Print this Article


ශ්‍රී දළදා පූජෝපහාර

ශ්‍රී දළදා පූජෝපහාර

දිනපතා සියගණන් ආහාර පාත්‍ර ද, ලක්ෂ ගණන් පුෂ්ප පූජාවන් ද, නොයෙන් පහන් පූජාවන් ද මහත් ඝෝෂා ඇති නොයෙක් ආචාර වෙඩි සමූහයන්ගෙන් ද, අභිනව දළදා මන්දිරය ප්‍රමුඛ තදාසන්න සියලු ගොඩනැඟිලි විවිධ වර්ණයන්ගෙන් සරසා කරන ලද වස්ත්‍ර පූජාවකින් ද, සරසන ලද ඇතකු හා අශ්වයකු ද, මැණික් එබ්බවූ ඝනරනින් කරන ලද මාලාභරණ තුනකින් ද

කේෂකර්ණිකාවන්ගෙන් ද, මැණික් එබ්බවූ රිදී මල් දම් පසකින් ද, මල් තොරණ, මල් වියන්, සුදු වියන් ආදී ධජ පතාක පෙළින් ද, විලක්කු පෙළින් හා පහන් තොරණ පෙළින් ද, පංච තූර්ය නාදයන්ගෙන් ද, දළදා වහන්සේ උදෙසා පූජා පැවැත්වීය. එසේ පූජා පවත්වමින් මුළු නුවර පුරා අඩමසක් ප්‍රදක්ෂිණා කරවා ලංකාවාසී සාමණේර, උපසම්පදා භික්ෂූන් උදෙසා දින ගණනක් මහදන් පවත්වා සිවුරු පිරිකර හා මනහර වස්ත්‍රාදියෙන් පූජා ද පවත්වන ලදී.

මෙලෙස ශ්‍රී දළදා වහන්සේ උදෙසා අතීතයෙහි සිට ලාංකේය රජ දරුවන් විසින් අපමණ පුද පූජා පවත්වා ගෙන එන ලදී.

මෙකී පූජාවන් අතර වර්තමානයෙහි සිදුකෙරෙන සාම්ප්‍රදායික සතර මංගල්‍යයට අයත් වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වඩාත් සුවිශේෂී වේ. මෙකී ඇසළ මංගල්‍යය හෙවත් වත්මන් දළදා පෙරහරෙහි ආරම්භය අනුරාධපුර රාජධානි සමයේ සිට ම සිදුවූවක් බව මහාවංසය හා චීන දේශ ගවේෂක පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වේ.

කිත්සිරිමෙවන් මහ රජු දළදා වහන්සේ ලැබීමෙන් අපමණ ප්‍රීතියට පත් ව විසිතුරු පුද පෙරහරක් පවත්වා තම අසීමිත භක්ති ප්‍රණාමය දැක්වූ අතර, වසරක් පාසා නොකඩවා පෙරහර පැවැත්වීමට නියම කළ බව ද ඉතිහාසයෙහි දැක්වේ.

පොළොන්නරු රාජධානි සමයෙහි දී මහා පරාක්‍රමබාහු මහරජතුමන් මනහර වූ දළදා පෙරහරක් වාර්ෂික ව පැවැත්වූ බවත්, දඹදෙණි. කුරුණෑගල ආදී යුගයන්හි මගතොට සුදුවැලි අතුරා නගරය දෙව් විමනක් සේ සරසා, ධජ පතාකාදියෙන් වීථි අලංකාර කොට තොරණ බැඳ විචිත්‍ර නැටුම් ගැයුම් සහිත මනහර වූ පෙරහරක රජතුමා හා මැති ඇමති පිරිවර දළදා වහන්සේ වැඩම කරවූ බව වංශ කථා සාහිත්‍යයෙහි දැක්වේ.

සීතාවක රාජධානි සමයෙහි සිට මහනුවර රාජධානි සමය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ විටින් විට ඇතිවූ පරසතුරු ආක්‍රමණ, අභ්‍යන්තර දේශපාලන අර්බුධ හා ඇතැම් රාජ්‍ය පාලකයන්ගේ ශාසන විරෝධී ක්‍රියා පිළිවෙත් නිසා ලාංකේය සම්බුද්ධ ශාසනය අතිශය පරිහානියට පත්වූ බව නොරහසකි.

දහඅට වැනි සියවස මැද භාගය තුළ පහළ වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා ම අපමණ දුක් කම්කටොලු හා බාධක මැද වුව ද මෙලෙස පිරිහී ගිය ලක් බුදුසසුන නැවත ප්‍රකෘතිමත් කොට සුරක්ෂිත කිරීමට හැකි වූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ.

දළදා වහන්සේ උදෙසා අතීතයෙහි පටන් සිදු කෙරුණු දළදා පෙරහර මංගල්‍යය ද මේ සමය වන විට දෙවියන් උදෙසා පැවැත්වෙන දිව්‍ය පූජෝත්සවයකට සීමා වී තිබිණ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය වන විට යට කී දළදා පෙරහර පැවැත්වීම වෙනුවට ඇසළ මාසයේ දී සිව්දේවාලයන්හි දේව පෙරහර පැවැත්වීම චාරිත්‍රයක් විය.

එසමයෙහි හුදෙක් ඇසළ මංගල්‍යය ලෙස හඳුන්වනු ලැබුවේ මෙකී දේව පූජෝපහාරය පමණකි. මෙහි ඇති අනුචිත බව මැනවින් වටහා ගත් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩම කළ ප්‍රවර උපාලි මාහිමියන් සමඟ ද සාකච්ඡා කොට කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් හට ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි දළදා පෙරහර මංගල්‍යය පැවැත්වීමෙහි වටිනාකම පැහැදිලි කොට දළදා පෙරහර පැවැත්වීම සඳහා අනුශාසනා ලබා දුන්හ.

එතැන් පටන් වත්මන් දළදා පෙරහර පැවැත්වෙන ආකාරයට දළදා මාළිගයේ පෙරහර පළමුවත්, සිව් දේවාලයන්හි පෙරහර ඉන් අනතුරුවත් වීථි සංචාරය කෙරෙන අයුරින් පෙරහර සකස් කරවූහ. මෙසේ අතීතයේ සිට ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදුකළ දළදා පෙරහර මංගල්‍යය මහනුවර යුගය වන විට දෙවියන් උදෙසා පවත්වන දේව පූජාවක් බවට පත් වූ අතර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මැදිහත්වීමෙන් එය අසිරිමත් දළදා පූජෝපහාරයක් බවට පරිවර්තනය විය.

මෙලෙස සියවස් ගණනාවක සිට ලක්දිව රජ පැමිණි රාජරාජ මහාමාත්‍යාදීන් විසින් අපමණ භක්ත්‍යාදරයෙන් විවිධාකාර පුද පූජා මධ්‍යයෙහි තම දිවි දෙවැනි කොට ආරක්ෂා කරන ලද මෙම උතුම් වම් දළදා වහන්සේ අදත් මහනුවර ඓතිහාසික ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි මාහැඟි කරඬු සතක් මධ්‍යයෙහි වැඩ සිටිති.

වර්තමානයෙහි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා දියවඩන නිලමේතුමන්ගේ භාරකාරත්වය යටතේ පෙර රජ දවස පටන් පැවති සියලු පුද පූජා ඇතුළු දළදා පූජෝපහාරයන් අදත් මහත් ගෞරවයෙන් පවත්වා ගෙන එනු ලබයි.