වේදනා, මොහොතක් පාසා සකස් වෙන (අනිත්‍ය වන) පංච උපාදානස්ඛන්ධය හි වේදනා උපාදානස්ඛන්ධය වේ. නීවරණ යටපත් වූ සමාහිත සිතක් නැති බැවින්, එහි අනිත්‍ය බව තේරුම් නොගන්නා වූ සියලු දෙනා එම වේදනාවන්හි ඇලීම, ගැටීම හෝ මුළාවට පත්වීම සිදුවේ.

සැප සහගත වේදනාවක් වින්දනය කළත් එය ද අවබෝධ කළ යුතු “දුකට” අයත් බව විමසා තේරුම් ගත යුතු ය. මේ නිසා අනිත්‍ය බව තේරුම් නො ගැනීම ම දුක වශයෙන් හඳුන්වා දී ඇති බව පැහැදිලි වේ. මෙසේ අනිත්‍ය බව අවබෝධ නො කළ සියලු සත්වයෝ ඇලීම, ගැටීම හා මුළාවීම නිසා තෙරක් නොපෙනෙන සංසාරයට වැටී බොහෝ දුකට පත් වේ.

බුදුරජාණන් වහන්සේ “දුක්ඛතා” සූත්‍රයෙහි (සං.නි. 5 -1) දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා වශයෙන් දුකෙහි ආකාර තුනක් පෙන්වා දී ඇත. මෙහි දුක්ඛ දුක්ඛතා යනු ලෝක සම්මුතියෙහි දුක් වශයෙන් සම්මත කොට ඇති දුක් වේදනාවයි. සෑම දෙනාම දුක වශයෙන් හඳුනා ගන්නා කායික, මානසික සියලු වේදනා එයට අයත් වේ.

විපරිණාම දුක්ඛතා යනු වයසට යාම, දිරායාම ආදිය නිසා, වෙනස්වීම මුල්කොට ඇතිවන දුකයි. මෙහි සඳහන් සංඛාර දුක්ඛ යනු සකස් කිරීම, ගොඩනැඟීම නිසා ඇතිවන දුක ලෙස කෙටියෙන් පැහැදිලි කළ හැකි ය. මෙහි සකස් කිරීම හෙවත් ගොඩනැඟීම අනෙකක් නොව බිඳි බිඳී යන පංච උපාදානස්ඛන්ධ නැවත නැවත සකස් කිරීමයි.

“ඛජ්ජනීය” සූත්‍රයෙහි (සං.නි.3) සංඛාර යන වචනයෙහි තේරුම් විස්තර වන්නේ, රූපය, රූපී දෙයක් බවටත් වේදනාව විඳීමක් බවටත්, සංඥාව හඳුනා ගැනීමක් බවටත් , සංඛාර චේතනාවක් බවටත්, විඤ්ඤාණය දැන ගැනීමක් බවටත් නැවත සකස් කිරීම කරන්නේ සංඛාර බවයි. මෙම නැවත නැවත සකස් කිරීම සිදුවන්නේ ‘ආත්ම” සංඥාවෙනි. එබැවින් සංඛාර යන වචනය යෙදිය හැක්කේ ආත්ම සංඥාවෙන් නැවත සකස් කරන තාක් පමණි. “අනාත්ම” බව අවබෝධ කළ රහතන් වහන්සේට සකස් කිරීම හෙවත් සංඛාර යන යෙදුම භාවිත කළ නො හැක. එනිසාම අවබෝධ කළ රහතන් වහන්සේට තවදුරටත් “දුක” යනුවෙන් දෙයක් ඉතිරි නොවේ.

මේ සියලු කරුණුවලින් ඉතා හොඳින් පැහැදිලි වෙන්නේ අවබෝධ කළ යුතු “දුක” යන්න ඉතා පරිස්සමෙන් නුවණින් විමසා දත යුතු දෙයක් බවයි. මේ ධර්මය ප්‍රඥාවන්ත කෙනාටයි. දුෂ්ප්‍රාඥයාට නොවේ. (පඤ්ඤා වන්තස්සා යං ධම්මෝ නායං ධම්මේ දුප්පඤ්ඤස්ස) යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එබැවිනි.