Print this Article


ඔබේ සිතත් අමනාපයෙන් ද?

ඔබේ සිතත් අමනාපයෙන් ද?

ඔබේ සමීපතමයෙක්, එසේත් නැතිනම් දන්නා හඳුනන කෙනෙක් ඔබ සමඟ අමනාපයෙන් ද? ඒ පිළිබඳ ඔබ ඔහුට මැසිවිලි කියනවා ද? ඔබගේ සිතටත් ඔහු ගැන කෝපයක් දැනෙනවා ද? ඒත් ඊට ප්‍රථම ඔබ විසින් කළ යුතු දෙයක් තිබෙනවා.

මුලින් ම තරහවීමට හේතුව සොයා බලන්න. ඒ අමනාපයට මුල ඔබ විසින් ම කරන ලද යම් ක්‍රියාවක් හෝ වචනයක් විය හැකියි. ඔබගෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යම් වරදක් සිදුවී ඇත්නම් වරද පිළිගෙන සමාව ගැනීම උතුම් ක්‍රියාවක්.

මේ අමනාපයට හේතුව සමහර විටෙක වරදවා තේරුම් ගැනීමක් විය හැකියි.

එසේ නම් ඔබ විවෘතව කතා කිරීමෙන් ඒ ප්‍රශ්නය විසඳා ගන්නට හැකියි. සමහර විටෙක මේ අමනාපයට හේතුව අනෙක් පාර්ශ්වය තුළ ඇති ඊර්ෂ්‍යාව හෝ වෙනත් එවැනි හැඟීමක් ද විය හැකියි.

එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ එකට එක කිරීමක්. එහෙත් එකට එක කිරීම යහපත් ප්‍රතික්‍රියා දැක්වීමක් නොවේ. ඔබ එලෙස පළිගැනීමට ඉක්මන් විය යුතු නෑ.

ගැටුමක් - ගැටුමකින් නිමාවට පත් වන්නේ නෑ. ගැටුම තුළ සිදුවන්නේ ක්‍රෝධය, එසේ නැතිනම් පළිගැනීමේ චේතනාව තව - තවත් දරුණු වීමයි. එසේත් නැති නම් එම ප්‍රශ්නය විසඳෙන්නේ අසාධාරණ අයුක්ති සහගත ආකාරයකට යි.

අප තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි "ජයග්‍රාහකයා හේතුකොට ගෙන ද්වේෂය උපදිනවා. ඒ වගේ ම පරාජිතයා ජීවත් වන්නේ දුකෙන්. ජය මෙන් ම පරාජය ද ඉවත ලන මනුෂ්‍යයා සතුටින් සාමයෙන් ජීවත්වනවා.

ද්වේෂය, ක්‍රෝධය ජය ගත යුතු වන්නේ මෙත් සිතින්. එහෙත් එසේ සිදු කිරීම කියන තරම් හෝ සිතන තරම් පහසු නෑ. සතුට හා සාමය සඳහා ඔබ ඔබේ ම කෝපය ජය ගත යුතු වනවා.

එසේ ජය ගැනීමට නම් සංයමයක් ඕනෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ විශිෂ්ටතම ජයග්‍රහණය "ආත්මදමනය" වන බවයි.