Print this Article


බිය දැනෙන මොහොතක ...

බිය දැනෙන මොහොතක ...

දිනක් මහානාම කියන ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ අසා සිටියා ‘ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා බියක්, තැති ගැනීමක් නැතිව මිය යන තුරු සැනසීමෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ “පින්වත් මහානාම ඔබ නිතරම කාරණා හයක් ගැන සිහි කරන්න. ඒ තමා යම් ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ ගැන සිතනවා නම් ඒ වෙලාවේ දී ඔහුගේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අරභයා සිත ඝෘජු වෙනවා. ඒ ශ්‍රාවකයා මේ දහම තුළ නිවීමට පත් වෙනවා.

ඒ වගේම ශ්‍රාවකයා ධර්මයේ ගුණ සිහි කළ යුතුයි. එවිට ශ්‍රාවකයාගේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇවිස්සෙන්නේ නෑ. ඒ ශ්‍රාවකයා නිවෙන්නට පටන් ගන්නවා. ධර්මය තුළ නිවෙන්නට නම් ධර්මය තුළට පැමිණ බලන්නට ම ඕනෑ.

ඒ වගේම මහානාම, ඒ ශ්‍රාවකයා නිවන් මඟට පිළිපන් සංඝරත්නයෙහි ගුණ මෙනෙහි කළ යුතුයි. උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පිරිසක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පිළිපන් පිරිසක්. ඒ ශ්‍රාවක සංඝ රත්නයට පින් සලකා දන් දීම සුදුසුයි. එසේ කෙනෙක් ශ්‍රාවක සංඝරත්නය ගැන හිතද්දී ඒ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යටපත් වන්නේ නෑ.

ඒ වගේම කය, වචනය, දෙක සංවර කරගෙන තමා සමාදන් වූ සීලය හොඳින් රකිනවා. මම මේ ආකාරයට සීලය රකින කෙනෙක් කියලා මෙනෙහි කරනවා. ඒ ආකාරයට සීලය සිහි කරද්දී ශ්‍රාවකයාගේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වෙන්නේ නැහැ.

භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා තමාගේ අත් හැරීමේ ගුණය සිහි කරනවා. ඒ චාගානුස්සතිය යි. මසුරු මළ දුරු කළ සිතින් මම ගිහි ගෙදර වාසය කරනවා කියා සිතද්දී ශ්‍රාවකයාගේ සිත රාග, ද්වේෂ, මෝහයෙන් යට වෙන්නේ නෑ.

ඒ වගේම ශ්‍රාවකයා පරලොව ජීවිතය ගැන සිතනවා. ඔහු සුගති රැකවරණය පතාගෙන ධර්මයේ හැසිරෙනවා.

මේ කරුණු හය සිහි කරන ශ්‍රාවකයාට පුළුවන් ධර්මයෙන් ලැබෙන ශාන්තිය, සැපය, නිවීම ලබා ගන්න.