Print this Article


තීරණ ගන්නට ඉක්මන් නොවන්න

තීරණ ගන්නට ඉක්මන් නොවන්න

අතීතයේ හෙළදිව බොහොම ප්‍රසිද්ධ ගමක් තිබුණා ‘ගලම්බුතිත්ථ’ කියලා. සමහර මිනිසුන් මේ ගමට කිව්වා’ කොළොම්තොට’ කියලා. ගමේ ජීවත්වන මිනිසුන් හරිම ශ්‍රද්ධා සම්පන්නයි. කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරී ගිහින් ධර්මයේ හැසිරෙමින් ජීවත් වුණා.

වෙනත් ප්‍රදේශවලින් පවා මේ ගමට තරුණ තරුණියන් ආවා විවාහ යෝජනා බලාපොරොත්තුවෙන්. එතරම්ම මේ ගමේ මිනිසුන් යහපත්. ඔවුන් කතා කරන වචන හරිම මිහිරියි. හිතේ එකක් තියාගෙන තව එකක් වචනයෙන් කියමින් මිනිසුන් මුළා කරන්නේ නෑ. විශ්වාසය ආරක්ෂා කරනවා. එකිනෙකාට ගරු කරනවා. ආගන්තුක සත්කාර හරිම ඉහළයි. මේ කීර්තිය ප්‍රදේශය පුරාම පැතිරිලා ගියා. ක්‍රම ක්‍රමයෙන් ලංකාව පුරාම මේ කීර්තිය පැතිරිලා ගියා. හරිම සංසුන් සාමකාමී වගේම සුන්දර පරිසරයක් තියන ගමක්.

දවසක් භික්ෂූන් වහන්සේ පනස් නමක් සූදානම් වුණා මේ ගමේ තියන කොළොම්තොට විහාරයට වැඩම කරලා භාවනා කරන්න. උන්වහන්සේ සියලු දෙනාම විහාරයට වැඩම කරලා පිණ්ඩපාතයෙන් යැපෙමින් භාවනා කටයුතු කළා. මාස කිහිපයක් ම ගත වුණත් එක භික්ෂුවකටවත් රහත් බව නම් ලබන්න බැරි වුණා. දවසක් හැම දෙනා වහන්සේ ම එකට එකතු වෙලා මෙහෙම කතා කර ගත්තා. ‘අපි හැම දෙනා වහන්සේම මේ විහාරයට වැඩම කරලා දැන් මාස ගණනාවක් ගත වුණා. ඒත් එක් අයකුටවත් පුළුවන්කමක් ලැබුණේ නෑ රහත් භාවය ලබා ගන්න. ලබන පොහොය එළැඹෙන්නේ වස් සමාදන් වෙන්න. අපි සියලු දෙනා වහන්සේ ම ඇසළ පොහොය දවසේ ඉඳලා කි‍්‍රයාත්මක කළ යුතු හොඳ වැඩ පිළිවෙළක් සකසා ගන්න ඕන. ඒ සඳහා අදහස් ඉදිරිපත් කරන්න’යැයි කියලා වැඩිහිටි තෙරනමක් සියලු දෙනා වහන්සේට ම ඇසෙන සේ ආමන්ත්‍රණය කළා. ඒ අතරේ වැඩ සිටිය බොහෝ දෙනෙකුගෙන් ම ඉදිරිපත් වුණේ වස් තුන්මාසයේ හොඳට භාවනා කරලා ඉක්මනින්ම අර්හත්භාවය ලබා ගැනීම වැදගත් බවයි.

තවත් භික්ෂු පිරිසක් අදහස් දක්වමින් කියා සිටියා’අපි සියලු දෙනා වහන්සේ ම මාස ගණනාවක් දැන් භාවනා කළා ඒත් එය සාර්ථක වුණේ නෑ. මේ නිසා අප විසින් ම දඬුවමක් පනවා ගෙන එය කි‍්‍රයාත්මක කළොත් ඉක්මනින්ම අර්හත්භාවය ලබා ගන්න පුළුවන් වෙයි කියලා. හැම දෙනාම ඒ මතයට කැමැති වුණා. ඒ සඳහා මොනවගේ දඬුවමක් ද පනවා ගන්නේ කියන කාරණය ඊළගට මතු වුණා.

ඒ අතරේ වැඩ සිටිය තවත් භික්ෂු පිරිසක් ‘රහත්ඵලයට පැමිණෙන්නේ නැතිව කතා නො කර සිටීම යහපත් නේද?”දැයි කියලා යෝජනා කළා. හැමදෙනා වහන්සේ ම එයට කැමැති වුණා. ‘යෝජනාව නම් හොඳයි. ඒත් මෙ තැන ගැටලුවක් තියනවා. අපි පිණ්ඩපාතයේ ගමට වැඩියම සමහර දායකයින් අපෙන් බණ අහන්න සූදානම් වෙනවා. ඒ වගේ අවස්ථාවක අප කි‍්‍රයා කරන්නේ කොහොමද?’යි ප්‍රශ්න කළා.

එතැන දී හැම දෙනාම දායකයින් භාවනා කටයුතු පිළිබඳ ව හෝ ධර්මය පිළිබඳ ව හෝ කරුණු ඇහුවොත් කියා දීම ගැටලුවක් නෑ කියලා තීරණය කර ගත්තා. එහෙත් පන්සල ගැන හෝ අනෙක් තෙරුන් වහන්සේ ගැන හෝ වෙනත් කිසිම කාරණයක් සම්බන්ධයෙන් හෝ පිළිතුරු දීමට යාම තහනම් බවත් තීරණය කර ගත්තා. මේ අතරේ තවත් භික්ෂුවකට ගැටලුවක් මතු වුණා. ‘ඇතැම් භික්ෂුවක් කතාවෙහි උපන් හපන් හැකියා ඇති නිසා දායකයින් කතා කළ පමණින් තමන්ගේ මුවින් වචන පිටකරනවා. සමහර විට ඉබේම කතා කෙරෙනවා. ඔවුන් සමඟ ආ-ගිය තොරතුරු ආදියත් කතා කරනවා. ඒ වගේ අවස්ථාවල දී දායකයින්ට පිළිතුරු නොදී ඉන්න පුළුවන්කමක් නැතිව යනවා. ඒ සඳහාත් පිළිතුරු ලබා දුන්නොත් හොඳයි’ යැයි යෝජනා වුණා.

මේ සම්බන්ධයෙන් ද හැම දෙනා වහන්සේගේ ම අදහස වුණේ පොහොය කිරීම ගැන හෝ ධර්මය ගැන හෝ විනය ගැන හෝ කිසියම් ගැටලුවක් යම් දායකයෙක් අහනවා නම් එයට පිළිතුරු දිය යුතු බවයි. ඒ හැරුණහම වෙනත් කාරණයක් ගැන අහනවා නම් පිළිතුරු නො දිය යුතු බවත් තීරණය කර ගත්තා. මෙයට හොඳ ක්‍රමවේදයකුත් සකසා ගත්තා.

උදෑසන ගමට පිණ්ඩපාතයේ වැඩම කරන කොට හැම දෙනා වහන්සේ ම මුඛයෙහි දිය පුරවාගෙන වැඩම කරන්න ඕන. දායක නිවෙස්වලට පිණ්ඩපාතයේ වැඩම කරන අවස්ථාවේ දායකයා බණ පදයක් දේශනා කරන ලෙස හෝ විනය ගැන හෝ පොහොය කිරීම් ගැන හෝ යමක් අහනවා නම් දිය උගුර ගිල දමා එයට පිළිතුරු දිය යුතු වෙනවා. මේ කාරණාවලට අයත් නොවන ප්‍රශ්නයක් නම් දිය උගුර කටෙහි තබාගෙන ම නැවතත් ආරාමයට වැඩම කළ යුතු වෙනවා යි තීරණය කර ගත්තා.

සාකච්ඡාවේ දී හැම ගැටලුවක් ම විසඳා ගත්තා. පොහොය කිරීමෙන් පසුවස් කාලය උදා වුණා. දැන් හැම දෙනා වහන්සේ ම පොහොය දවසේ ඉඳල ම එළැඹුණු තීරණයට අනුව කටයුතු පටන්ගෙන. වෙනදා වගේම පිණ්ඩපාතයේ වැඩම කරනවා; භාවනා කරනවා. ආරාමයේ අනෙකුත් වැඩ කටයුතු ද ඉතාම හොඳින් කරනවා. මාසයක් පමණ කාලය ගෙවිලා ගියා. ගමේ දායකයින් එකිනෙකා කතා කරන්න පටන් ගත්තා. ‘වෙන දවස්වල නම් අපේ ආරාමයේ වැඩ ඉන්න තෙරුන් වහන්සේ අප සමඟ හොඳින් කතා කරනවා. ආ ගිය තොරතුරු දුක සැප අහනවා. එහෙත් දැන් මාසයක පමණ ඉඳලා ගමේ දායකයින් එක්කවත්, පොඩි දරුවන් එක්කවත් කතා කරන්නේ නෑ’යි කතාවක් ගම පුරාම පැතිරිලා ගියා.

මේ කතාව ගිහින් සතියකින් දෙකකින් තවත් කතාවක් ගම පුරාම පැතිරිලා ගියා. ‘දායකයින් සමඟ කතා නොකළාට කමක් නෑ. පොඩි දරුවන් එක්ක කතා නොකළාටත් ගැටලුවක් නෑ. ඒත් සමහර අය කියනවා විහාරයේ වැඩ සිටින පනස් නම උන්වහන්සේ උන්වහන්සේලාවත් කතා කරන්නේ නැතිලු. එහෙම විහාරයේ අසමඟියෙන් ජීවත් වෙන්න බෑ. අනික භික්ෂූන් වහන්සේ නමකට ඒක ගැළපෙන්නෙත් නෑ. උන්වහන්සේ අතර අසමගියක් තියනවා නම් ඒක නැති කරලා සමගිය ඇති කරවමු.’යි කතිකා කරගෙන දායකයින් පිරිසක් දවසක් විහාරයට ගොඩ වුණා.

විහාරයේ එක භික්ෂුන් වහන්සේ නමක්වත් පෙනෙන්න ඇත්තේ නෑ. තමන්ගේ සැකයා තවත් තහවුරු වුණා. ඒ අතරේ එතැන හිටිය බුද්ධිමත් මනුෂ්‍යයෙක් භික්ෂූන් වහන්සේගේ කායික රූපය පෙනෙන්න නැතත් උන්වහන්සේ කරලා තියන කටයුතු නිරීක්ෂණය කළා. විහාරයේ පරිසරය හරිම ලස්සනට සකසාගෙන තිබුණා. මළු සියල්ලම ඉතාම ලස්සනට අමදලා. මල් වතුවල මල් පිරී ඉතිරිලා ගිහින්. මල් ගස් කැරුල්ලන්ගේ නාදයෙන් හා මී මැස්සන්ගේ නාදයෙන් ගිගුම් දෙනවා. සතුන්ට පානය කරන්නත්, කුටිවලට ප්‍රවේශ වෙන ස්ථානවලත් පැන් භාජන තියලා හරිම ලස්සන ආරාමයක් බව ප්‍රත්‍යක්ෂ කර ගත්තා.

මේ බුද්ධිමත් මනුෂ්‍යයා පැමිණ සිටි පිරිස අමතලා කියනවා ‘යාළුවනේ අසමගිය තියන තැනක හෝ කලහ කරන තැනක හෝ මේ වගේ ලස්සනට පිරිසරය තියෙනවා ද? එක් අයෙක්වත් පෙනෙන්න නැතිව ඉන්නවා ද? අනික අර බලන්න අතැන තියපු ඉදල්, කොසු ආදිය හොඳට පිරිසුදු කරලා පිළිවෙලට තියලා. උදෙන්ම අවදිවෙලා වතාවත් කරලා. මේ වත්පිළිවෙත් දකින්න පුළුවන් වෙන්නේ සමගිය තියන තැනකම තමයි. මේ තෙරුන් වහන්සේ අර්හත්භාවය ලබා ගැනීමට වීර්යවන්තව කටයුතු කරන නිසා කතා කිරීමට ගත වන කාලයත් භාවනාවට ම අරගෙනයි මේ තියෙන්නේ. අපි උන්වහන්සේට සිවුපසයෙන් හොඳින් උපස්ථාන කරලා උන්වහන්සේට අර්හත්භාවය ලබා ගැනීමට උදව් කරමු’යි තීරණය කරලා නැවතත් ආරාමයෙන් පිටවී යනවා.

පනස් නම වස්කාලය තුළ දීම අර්හත් භාවය ලබා ගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගත්තායි කතා පුවතක් විභංග අටුවාවේ ධ්‍යානවිභංග වණ්ණනාවේ සඳහන් වෙනවා. නිවන් දකින පුද්ගලයා කොතරම් වීර්යවන්තව කටයුතු කළ යුතු ද යන පුවතත්, බාහිරින් දැකලා තීරණවලට එළැඹීමට පෙර හොඳින් හොයා බලා තීරණ ගැනීමත් යහපත් බවත් මේ කතා පුවත පෙන්වලා දෙනවා.

වස්කාලයක දී දායකයින් විසිනුත් භික්ෂූන් වහන්සේ විසිනුත්, කළ යුතු කාර්යයන් මොනවා ද යන්නත් මේ කතා පුවත කියා දෙනවා.

දායකයින් ගැන භික්ෂූන් ගැන හෝ වැඩකට නැති දේ කතා කරමින් කාලය ගත නො කර ධර්මය ගැන, කතා කරමින් හා ඒවා කි‍්‍රයාවට නඟමින් වාසය කළ යුතු බවත් මේ කතා පුවත තවදුරටත් අපට පැහැදිලි කර දෙනවා.