Print this Article


මැදහත් සිත ...

මැදහත් සිත ...

දිනක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට නාලන්දා නුවර බලා වඩිනු පිණිස භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ගමන් ඇරැඹූහ. අතරමඟ දී නාලන්දා නුවර බලා යමින් සිටි සුප්පීය නමැති පිරිවැජියෙක් ද ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් ද බුදුන් වහන්සේ පිරිවර පසුපසින් ම එන්නට වූහ.

මෙසේ යන අතරමඟ දී අන්‍යාගාමිකයකු වූ සුුප්පීය පිරිවැජියා බුදුන් වහන්සේගේ නුගුණ කියමින් උන්වහන්සේට නොයෙක් අයුරින් නිගා කරමින් ගිය අතර ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ඔහුට පිළිවදන් දුන්නේ ය. මෙසේ මඟ දිගට ම පැවතුණු ඔවුන්ගේ විවාදය භික්ෂූන් වහන්සේට ද ඇසිණි. එහෙත් භික්ෂූන් වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬව ම ගමන් කළහ.

අතරමඟ දී සන්ධ්‍යාව එළැඹි හෙයින් බුදුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාර හෙවත් රජුට අයත් ගොඩනැඟිල්ලක රාත්‍රිය නවාතැන් ගත් සේක. සුප්පීය හා අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා ද සඟ පිරිස සමඟ ම රාජාගාරයෙහි නවාතැන් ගත්හ. එදින සන්ධ්‍යා භාගයේ රාජාගාර ශාලාවෙහි විවේකීව ගත කළ භික්ෂූන් වහන්සේගේ කතා බහට මාතෘකාව වූයේ සුප්පීය පිරිවැජියා හා ඔහුගේ අතවැසියා අතර වූ විවාදයයි.

‘සුප්පීය මඟ දිගට ම බුදුන් වහන්සේට නිඟා කළා. අවමන් කළා. බුදුන් වහන්සේ තුළ නැති අගුණ ඇති බැව් පැවසුවා. එහෙත් ඔහුගේ අතවැසියා වුණත් බ්‍රහ්මදත්ත ඒ සියලු විවේචනයන්ට පිළිතුරු දුන්නා. බුදුන් වහන්සේගේ ගුණ ම වර්ණනා කළා.” භික්ෂුන් වහන්සේ නමක් පැවසූහ.

“ඇත්තෙන්ම එක මග ගියත් මොන තරම් වෙනස් අදහස් තිබෙන දෙන්නෙක් ද? ලෝකයේ හැටි කල්පනා කරන කොට හරි පුදුම හිතෙනවා.”

මෙසේ භික්ෂු පිරිස පිළිසඳරෙහි යෙදී සිටි අතරේ දී බුදුන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි සේක. භික්ෂුහු නැඟිට බුදුන් වහන්සේට නමස්කාර කොට නිහඬ වූහ.

“මහණෙනි, මා මෙතැනට ඒමට පෙර ඔබ කුමන කරුණක් ගැන කතිකා කරමින් සිටියේ ද?” බුදුන් වහන්සේ විචාළහ.

“ස්වාමීනි, මේ ලෝකයේ එක් අයෙක් අනෙකාට වඩා වෙනස් ය. සමාන දෙදෙනකු ලොව නැතැයි ඔබ වහන්සේ අපට කියා දුන් කරුණ කොතරම් සත්‍ය දැයි අපි කතා කරමින් සිටියෙමු. භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.

“භික්ෂුනි, මේ හදිසියේ එබඳු කතාබහක් ඇතිවීමට හේතුව කිමෙක්ද?”

“ස්වාමීනි, අපේ පිරිස පසුපසින් නාලන්දාවට ම යමින් සිටි සුප්පිය නම් පිරිවැජියකුත් ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙකුත් පැමිණියහ. සුප්පිය මඟ දිගට ම ඔබ වහන්සේගේ නුගුණ කියමින්, ඔබ වහන්සේට අවමන් කරමින් පැමිණියේ ය. සුප්පිය කියන කියන දෙයට එරෙහි වූ බ්‍රහ්මදත්ත තරුණයා ඔබ වහන්සේගේ ගුණ ම වර්ණනා කළේ ය. එක් මඟ ගිය ද මොවුන් දෙදෙනා එකිනෙකාගෙන් හාත්පසින් ම වෙනස් පුද්ගලයන් බව අපි තේරුම් ගතිමු. භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.

භික්ෂූනි, ඔබ පවසන්නේ සත්‍යයකි. එසේම සුප්පිය පිරිවැජියා මට නින්දා කරනු අසා ඔබ කෝප වුවහු ද? බුදුන් වහන්සේ විචාළ සේක.

භික්ෂූන් වහන්සේ නිහඬව සිටියා විනා ඊට පිළිවදන් නුදුන්හ.

"භික්ෂූනී, යමෙක් මගේ හෝ මම ඉගැන්වූ ධර්මයේ හෝ ඔබගේ හෝ නුගුණ කියනු ඇසුණහොත් කිසිවිටෙකත් ඉන් කෝප නොවිය යුතු ය. මන්ද ඔබ කෝප වුවහොත් ඉන් පාඩුව අත්වන්නේ ඔබට ම නිසා ය.

යම් කෙනෙක් ඔබට දොස් නඟන විට හෝ ඔබගේ නුගුණ කියන විට හෝ ඒ ගැන කෝප නොවන්න. එසේ කෝප වුවහොත් සිදුවන්නේ එසේ නුගුණ කියන තැනැත්තා කියන්නේ ඇත්තක් ද? බොරුවක් ද? කියා විචාරශීලීව සිතා ගන්නට ඔබට නොහැකි වීමයි.

එසේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබගේ නුගුණ කියන විට ඒ නුගුණ මැදහත්ව විමසා බලා, ඒවායේ යම් අල්ප වූ සත්‍යයක් වේ නම්, ඒ අනුව එම වරද නිවැරැදි කර ගැනීම නොවේද?

එපමණක් නොව මා ගැන ද යමෙක් කී විට ඔබ එයින් කම්පනයට හෝ උද්දාමයට පත් නොවිය යුතු ය. කළ යුත්තේ ඒ කියන දේ විමසා උපේක්ෂාවෙන් පිළිගැනීම පමණකි. බුදුන් වහන්සේ උපදෙස් දුන් සේක.