Print this Article


සෙත් පතන සෙත සදන අසිරිමත් සොළොස්මස්ථාන - 01: ජයසිරි මහ බෝ සමිඳු සෙවණේ දනන් හද ගිනි නිවා සැනැහේ

සෙත් පතන සෙත සදන අසිරිමත් සොළොස්මස්ථාන - 01:

ජයසිරි මහ බෝ සමිඳු සෙවණේ දනන් හද ගිනි නිවා සැනැහේ

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවන සමයේ මෙරට රජ කළ දෙවනපෑතිස් රජු බෝ රදුන් වැඩම කරවන ලද සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ පිරිස පිළිගෙන ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමට දඹකොළ පටුන වෙත ගොස් තිබුණා.

එහිදී රජතුමා කරවටක් දියට බැස දූත පිරිස පැමිණි නැවට ගොස් බෝධීන් වහන්සේ පිළිගෙන එය ලංකා රාජ්‍යයෙන් පුද කළා. වංශ කතාවල දැක්වෙන්නේ රජු තෙවරක් ලංකා රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පුද කළ බවයි. එසේ මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පෙරහරකින් අනුරාධපුරයට වැඩම කරවා උත්සවාකාරයෙන් මහමෙවුනා උයනේ රෝපණය කළා. එසේ රෝපණය කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල දේවානම්පියතිස්ස රජු දින 7ක් බෝ සමිඳුන්ගේ ආරක්ෂාව පිණිස දොරටුපාලකයකු මෙන් සිටි බව ද කියැවෙනවා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟින් සොළොස් කුලයට අයත් පරිවාර පිරිස්ද, බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස බෝධිගුප්ත, සුමිත්ත ඇතුළු කුමාරවරු පිරිසක් ද එසේම උත්තරා, හේමා, පදුමා, ඇතුළු තෙරණින් වහන්සේ 11 නමක් ද මෙරටට වැඩම කළා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟ පැමිණි කුල අතර ගොවිතැන, වඩු කර්මාන්තය, ලෝහ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, ආයුධ තැනීම, රෙදි විවීම, ආහාර පිසීම, රන් රිදී වැඩ ඇතුළු විවිධ වෘත්තීන් රැසක පිරිස් වුණා. ඔවුන් මඟින් මෙරට තුළ නව පිබිදීමක් ඇති කළා මෙන් ම, නව ආර්ථික රටාවක් ද ඇති වුණා.

බෝධිය මුල්කර ගෙන ගෘහ නිර්මාණාත්මක අංග රැසක් බිහි වුණා. ඒ අතර “බෝධිඝර” (බෝ ගෙය) විශේෂයි.


අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි

දුටුගැමුණු රජු විසින් ආරම්භ කළ බෝධි පූජාවන් පසුව සෙසු රජවරුන් විසින් ද සිදු කරනු ලැබුවා. ඒ අතරින් භාතිය, ධාතුසේන, අඹහෙරණ, සලමෙවන්, දෙටුතිස් රජවරු කැපී පෙනුණා.

අනුරාධපුරයෙන් රාජධානි මාරු වීමත් සමඟ ශ්‍රී මහබෝධියට පෙර මෙන් සැලකිලි ලැබුණේ නැහැ. ඒ වගේම විදේශ ආක්‍රමණිකයන්ගෙන් විශේෂයෙන් ම හින්දු හා යෝනක පිරිස් වෙතින් දැඩි බලපෑම් එල්ල වුණා.

එසේ වුවත් නුවර කලාවියේ ජනතාව දිවා රෑ නොබලා ජය ශ්‍රී මහා බෝධිය රැක ගැන්ම වෙනුවෙන් කැප වුණා.

විශේෂයෙන් රාත්‍රී කාලයේ දී වනසතුන්ගෙන් රැක ගැනීමට ගැටලු මතුවුණා. එම නිසා ගිනිමැල ගහගෙන මුරමාරු ක්‍රමයට ජනතාව ශ්‍රී මහ බෝධිය රැක ගැන්මේ නිරත වුණා. එහෙත් ඇතැම් කාලවල එසේ දර සපයා ගැනීම දුෂ්කර වූ නිසා ඒ බව දැනගත් වන්දනාකරුවන් වන්දනාව පිණිස පැමිණීමේ දී දර මිටියක් ද ගෙන ඒමට පුරුදු වුණා. පසුව එය පූජා භාණ්ඩයක් බවට ම පත් වුණා. එමෙන් ම දරමිටි පෙරහර නම් චාරිත්‍රයක් ද ඔවුන් අනුගමනය කළා.

වර්තමානයේ වුව ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස කළු බණ්ඩාර දෙවියන් සිටිනා බව බෞද්ධයන්ගේ පිළිගැනීමක්. එම දෙවියන් සැදැහැවතුන්ගේ ආරක්ෂාව ද සලසන බවට ජනතාව තුළ මතයක් පවතිනවා. කළු බණ්ඩාර දෙවියන් යනුවෙන් ජනතාව හඳුන්වන්නේ දඹදිව සිට බෝධීන් වහන්සේ වැඩම කරන විට එහි ආරක්ෂකයා ලෙස කටයුතු කළ කුමරු බවයි ජනප්‍රවාදවල පවතින්නේ.

එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ, අදටත් ජනතාව අතර පවත්නා ප්‍රධාන චාරිත්‍ර 4ක් දක්නට තිබෙනවා. එයින් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන්නේ අලුත් සහල් මංගල්‍යය යි.

වසරේ පළමු වී අස්වැන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම අනුරාධපුර ගොවීන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක්. එය "අලුත් සහල් මංගල්‍යය" නම් වෙනවා.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමියන් පවසන්නේ බෞද්ධ ජනතාවගේ මතය වන්නේ බුදුරජාණන් වහන්සේ දැකීම හා සමානත්වයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැකීමෙන්, වන්දනාවෙන් සිදු කෙරෙන බවයි.

‘බුදු රජාණන් වහන්සේ සම්බන්ධ ව අද ලෝකයේ ම ජනතාවට දැකගත හැකි එකම ජීවී වස්තුව ලෙස ජය ශ්‍රී මහා බෝධිය හඳුන්වා දෙන්න පුළුවන්.

බෝධීන් වහන්සේ කියන්නේ ජීවී වස්තුවක්. එම නිසා එම ජීවී පූජනීය වස්තුව අප ආරක්ෂා කළ යුතු වෙනවා. එම නිසා යම් යම් සීමාවන් පනවන්නට සිදු වීමට පුළුවන්. විශේෂයෙන් ම ස්වභාවික උවදුරුවලින් වන හානිවලින් අප උන්වහන්සේ වළක්වා ගත යුතුයි. එමෙන්ම කෘමී උවදුරු වැනි දේවලින් ආරක්ෂා කළ යුතුයි.

බෝධීන් වහන්සේ හා සම්බන්ධ කටයුතු අප සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උද්භිද විශේෂඥයන්ගේ උපදෙස් අනුවයි.

අතීතයේ සිට රාජ රාජ මහා මාත්‍යාදීන් විසින් කළ පූජාවන් ආදි සියල්ල අපත් ඒ ලෙසින් ම සිදු කරනවා.

අතීතයේ පාලි බෝධි වංශය පොත සම්පාදනය කරලා තියෙන්නේ බෝධීන් වහන්සේ සම්බන්ධ විස්තර දැනුවත් කිරීමටයි. එහි සිංහල කෘතියකුත් තිබුණු බව දැක්වෙනවා.

රජකෙනෙකු රාජ්‍යත්වයෙන් පිදූ එකම වෘක්ෂය ලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්. නුවර කලාවියේ ජනතාව මේ වෙනුවෙන් විශාල කැපවීමක් දක්වනවා. තමන්ගේ දුක් දොම්නස් වගේම සතුටු වන අවස්ථාවන්හි දී ත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාවට ජනතාව පුරුදු වී සිටිනවා.

උදෑසන 5.00ට ජය ශ්‍රී මහා බෝධියට මාර්ගය විවෘත කෙරෙනවා. පෙරවරු 5.30ට පහළ මළුව විවෘත කරනවා. උදේ 6.00න් පස්සෙ තමයි උඩමළුව විවෘත කෙරෙන්නේ. රාත්‍රී 9.00 -10.00 වන තුරු උඩමළුව විවෘත කෙරෙනවා. අධික වන්දනාකරුවන් සිටිනවා නම් රාත්‍රී 12.00 පමණ වනතුරු උඩමළුව විවෘත කෙරෙනවා. ඒ වගේම කියන්න ඕන දහවල් 12.00ත් 2.00ත් අතර උඩමළුවේ පිරිසුදු කිරීම් වෙනුවෙන් වසා තබනවා.

වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට නියමිත ස්ථානවල පමණක් අදාළ පූජා ද්‍රව්‍යයන් පූජා කරන ලෙසයි.‘

උන් වහන්සේගේ ඒ ඉල්ලීම කෙරෙහි වන්දනාකරුවන් අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුත්තේ දිනකට ට්‍රැක්ටර් 10ක් 12ක් පමණ අපද්‍රව්‍ය ඉවත් කරන්නට සිදුව ඇති නිසයි. ඉවතලන දේ හැකිතරම් ඒ අවට නොදමා යන්නේ නම් එය ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරනු ලබන ගෞරවයක්, උපහාරයක් වෙනවා.