Print this Article


ධර්මය ගුරු කොට සිහිනුවණ වඩන්න

ධර්මය ගුරු කොට සිහිනුවණ වඩන්න

බුදුන් වහන්සේ විශාලා මහ නුවර සමීපයෙහි වේලුව ගමෙහි වස් වසන අවස්ථාවක දැඩිලෙස රෝගී වූ සේක. උන්වහන්සේ පෙළූ ගිලන් බව ඉතා බරපතළ එකක් විය.

එහෙත් චිත්ත ශක්තිය මෙහෙයවා උන්වහන්සේ තමන්ට දැණුනු ඒ වේදනාව වීර්යයෙන් මැඬපවත්වා ගත් සේක.

මම මගේ ශ්‍රාවකයන්ට හෝ දායකයන්ට නොදන්වා පිරිනිවන් පෑම උචිත නොවේ. ඔවුන්ට දන්වාම පිරිනිවන් පෑ යුතුය. මෙසේ සිතූ බුදුන් වහන්සේ තම රෝගය සමාපත්ති බලයෙන් මැඬපවත්වා ගත් සේක.

රෝගය මෙසේ කෙමෙන් සුව අතට හැරෙමින් තිබියදී දිනක් බුදුන් වහන්සේ කුටියෙන් නික්ම විහාර භූමියේ පැන වූ අසුනක වැඩ හුන් සේක.

බුදුන් වහන්සේ රෝගාතුර වූ දින සිට ආනන්ද හිමියන් කල් ගෙවුයේ මහත් දුකින් මෙන්ම දැඩි විමසිලි බවකිනි. තම ඥාති සොහොයුරාණන් වූ ද, තමන්ගේ සෙවණැල්ල මෙන් තමන්ට බෙහෙවින් සමීප ව හුන්නා වූ ද මේ නායකයාණන් වහන්සේ සුවපත් නොවුවහොත් තමන් අසරණ වන ආකාරය උන්වහන්සේට නිතර සිහිපත් විය.

බුදු හිමියන් කුටියෙන් එළිමහනට වැඩමවා විහාර භූමියෙහි පනවන ලද අසුනක වැඩ හිඳිනු දැකීම ආනන්ද හිමියන්ගේ මහත් ප්‍රමෝදයට මෙන්ම සැනසිල්ලට ද හේතු විය. බුදුන් වහන්සේ වෙත පැමිණි ආනන්ද හිමියෝ බුදු හිමියන්ගේ ගිලන් බව නිසා තමන් තුළ ඇති වූ සන්තාපය පිළිබඳ ප්‍රකාශ කළහ.

ස්වාමීනී, ඔබ වහන්සේ රෝගාබාධයෙන් දැඩිලෙස පෙළෙන අයුරු දුටිමි. ඔබ වහන්සේගේ දැඩි ගිලන් බව දුටු මගේ සිරුර ගල්ගැසී ගියාක් බඳු විය. සිත මුළුමනින් ම අවුල් වී ගියේ ය. බණ දහම් පවා අමතක වී ගියේ ය. මට තිබූ එකම සැනසිල්ල වූයේ ඔබ වහන්සේ භික්ෂූන්ට අවසන් අවවාදයක් නොදී පිරිනිවන් පාන්නේ නැති බව මා විශ්වාස කළ නිසා පමණ’යි ආනන්ද හිමියෝ පැවසූහ.

“ආනන්දය, භික්ෂූන් මගෙන් තවත් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? මම ගුරු මුෂ්ටියක් නොතබා, කිසිවක් නොසඟවා මා සොයාගත් සත්‍යය ඔවුන්ට දේශනා කළෙමි. වටහා දුනිමි. ඒ හැර මට ආගමික නායකයකු ලෙස භික්ෂු ශාසනයේ නායකත්වය දැරීමට අවශ්‍යතාවක් නැත."

“මම මහලු අයෙක්මි. මගේ සිරුර දිරා ගොස් ය. මම අසූවිය සපුරා සිටිමි. දිරා ගිය කරත්තයක් උණ පතුරු බඳිමින් පිළිසකර කරන්නාක් මෙන් මගේ සිරුර ද පිළිසකර කරන්නට සිදු වී ඇත. ඒ නිසා තමන් පිහිට කොටගෙන ම වාසය කරන්න. තමන් ම පිහිට කොටගෙන, මගේ ධර්මය ගුරු කොට ගෙන සිහි නුවණින් වාසය කරන්න. උතුම් භික්ෂු ජීවිතය යැයි හඳුන්වන්නේ එයයි. බුදුන් වහන්සේ වදාළහ.