Print this Article


කෙලෙස් සන්සිඳුවීමේ අරමුණින් ම දහම් අසන්න

කෙලෙස් සන්සිඳුවීමේ අරමුණින් ම දහම් අසන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“කිත්තාවතානු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චේව ධම්මං සුණාති, සුතාචස්ස ධම්මා න සම්මෝසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බේ චේතසා සම්ඵුට්ඨි පුබ්බා තෙ ච සමුද්‍රාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතිති”

“ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, භික්ෂුව කෙතෙක් කරුණින් නො ඇසූ දහමුත් අසාද? ඔහු විසින් ඇසූ දහමුත් අමතකව නොයේ ද? ඔහු විසින් යම් ධර්මයෙක් සිතින් ස්පර්ශ කොට ගන්නා ලද්දේ නම් , ඒ දහම් ද මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නොදත් කරුණුත් දැන ගන්නේ ද?”

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ධම්මික වර්ගයට අයත් ආනන්ද සූත්‍රයේ අඩංගු ධර්ම කොට්ඨාශයකුයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉහත සඳහන් කළ ධර්ම කොට්ඨාශයේ ඇතුළත් දහම් පැන සැරියුත් මහතෙරුන් වහන්සේ විචාරන ලද්දේ ය. සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් පිළිවදන් දෙන ලද්දේ ආනන්ද තෙරුන් බහුශ්‍රැත බැවින් ආනන්ද තෙරුන් විසින් ම පිළිතුරු දිය යුතු බවයි. මින් අනතුරුව, ආනන්ද තෙරුන් වහන්සේ ම මෙසේ පැහැදිලි කරති.

සාරිපුත්ත තෙරණුවනි, මේ ශාසනයෙහි භික්ෂුවක් සූත්‍ර (සූත්‍ර දේශනා) ගෙය්‍ය (සජ්ඣායනා කටයුතු ගාථා) වෙය්‍යාකරණ (සංග්‍රහ නොකළ බුද්ධ වචන) ගාථා (ධම්මපද, ථේර ථේරි ගාථා ආදිය) උදාන (පි‍්‍රති වාක්‍ය) ඉතිවුත්තක (මෙසේ යයි දක්වන ලද ධර්ම) ජාතක (ජාතක කතා) අබ්භූත ධර්ම (ආශ්චර්ය, අද්භූත ධර්මයන්ගේ එකතුව) වේදල්ල (නුවණින් සතුටින් විමසන ලද දේසනා) ඉගෙන ගනියි, පුහුණු කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට දේශනා කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට කියවයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි විස්තර වශයෙන් අන් අයට සජ්ඣායනා කරයි. ඇසු පරිදි ඉගෙනගත් පරිදි ධර්මය සිතින් තර්කණය කරයි. ඒ අනුව විචාර කොට විමසා බලයි. සිතින් විමසා බලයි. යම් ආවාසයන්හි බහුශ්‍රැත වු, ධර්මය මැනවින් හැදෑරූ ධර්මධර වූ විනයධර වූ ප්‍රාතිමෝක්ෂධර වූ ථේර භික්ෂුවක් වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලික් කල ඔවුන් කරා එළඹ

“වහන්ස මෙසේ කියා ඇත. මේ ප්‍රකාශයෙහි අර්ථය කුමක්ද යි ප්‍රශ්න කරයි. ගළපා බලයි. එසේ ප්‍රශ්න කරන ඔහුට ඒ ආයුෂ්මතුන් වහන්සේ වැසී තිබෙන දහම් කරුණු විවෘත කොට දෙත්. ප්‍රකට නොවූ දේ ප්‍රකට කොට දෙත්. සැකයට හේතු වූ නන්වැදෑරුම් ධර්මයෙහි සැක දුරු කෙරෙත්.

ඉහත සඳහන් දහම් කොටස විවරණය කොට ගනිමු. මේ සම්බුද්ධ ශාසනයෙහි යම් වූ ද භික්ෂුවක්, භික්ෂුණියක් හෝ උපාසකයෙක්, උපාසිකාවක් විසින්, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ සද්ධර්මය මැනවින් හැදෑරිය යුතු ය. එය නවාංග ශාස්තෘ ශාසනය ලෙස ඉහත සඳහන් කළෙමු. තමා විසින් මැනවින් හදාරා අන් අය ඉදිරියේ, ආචාර්යවරයෙක් හෝ කල්‍යාණ සත්පුරුෂයෙක් ඉදිරියේ කියවීම අවශ්‍යය. කොපමණ දැන සිටියත් යම් තැනක දුර්වල තැනක් මතුවිය හැකි බැවිනි. සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුතුව දෙසූ දහම් පෙළ එසේ සම්මා සම්බුද්ධ නොවු අයෙක් විසින් මෙය මෙසේමයි කියා පැවසීම සිදු කළ හැකි යමක් නොවේ. රහත් උතුමන් පවා නැවත නැවතත් ධර්ම සාකච්ඡා කළේ එබැවිනි.

එමෙන්ම ඉගෙනගත් ධර්මය සජ්ඣායනා කරමින් සිතින් නැවත නැවතත් විමසා බැලීම අවශ්‍යයය. එතැනින් ද නොනැවතී බහුශ්‍රැත වූ ධර්මධර, විනයධර වූ ප්‍රාතිමෝක්ෂය මැනවින් අනුගමනය කරන්නා වූ මහතෙරුන් වහන්සේ නමක් වෙතට ගොස් උන්වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ වස්සාන කාලයේ වස් එළඹිය යුතු ය. උන්වහන්සේ වෙත වෙසෙමින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ දහම් හි අර්ථය විමසීම කළ යුතු ය. ධර්ම විනයට ගළපා බැලිය යුතු ය.

බොහෝ මහතෙරවරු ඒ මහාථේර බවට පත්වූයේ සාමණේර භාවයේ සිට වත් පිළිවෙත් මැනවින් පුරුදු කොට ධර්ම විනය ආචාර්ය උපාධ්‍යාය යටතේ බොහෝ කලක් පුරුදු කිරීමෙන් අනතුරුව ම ය. උපසම්පදා වීමෙන් අනතුරුව ද ආචාර්යවරයාගේ අනුමැතිය ලැබෙන තෙක් අවුරුදු පහක් දක්වා කාලයක් වුව ද වත් පිළිවෙත් සම්පූර්ණ කරමින් ධර්ම විනයෙහි ශික්ෂණය ලැබීමට සිදුවිය. ලෞකික විෂයන් කෙරෙහි කොපමණ දැනුමක් පැවැතිය ද කාලයක් පුරා ධර්ම විනයෙහි හික්මනොවුණු අයකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්මය පිළිබඳ නිසි අවබෝධයකට පැමිණිය නොහැකි වීමට අවස්ථාව ඇත්තේ ය. මේ නිසා ධර්ම විනය පිළිබඳ තම පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමේ දී ධර්මධර විනයධර මහතෙරුන් වහන්සේ සමඟ සාකච්ඡා කොට විමසා බලා ම ධර්ම විනයට අනුගතවීම ප්‍රකාශ කළ යුතු ය.

ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. සාරිපුත්ත තෙරණුවනි, මේ සඳහන් කළ කරුණින් යම් භික්ෂුවක් නොඅසන ලද ධර්ම අසයි. අසන ලද ධර්ම අමතකව නොයයි. එනම් සතියෙන් බැහැර නොයයි. එමෙන් ම පෙර සිතින් දරාගත් ධර්මයෝ ද ඔහුගේ මනෝද්වාරයෙහි පවතිත්. හැසිරෙත්. නොදත් කරුණු ද දැන ගන්නේ ය.

සාරිපුත්ත තෙරණුවන් වහන්සේ මෙසේ සඳහන් කරති. ඇවැත්නි, ආශ්චර්යයි. මහත් සේ ගෞරව කළ යුතු ය. ආනන්ද තෙරුණුවන් වහන්සේ විසින් මෙය මනා කොට ප්‍රකාශ කරන ලද්දේ ය. අප විසින් ආනන්ද තෙරුන් වහන්සේ සද්ධර්මයෙන් සමන්වාගත අයෙක් කොට සලකන්නේ වෙමු.

1.ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සූත්‍රය, ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක, ජාතක අද්භූතධර්ම,වේදල්ල, යන ධර්ම මැනවින් පුහුණුූ කරත් (2) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පුහුණුූ කළ පරිදි, විස්තර විභාග කොට අන් අයට දේශනා කරත් (3) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට කියවත්. (4) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි ඉගෙනගත් පරිදි සජ්ඣායනා කෙරෙත්. (5) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය සිතින් තර්කනයට ගෙනෙත්. නැවත විචාරා බලත්. මනසින් මනාව විමසා බලත්. (6) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රැත විශිෂ්ට ලෙස ධර්මයට ම පැමිණි ධර්මධර හා විනයධර ප්‍රාතිමෝක්ෂයෙන් පිරිපුන් මහතෙර නමක් වෙසෙත් නම් කලින් කල ඔවුන් වෙත එළඹ ධර්ම විමසත්. නැවත ප්‍රශ්න කරත්.

“වහන්ස මෙසේ සඳහන් කොට ඇත්තේ ය. මේ භාෂනයේ එනම් මෙම බුද්ධ වචනයේ අර්ථය කවරේද යනුවෙනි.

ඒ මහතෙරහු ආනන්ද තෙරණුවන්ට වැසී තිබූ ධර්ම විවෘත කොට පෙන්වත්. ප්‍රකට නොවූ සියුම් ධර්ම පවා ප්‍රකට කොට දක්වත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්මයන්හි සැක ද දුරු කෙරෙත් ය. යනුවෙනි.

පින්වත් වූ ඔබත් කවර නම් අයෙක් විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ සද්ධර්මය ප්‍රකාශ කරන්නේ ද, රාග, දෝස, මෝහ බැහැර කරගෙන, කෙලෙස් “සන් සිඳුවමියි” යන අදහසින් ම භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘත්වයෙහි පිහිටුවා ගෙන ශ්‍රවණය කරන්න. ධර්මය කියවන්න. සාකච්ඡා කරන්න. විමසා බලන්න. ධර්මධර විනයධර නවාංග ශත්ථු ශාසනයෙහි (සුත්ත ගෙය්‍ය) පුහුණුූ වු ථේර නමක් හා සමඟ සාකච්ඡා කොට සැක දුරු කර ගන්න. මම මේ අය පමණක් ම පවසන දේ මිස අන් අයට ඇහුම්කන් නොදෙමියි දෘෂ්ඨිගත නොවන්න.

ඒ අය ධර්මය තමාට ම වසා ගැනීමකි. නිතොරම අජ්ඣත්ත (තමා කෙරෙන්ම) බහිද්ධ (බාහිර ආරම්මනයන්හි) ලෙසින් ද ගළපා බලන්න. තණ්හා මද මාන දිට්ඨින්හි සිත පිහිටුවා ගත් අයෙක් නොවීමට සතර සතිපට්ඨානයෙන් යුතු සිහියම පවත්වන්නට අදිටන් කර ගන්න.