Print this Article


වැඩ කළ යුතු කාලයේ වැඩ කරන්න

වැඩ කළ යුතු කාලයේ වැඩ කරන්න

ශක්තිය, බලය, දැනුම පොහොසත්කම තිබුණු පමණට එයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. තමන්ට තිබෙන ධනය, ශක්තිය, බලය, ඵලදායි ලෙස යොදවන්නේ නැති නම් ඒ ශක්තියෙන්, බලයෙන්, ඒ ධනයෙන් මේ ලෝකයට කරන්න පුළුවන් දේ අපට කරන්නට බැරි වෙනවා.

අපේ තරුණ දරුවෝ, මැදි වයසේ අය විශේෂයෙන් ම තමන්ට තිබෙන ශක්තිය නියාමනය කරලා වැදගත් ආකාරයට එය යොදවනවා නම්, ආර්ථික දියුණුව වගේම සමාජීය ලෙසත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න පුළුවන්.

විශුද්ධි මඟේ කතුවරයා අපගේ ජීවිතය බෙදනවා කොටස් දහයකට. මුල්ම කාලය මන්ද දශකයයි. ඒ උපතේ සිට අවුරුදු 10 දක්වා, ක්‍රීඩා දශකය අවු. 10 යේ සිට 20 දක්වා. වර්ණ දශකය අවුරුදු 20 - 30 දක්වා. බල දශකය කියන්නේ 30 ත් 40ත් අතරයි. මේ අතර කාලයේ දී අප සිතනවා, ගස් ගල් පවා පෙරළන්නට පුළුවන් කියලා. මේ කාලයේ දී සාර්ථකත්වයේ පියවර එකින් එක ගළපා ගන්න ඕනෑ.

ඊළඟට යෙදෙන්නේ ප්‍රඥා දශකය. අවුරුදු 40 - 50 ත් අතර කාලය. මේ දශකයේ දී කළ මෝඩකම් වේ නම්, ඒවා ගැන නොසිතා ජීවිතය සංස්කරණය කර ගන්නට ඕනෑ. ඒ කියන්නේ ජීවිතයේ නිවැරැදිතාවක් හදා ගන්න ඕනෑ.

මේ අනුව බලද්දී අපට වැඩ කරන්න තිබෙන්නේ වර්ණ දශකය, බල දශකය හා ප්‍රඥා දශකය කියන අවුරුදු තිහ ඇතුළත පමණයි. අවුරුදු 50 පසුව එන්නේ හානි දශකයයි. එනිසා වැඩ කරන්න පුළුවන් කාලයේ වැඩ නොකර අපි කාලය නිකරුණේ අපතේ යවනවා නම් එය ලාභයක් හෝ යහපතක් ගෙන දෙන්නේ නැහැ.

බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ වැඩ කළ යුතු ශක්තිමත් ම කාලයේ වැඩ කළ යුතු බවයි. මේ ලෝකයේ දියුණු වූ හැමෝටමත් අපට වගේ පැය 24 ක කාලයක් පමණයි තිබුණේ. ඔවුන් තමාට ලැබුණු කාලය කළමනාකරණය කළා. මේ ලෝකයේ දියුණු වූ හැම රටකට ම ත් තිබුණේ පැය 24ක කාලයක්. ඔවුන් ඒ කාලය තුළ අනාගත ලෝකයට අවශ්‍ය පදනම නිර්මාණය කළා. මූල්‍ය සම්පත, මානව සම්පත කළමනාකරණය කළා. මානවයා අතරේ විනයක් නිර්මාණය කළා. එනිසා ලැබුණු කාලය කළමනාකරණය කර ගැනීම දියුණුවීමට මඟක්.