සාර්ථක අවසානයකට
පෙර සූදානම
පනින්ට පෙර සිතා බලනු යන්න ඉතා ප්‍රකට කියමනකි. එහෙත් බොහෝ දෙනකු පනින්නට පෙර තබා,
පැනීමෙන් පසුවවත් සිතා බලන බවක් නො පෙනෙයි. ඔවුහු කළ වරද යළි යළිත් කරති. ඒ බව දැන
සිටින්නෝ ද පනින්ට පෙර සිතා නොබලති.
කුමන කාර්යයකදී වුව ද පෙර සිතා බැලිය යුතු කරුණු රැසක් පවතී. එම කරුණු කවරේදැයි
බෝසතාණෝ පන්සිය පනස් ජාතක පොතේ 508 වැනි කතාව මහාකපි ජාතකයෙන් අපට හෙළි කරති.
කසී රට එක් බමුණෙක් සී සා නිමා කොට ගොන් බාන මුදා හැර නියර කොටන්නට විය. ගොන්නු තණ
කමින් කැලෑව තුළට ම ගියහ. බමුණා ඔවුන් සොයා කැලයට ගියේ ය. ඔහු කැලයේ වල්මත් ව දින
ගණනක් ඇවිදිනුයේ කුසගින්නෙන් පෙළෙන්නට විය. තිඹිරි ගසක ගෙඩි දුටු බමුණා එම ගෙඩි කඩා
අනුභව කරනු සඳහා ගසට නැග්ගේ ය. ඔහු ගසේ අතු අගින් ගිලිහී නුදුරේ වූ මහා වළකට ඇද
වැටිණි. ඉතා ගැඹුරු එම වළෙන් ගොඩට එනු නොහැකි බමුණා හඬමින් වැළපෙමින් දින ගණනක්
එතුළ ළැග සිටියේ ය.
වඳුරකු ව උපත ලබා සිටි බෝසතාණන් පල සොයා ගසෙන් ගසට යනුයේ වළෙහි වැටුණු මිනිසාගේ
කෙඳිරිලි හඬ අසා වළ අසලට පැමිණියේ ය. බමුණා තම දුක කියන්නට විය. දින ගණනක් නිරාහාර
ව සිටින තමා, මිය යන්නට පෙර වළෙන් ගොඩට ගන්නැයි අයැද සිටියේ ය.
මෙවැනි අවස්ථාවල දී බොහෝ දෙනකු කරනුයේ වහා වළට පැනීම ය. බෝසත් පිළිවෙත දුර දක්නා
නුවණින් හෙබි ය. එනිසා එකවර වළට පැනීම සිදු නොවේ. ඔහු කල්පනාකාරී වෙයි. පළමුව බෝසත්
වඳුරා වළෙහි ගැඹුර ගැන අවබෝධයක් ලබයි. මිනිසාගේ බර ප්‍රමාණය අනුමාන කරයි. ඉක්බිතිව
එම බර ප්‍රමාණයට සරිලන ගලක් පිටෙහි බැඳගනියි. වළෙහි ගැඹුරේ ප්‍රමාණයට ගැඹුරු
බෑවුමක් සොයා යයි. පිටෙහි බැඳි ගල ඇතිව බෑවුම දිගේ ඉහළට නගියි. මෙසේ කිහිපවරක්
අභ්‍යාසයෙහි යෙදෙයි. මිනිසාගේ බරට සමාන බරක් පිටෙහි රැගෙන මිනිසා වැටී සිටින වළෙහි
ගැඹුරට සමාන උසක් නැඟිය හැකි බව ප්‍රත්‍යක්ෂ කර ගනියි. වඳුරා වළට බසිනුයේ එම අවබෝධය
ඇතිව ය. වඳුරා මිනිසා කර තබා ගෙන වළෙන් ගොඩට පැමිණෙයි.
බෝසතාණන් සමාජයට කරන මේ මඟ පෙන්වීම වෙනත් කිසිදු ධර්මයක හෝ සාහිත්‍යයක දක්නට
නොලැබේ. කළ නොහැකි කාර්යයක් වෙනුවෙන් නැසී යෑමට වඩා කළ හැකි කාර්යයක් කිරීම අගනේයි.
එය කිසිසේත් මදිකමක් නොවේ.
අයන්ති විතාන |