Print this Article


ආදරය කියන්නේ හිතෙන් ලබා දුන් වටිනාකමක් කාලෙන් කාලෙට අඩු වැඩි වෙන්න පුළුවන්

ආදරය කියන්නේ හිතෙන් ලබා දුන් වටිනාකමක් කාලෙන් කාලෙට අඩු වැඩි වෙන්න පුළුවන්

ආදරය ගැන විවිධ අර්ථකතන තිබෙනවා. සමාජයේ විවිධ කතා බහට ලක්වෙනවා. බිළිඳාගේ සිට වයවෘද්ධ මහල්ලා දක්වා ම ආදරය ලබනවා. ආදරයෙන් පැරදෙනවා.

ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, ප්‍රේමය, දයාව වැනි හැඟීම් "මෛත්‍රිය" ලෙසට බුදු දහමේ පුළුල් අර්ථයෙන් පැහැදිලි කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ආදරය මොනයම් මොහොතකවත් ප්‍රතික්ෂේප කළේ නැහැ.

නිකිණි පුර පසළොස්වක පෝ දා සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ සමඟ ආදරය ගැන සාකච්ඡා කළ ලිපියේ ඉතිරි කොටසයි මේ

ස්වාමීන් වහන්ස,ප්‍රේමයට වටිනාකමක් දෙන්නට පුළුවන් ද?

අම්මා - තාත්තා දරුවන්ට දක්වන ආදරය කොයියම් මොහොතකවත් මායාවක් නොවෙයි. අම්මා - තාත්තාට දරුවෝ සම්බන්ධයෙන් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා ගුණ පවතිනවා. එය අම්මා - තාත්තා - දරුවන් කෙරෙහි දක්වන ආදරය ලෙස අදහස් කෙරෙනවා. මගේ රත්තරන්, වස්තුව, මැණික, පැටියො, මගේ පණ මේ ආදර වදන් පළමුවෙන් ම අපිට කීවේ අම්මා - තාත්තා යි. ඒ ආදරය මායාවක් නොවේ. හදවතේ ගැඹුරුම තැනින් හට ගන්නා සෙනෙහසයි. ආදරයයි.

එහෙත් යෞවන ප්‍රේමයේ දී එය යම් ප්‍රමාණයක මායාවක් යැයි අපි දකිනවා. ඒත් රත්තරන්, වස්තුව, මැණික, පැටියො ආදී ආදරණීය ආමන්ත්‍රණයක් පුංචි - පුංචි හේතූන් සමඟ රැඳිලයි තියෙන්නේ. ඒ සමහර විට කේශ කලාපයට, ලස්සන දත් ටිකට, සමට, රූපයට, නැති නම් මුදලට, රැකියාවට ආදී හේතු විය හැකියි.

අම්මා - තාත්තාගේ ආදරය මායාවක් නොවෙයි කියන්නේ මෙන්න මේ නිසයි. එහෙත් යෞවන ප්‍රේමය සමහර දවසක දී මායාවක් විය හැකියි. ඒ මායාව තේරුම් ගැනීමට ද බැරිකමක් පවතිනවා. ආදරය හෝ ප්‍රේමය කියන්නේ හිතෙන් දීපු වටිනාකමක්. එකම ජීවිතයක සමහර කාලයක දී හිතින් ලබල දුන්න වටිනාකම, සමහර කාලයක දී නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා යම් ආදර සම්බන්ධතාවක දී අනික් වටේ ම සිටින අය එකතුවෙලා කීවත්, ඔයාට තමයි වටිනාම කෙනා ලැබිල තියෙන්නේ. වටිනාම සම්බන්ධතාව ලැබිල තියෙන්නේ කියලා පැවසුවත්, ඒ අවස්ථාවේ දී සමහර කෙනෙක් පවසනවා නැහැ. ඒ කතාව බොරු. එහෙම දෙයක් නැහැ. ඒ ඇයි? හිතින් දීපු වටිනාකම ඉවත් කළ විට මේ ලෝකයේ වටේ ම ඉන්නා අය කොතරම් වටිනවා කියා කීවත් එය වටින්නේ නැහැ. ඒ නිසා ආදරය සමහර තැනක මායාවක්. සමහර තැනක සංකල්ප ටිකක්.

අපි ජීවත් වන්නේ සංකල්ප ලෝකයක. එකම ජිවිතයක ආදර වදනින් සමහර තරුණයෙක්, එවැනි තරුණියෝ කීප දෙනෙකුට ම ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ වගේ ම තරුණියක් එවැනි ම වදනින් තරුණයන් කීපදෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඇයි එහෙම කරන්න හැකි වන්නේ, ඒ හිතින් දීපු වටිනාකමක් නිසයි. මේ සිතින් දීපු වටිනාකම ඉවත්වූ විට අපිට සමහර ඒවා වටින්නේ නැහැ. යම් කාලයක දී වටිනවා යැයි කියා ගොඩාක් ඉහළින් හිතපු දේ තව කාලයකින් අල්ප මාත්‍රයක් තරම්වත් වටින්නේ නෑ.

සාහසික බව නිර්මාණය වන්නේ ආදරය ගිලිහුණු තැන නේද?

ආදරය, පේ‍්‍රමය, දයාව කියා කියන්නේ පෘතග්ජන ලෝකයේ නැතිනම් මේ කාම ලෝකයේ අප අප විසින් ම සකසා ගත් සංකල්පයක්. ඒ මම - මගේ කියා මමත්වයෙන් අල්ලා ගත් දෙයක්. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලෝකයේ අනාත්ම යැයි හිතපු දෙයක්. නමුත් ජීවත්වීමේ දී, මානව සබඳතා පැවැත්වීමේ දී එකිනෙකා - එකිනෙකා වෙනුවෙන්, සතා - සිවුපාවා වෙනුවෙන්, ගහ - කොළ වෙනුවෙන්, මේ පරිසරය වෙනුවෙන් අපි ආදරය දක්වන්නට ඕනෑ. ඒ වගේ ම ඉපදුණු රටට, භූමියට අප අවට පරිසරයට ආදරය කරන්නට ඕනෑ. එහෙම ආදරයක් දැක්විය නොහැකි නම්, ආදරයක් නැතිනම් මිනිසා සාහසික විය හැකියි.

අම්මා - තාත්තාට - දරුවන්ට - සමාජයට - ගහකොළට - සතා සිවුපාවාට මේ හැම තැනක ම ආදරය කියන දේ අවශ්‍යම දෙයක්. බුදුරජාණන් වහන්සේ සංසාර ගමනේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේට මෛති‍්‍රය දැක්වූවා. ආදරය, කරුණාව දැක්වූවා. අද දවසෙ වුණත් අපි හැමෝ ම මේ ආදරය, සෙනෙහස, කරුණාව අපේක්ෂා කරනවා. නමුත් මෙන්න මේ ආදරය, සෙනෙහස යම් කෙනකුගේ ජීවිතයක් විනාශ කරන තැනකට පත් වුවොත් අපි එය ප්‍රතික්ෂේප කරනවා.

එහෙත් මෙහි අවසාන අර්ථයෙන් ගත් විට “පෙමතො ජායතී සොකො - පෙමතො ජායති භයං“ ප්‍රේමය නිසා බිය ඇතිවෙනවා. ප්‍රේමය නිසා ශෝකය ඇතිවෙනවා. “පෙමතො විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං“ ඇලීම, මමත්වය, මගේ කියන එක මත වෙන්වීමේ දී අත් හැරීමේ දී, සංවේගයක් ඇතිවෙනවා.

මේ සංසාර ගමනේ දී අපි තනි වූ පිරිසක් යැයි සිතන්නේ නම්, සම්මුතික ලෝකයේ අපි මේ හදාගත්ත දේ අතර මේ තත්ත්වය තියෙනවා කියා කල්පනා කරන්නේ නම්, එහි ප්‍රශ්නයක් නැහැ. නමුත් සදාකාලිකව මට කවුරු නැතත් අහවලා ඉඳීවි කියා හිතන්න බැහැ. එහෙම හිතන්න බැරි, මට මමවත් නැති ලෝකයක අනෙකාට මා සමඟ, මා වෙනුවෙන් මට ශක්තියක් හැටියට ඉන්නවා කියා කල්පනා කරන්න අපි කාටවත් පුළුවන්කමක් නැහැ.

අහිමි ආදරය ළඟ දැනෙන වේදනාව ඇතැම්විට සියදිවි නසා ගැනීම දක්වා දුර දිග යනවා නේද?

නන්ද කුමාරයා ජනපද කල්‍යාණිය ගැන ලොකු කැමැත්තෙන් සිටියේ. නමුත් දිව්‍යාංගනාවෝ දැකපු නන්දට ජනපද කල්‍යාණිය ව පෙනුණේ පිළිස්සී ගිය හේනේ සිටි වැඳීරියක් වගෙයි. සමහර විට රූපයට ආදරය කළ, සමහර අයගෙන් ඒ රූපය තමන් අපේක්ෂා කළ මට්ටමෙන් නොමැති වූ විට ආදරය, සෙනෙහස කියන දේ ගිලිහෙනවා. ඒ නිසයි මෙය එක පැත්තකින් මායාවක් වන්නේ.

අපි හිතන ආකාරයට මේ ලෝකය එහෙමයි කියා හිතුවොත් තමයි ගැටලුවක් පවතින්නේ. අපි අත්හැරීමට බලාගෙන අල්ලා ගන්නේ නම්, එතැන අපට ගැටලුවක් නැහැ. එහෙම නැති වූ විට මේ හැම දෙයක් ම අපිට මේ ජිවිතය ඇතුළේ සංසාරිකවත් මහා වේදනා දෙන දෙයක්. ඒ වගේ ම සසර ගමනේ නැවත - නැවත, අපිට උපත ලබන්න මේ බැ¼දීම හේතු වෙනවා. ඒ නිසා ආදරය, සෙනෙහස කියන කාරණය අපිව ජීවත් කළාට සසර ගමන නැවැත්වීමේ දී එය බාධාවක්.