Print this Article


කර්මය ශාපයක් නොවේ

කර්මය ශාපයක් නොවේ

කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය සියල්ලට එකම හේතුව ලෙස සිතන අය, හැමවිටක ම තමන් කරුමක්කාරයකු ලෙස සිතයි

සෑම ක්‍රියාවකට ම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන්න පිළිගත් මතයකි. කර්මය පිළිබඳ මේ නියමය සත්‍යයෙකැයි සමහරු සිතති. එහෙත් එය සත්‍යය නොවේ.

දුප්පත්ව උපත ලැබීම, ඉගෙනුමට නො හැකියාව, ලෙඩ රෝගවලට ලක්වීම, බලාපොරොත්තු නැතිවිටෙක ධන සම්පත් ලැබීම, තිබෙන සම්පත් විනාශවීම, අඩු ආයුෂයකින් මරණයට පත්වීම, ආදි අපේ ජීවිතයේ මුහුණපාන හැම සිදුවීමකට ම මුල් වන්නේ අතීතයේ කරන ලද කර්මය බව ඇතැම් අයගේ මතය යි.

විශේෂයෙන් ජෛනයෝ මේ මතයේ සිටියහ. සියල්ල පෙර කරන ලද කර්මය අනුව සිදු නොවන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ, එසේ සිතීම මහ මුළාවක් බවයි වදාළේ.

මිනිසාගේ දියුණුව යෝ පිරිහීම කෙරෙහි බලපාන එකම හේතුව, කර්මය බව බුදුසමය පිළිනොගනී. වෙනත් කරුණුූ රාශියක් ද තිබේ. පංච නියාම ධර්ම එයින් එකකි. එබැවින් කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය සියල්ලට එකම හේතුව ලෙස සිතන අය, හැමවිටක ම තමන් කරුමක්කාරයකු ලෙස සිතයි. බුදුදහම මිනිසත් බවක් ලැබීම ම මහා කුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස සලකන බැවින්, මිනිසා පව්කාරයකු හෝ කරුමක්කාරයකු ලෙස නො සැලකේ.

බුදු සමයේ කර්මය පිළිබඳ කරන ලද ඉගැන්වීම තුළින් පුද්ගලයා අලසයකු කර ඇතැයි සමහරු විවේචනය කරති. ඒ දහම හරිහැටි නො දැන කරන ලද විවේචනයන් ය. ඔවුහු යහපත් උත්සාහය හෙවත් සම්මා වායාම, ආර්ය මාර්ගාංගයක් බව නොදනිති. උත්සාහය දියුණුවේ මාවත බව බුදු සමය පිළිගනී. උට්ඨාන සම්පදා, උට්ඨානෙනප්පමාදෙන, උට්ඨාන විරියාධිගතා, උට්ඨානවතො සතිමතො, උට්ඨාන ඵලූපජීවි ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ, උත්සාහය දියුණුවේ මාවත බවත්, සැප ලබන මඟට ඇවැසි අංගයක් බවත් අවස්ථා රාශියක දී පෙන්වා දීමෙන් පැහැදිලි වන්නේ, බුදුදහම තුළ පුද්ගලයා අලසයකු කොට නැති බවයි. ඔහු ක්‍රියාකාරිකයකු කොට ඇති බවයි.

පුද්ගල ජීවිතය මෙන් ම, පවතින සමාජ ක්‍රමයත් වෙනස් කළ නොහැකි යැයි සිතන පිරිසක් ද සිටිති. එසේ සිතන්නේ කර්මය වෙනස් කළ නොහැකි යැයි හිතන බැවිනි. සමාජ සම්මතයට අනුව එදා කුලහීන යැයි පිළිගත්, බොහෝ දෙනාගේ ගැරහීමට ලක්වූ, සුනීත, සෝපාක වැනි අය රහතන් වහන්සේ බවට පත්කොට, හැම දෙනාගේ ගෞරවය ලබන අය බවට පත්කරලීමෙන් බුදුරජාණන් වහන්සේ කර්මය වෙනස් කළ හැකි බව ඔප්පු කොට තිබේ. මෙකී වැරැදි මත නිවැරැදි කර ගන්නා තුරු, කෙනකුට ආර්ය මාර්ගයට අවතීරණ වීමට නුපුළුවන්.

අංගුත්තර නිකායට ඇතුළත් නිබ්බේධික සූත්‍රයේ එන “චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි. චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන බුදු වදන බොහෝ දෙනකුට පාඩම් ඇතැයි සිතමි. එයින් කරුණු දෙකක් පැහැදිලි කෙරෙයි.

කර්මය යනු, ක්‍රියාව නොව චේතනාව බව පළමු වැන්නයි. දෙවැන්න නම්, කය වචන හා මනස තුළින් කර්ම රැස් කරන බවයි. මෙහිදී චේතනාව ප්‍රමුඛ වන බැවින්, චේතනාවකින් තොරව කෙරෙනි කිසිදු ක්‍රියාවක් කර්ම ගණයට ඇතුළත් වන්නේ ද නැත.

අපගේ සිතේ පහළවෙන ප්‍රධාන චේතනා හයකි. ලෝභ, දෝස හා මෝහ යන සිතිවිලි අකුසල චේතනා වන අතර, අලෝභ, අදෝස හා අමෝහ යන සිතිවිලි කුසල චේතනා වේ. මෙකී මූලික චේතනා, ශාඛා ප්‍රශාඛාවලට බෙදී, චේතනා රාශියක් බවට පත්වෙයි. නිදසුනක් වශයෙන් ලෝභය නමැති චේතනාව, කාම තණ්හා, භව තණ්හා හා විභව තණ්හා වශයෙන් ද කාම රාග, රූප රාග හා අරූපරාග වශයෙන් ද බෙදෙයි. රාගය නැවත රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම වශයෙන් ද වර්ග වෙයි. අනෙකුත් කුසලාකුසල චේතනා සියල්ල ද,මෙලෙස කොටස් වශයෙන් බෙදෙයි. සිතේ පහළවෙන සිතිවිලි ක්‍රියාත්මක වන්නේ ආයතන තුනකිනි. එනම් කයින්, වචනයෙන් හා මනසිනි.

මිනිසා ජීවිත කාලය තුළ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වර්ග කළ හැක්කේ, හොඳ හා නරක ක්‍රියාකාරකම් වශයෙනි. කටින් කතා කරන දේ හා අත පය මෙහෙයවා කරන දේ පමණක් නොව, සිතින් හිතන දේ ද මීට ඇතුළත් වෙයි. තමන්ගේත් අනුන්ගේත්, යහපත, අභිවෘද්ධිය, සතුට හා සැපත සඳහා හේතුවෙන සියලු ක්‍රියාකාරකම්, යහපත් කටයුතු ලෙසත්, එසේ නොවන හැම ක්‍රියාකාරකමක් ම අයහපත්, නරක ඒවා බවත්, බුදුදහමේ පිළිගැනීම යි.

හොඳ හෝ නරක කවර ක්‍රියාකාරකමකට හෝ මුල් වෙන්නේ සිතිවිල්ල යි. හොඳ හෙවත් කුසල සිතිවිල්ලක් මුල්වීමෙන් නරක ක්‍රියාවක් සිදු නොවේ. එමෙන්ම නරක සිතිවිල්ලක් මුල් වී හොඳ ක්‍රියාවක් ද සිදු විය නොහැක. අප අපේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිමත් වියයුත්තේ, ඒවාට ප්‍රති විපාක ඇති බැවිනි. යහපත් කර්මවලට යහපත් ඵල විපාකත්, අයහපත් කර්මවලට අයහපත් ඵල විපාකත් ලැබේ. ඒ බව පහත දැක්වෙන ධම්ම පද ගාථාවෙන් පැහැදිලි කර තිබේ.

යාදිසං වපතෙ බීජං – තාදිසං හරතෙ ඵලං

කල්‍යාණ කාරී කල්‍යාණං – පාපකාරී ව පාපකං

ගොවියා වපුරන්නේ යම් බීජයක් ද, අස්වනු ලෙස නෙළා ගන්නේ ද එම වර්ගයේ බීජයන්ම යි. එමෙන් හොඳ කර්මවල යෙදෙන්නා හොඳ ඵල විපාකත්, නරක කර්මවල යෙදෙන්නා නරක ඵල විපාකත් ලබයි.

අප අතීත කර්මවල ඵලවිපාක භුක්ති විඳින අතර, නව කර්ම රැස් කිරීම ද කරනු ලැබේ. මෙලෙස කර්ම රැස් කිරීම නතර කරන තුරු සසරින් ගැලවීමක් ද නැත. කර්ම රැස් කිරීම නවතින්නේ රහත් බවට පත්වීමෙනි. එතෙක් කර්ම රැස් වේ.

මෙලෙස රැස්වෙන කර්ම ගෙවා දමන්නේ කෙසේද? බුදු දහම ඒ සඳහා ඉතා ප්‍රබුද්ධ මාර්ගයක් පෙන්වා දෙයි. විශාල ජල බඳුනකට ලුණු ස්වල්පයක් එකතු කළ විට ජලය ලුණු රස නොවේ. ඒ ලවන සාන්ද්‍රණය අඩු නිසයි. එහෙත් ස්වල්ප ජල ප්‍රමාණයකට තරමක් වැඩියෙන් ලුණු මිශ්‍ර කළ විට, ජලයෙහි ලුණු රස දැනේ. එමෙන් කරන ලද පව්කම්වල ඵලවිපාක පසුව කරනු ලබන ප්‍රබල කුසල කර්මයන්ගේ ඵල විපාකයන්ගෙන් යටපත් කළ හැකි බව, ලෝනඵල සූත්‍රයෙන් පැහැදිලි කරදී තිබේ.

මේ කරුණු හිතට ගෙන, ඔබ ඔබේ සිතට නපුරු අකුසල සිතිවිලිවලට ඇතුල්වීමට ඉඩ නො තබනන්න. යම් විදියකින් ඇතුල් වූ බව දැනුනොත්, වහාම සිතින් ඉවත් කරන්න. හැකිතාක් යහපත් සිතිවිලි වගා කර ගෙන, කටයුතු කිරීමෙන්, ඔබේ ජීවිත ගමන ඔබට ම යහපත් කර ගත හැකියි.