Print this Article


කිසාගෝතමී තෙරණින් වහන්සේ

කිසාගෝතමී තෙරණින් වහන්සේ

ධනයෙන් ඉසුරු බර
වෙසෙන රජ මැති සිටු වර
සැවැත්පුර මනහර
පැල්පතක් විය දිළිඳු දුක්බර

සඳකැළුම් ඉහිරුණ
කොඳ කැකුළක් සේ පිබිදුණ
දනන් මන පිනවන
ළදැරියක ගෝතමී නමින් වන

ගත මඳක් දුබල ය
ඉඟ සුඟ සිඟිති සසලය
පැහැපත් ය කොමළය
කිසාගෝතමි නමින් පතළ ය

ඇගේ රුව විමසා
ගනු පිණිස දිවි සරසා
කුල ගෙයක් උදෙසා
ගියා පතිනියකවී නොලසා

දිළිඳුකම මතු කොට
සිටියෝ නිවැසි සරසට
විඳිමින් නෙක් ගැහැට
පිනක් පලදිනි ඇයට පුතකුට

දිනක් නොසිතුව ලෙස
පොඩි පුතු රෝ ගඟට බැස
පිහිනා එතෙර දෙස
ගියේ ඇගෙ ළය සෝ අනල ඉස

මළත් ඔහු නොමළා
සිතමින් සෙනෙහෙ නොහළා
උකුළ මත හොවලා
උමතුවෙන් ගිය මඟට බැසලා

බුදුහිමිගෙ පා මුල
තබා පුතු කය ඒ මළ
පිළියම් අයැදි කල
සමිඳු මෙත පා මෙසේ වදහළ

කිසිවකු නොමළ තැන
විමසා බලා නිති දැන
අබ මිටක් ඇරැගෙන
එන්න නැඟනිය දෙන්න ඔසු පැන

සමිඳු බස තෙවලා
ගෙන්ගෙට යමින් අසලා
නොමැති විට සොයලා
අනිස බව ලොව සිතට දැනිලා

පුතු දමා සොහොනට
ගොස් ජේතවන වෙහෙරට
අබෙන් කම් නැත මට
කියා වැටුණා සමිඳු පාමුල

කම් සැපත දුක ම ය
සිඳලූ විටදි සුඛ ම ය
ඇසූ අම දහ ම ය
පිපුණි සිත සෝවාන් පියුම ය

ගොස් මෙහෙණි අරමට
විදසුන් වඩා මනසට
නසා කෙලෙසුන් මිට
ලැබූ අරහත් ඵලය ලොව සෙට

රළු සිවුරු දරමින
මෙහෙණින් අතර අපමණ
අග පදවි ලබමින
පිරිනිවන් පෑ සිතට තුට ගෙන