Print this Article


සංඝශෝභන ගුණපිරි උනන්විටියේ පේමරතන නාහිමි

සංඝශෝභන ගුණපිරි උනන්විටියේ පේමරතන නාහිමි

ගාල්ල බද්දේගම තිලක උදාගම ශ්‍රී පේමරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිඹිඇල ශ්‍රී සරණංකර පිරිවෙන් කෘත්‍යාධිකාරී සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝභන පණ්ඩිත උනන්විටියේ පේමරතන නාහිමි වෙත මහා විහාරවංසික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් ප්‍රවචන කීර්ති ශ්‍රී සරණංකර හේමසාර යන ගෞරව නාම සම්මුතින් සමඟ තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇති අතර ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය සැප්තැම්බර් 01 දින සවස 02.30 මහනුවර රාජ පූජිත මල්වතු මහා විහාරිය මංගල උපෝසථාගාරයේ දී මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

අපේ නාහිමියෝ 1969.09.11 දින උපත ලබා මූලික අධ්‍යාපනයෙන් පසුව බද්දේගම දුටුගැමැණු රජ මහා විහාරාධිපති ගණේගම සරණංකර නා හිමියන්ගේ සහ කිඹිඇල ශ්‍රී විජේවර්ධනාරාමාධිපති හොරන්ගල්ලේ ශ්‍රී හේමසාර නා හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස සසුන් ගත වූයේ කිඹිඇල ශ්‍රී විජේවර්ධනාරාම විහාරයේ දී ය.

පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු උන්වහන්සේ මහනුවර රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී 1990 වසරේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.

අපගේ පේමරතන නා හිමියන්ගේ ලෝක ශාසනික සේවය අගය කළ මල්වතු මහා විහාරයෙහි තල්පේපත්තුව ඇතුළු ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇත. උන්වහන්සේට උපහාර දැක්වීමේ පින්කම සැප්තැම්බර් 10 වන දා සවස 02.30ට බද්දේගම තිලක උදාගම පේමරතන බෞද්ධ මධ්‍යස්ථානයේ දී මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අග්ග මහා පණ්ඩිත ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත ය. උනන්විටියේ පේමරතන නාහිමියන්ට තුණුරුවන් සරණින් ශත වර්ෂාදික කාලයක් ලෝ සසුනට සෙත සලසන්නට ශක්තිය ධෛර්ය ලැබේවා.