Print this Article


ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කෙරෙන අතිපූජනීය දළදා තේවාව

ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කෙරෙන අතිපූජනීය දළදා තේවාව

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේ විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙත සිදු කළා වූ බුද්ධෝපස්ථානයන් ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යාම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ මහා විහාර වංශික භික්ෂු පරම්පරාවෙන් පැවතගෙන එන්නා වූ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ දෙනම ඇතුළු අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නය හා දියවඩන නිලමේවරයාට භාර වී ඇත.

අප තිලෝගුරු සම්මා සම්බුදු අමාමෑණි බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසරක් පුරාවටම සසර කතරේ අතරමං වූ ලෝසතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන්, අප්‍රමාණ මෛත්‍රියෙන් දෙසා වදාළා වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකේ.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේ විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙත සිදු කළා වූ බුද්ධෝපස්ථානයන් ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යාම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ මහා විහාර වංශික භික්ෂු පරම්පරාවෙන් පැවත ගෙන එන්නා වූ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ දෙනම ඇතුළු අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නය හා දියවඩන නිලමේවරයාට භාර වී ඇත.

වර්තමානයෙහි පවත්නා ආකාරයට මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක මාහිමිපාණන් වහන්සේ දළදා වහන්සේගේ භාරකාරත්වය හා ආරක්ෂාව පිළිබඳ වගකීම් මැනවින් දරමින් බුද්ධෝපස්ථාන, බුදු පුද චාරිත්‍ර වාරිත්‍ර මැනවින් ඉටු කරන්නාහ. වසරින් වසරට මාරු වෙමින් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක මාහිමිපාණන් වහන්සේ හා තේවාභාර නායක තෙරුන් වහන්සේ දිවි දෙවැනි කොට එම සත් චාරිත්‍ර ධර්ම නොපිරිහෙළා අදටත් ඉටු කරන්නාහු ය. ශ්‍රී දළදා බුද්ධෝපස්ථාන දළදා පූජා චාරිත්‍රය, දළදා පුද සිරිත්, දළදා පුද පිළිවෙත්, දළදා පුද සත්කාර ආදී ආමිස පූජාමය පිළිවෙත් දළදා තේවාව යන්නෙන් හඳුන්වනු ලැබේ.

සර්වඥ ධාතූන් වහන්සේ අතුරින් සුවාසූ දහසක් වූ ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූත්, අපට සියැසින් දැක බලා ගත හැකි වූත්, අතිශ්‍රේෂ්ඨ වූත්, පරම පූජනීය වූත් වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විෂයයෙහි ඉෂ්ට සිද්ධ කරන්නා වූ එම දළදා පූජෝපහාරයන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය විසින් දිවි දෙවැනි කොට පවත්වා ගෙන යාම සසුනේ චිර පැවැත්මට හේතු සාධක වන්නේ ය.

අතීතයේ පටන් රාජකීය අනුග්‍රහය ලබා චිරාගත සම්ප්‍රදායන් බවට පත්වෙමින් වර්තමානය දක්වා නොකඩවා ම පවත්වන්නා වූ එකී තේවාව ප්‍රධාන කොටස් තුනකට වර්ග කළ හැකි ය. එනම්,

1. දෛනික තේවාව 2. සතිපතා සිදු කරන තේවාව 3. වාර්ෂික පූජාවන් යනුවෙනි.

අලුයම තේවාව, නව පැය තේවාව, සන්ධ්‍යා තේවාව යනුවෙන් දවසකට තුන් විටක් සිදු කෙරෙන තේවාව දෛනික තේවාවයි. පෙරවරු 05.15ට පමණ අලුයම දොරේ හෙවත් අලුයම හේවිසි පූජාවත් සමඟ අලුයම තේවාව ආරම්භ වෙයි. අනතුරුව පෙරවරු 05.30ට තේවාව භාර නායක ස්වාමින් වහන්සේගේ කුටිය අසලට සෙසු තේවා භාර භික්ෂූන් වහන්සේ සහ ගිහි සහායක නිල රාජකාරී පිරිස රැස්විය යුතු ය. තේවාභාර නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් වැඩ සිටින මාලිගයේ යතුර ගෞරවාන්විතව (පයින්ඩ කරගෙන) රැගෙන ගොස් පල්ලෙ මාලේ සහ උඩ මාලේ දොරවල් විවර කොට අලුයම් දූරයේ තේවාව සිදු කරනු ලබයි. එහිදී තේවාව භාර ස්වාමින් වහන්සේ හා සෙසු ස්වාමින් වහන්සේට සහාය වීම සඳහා වට්ටෝරු රාල ඇතුළුව ගිහි තේවා පිරිසක් සිටිති. බුදුරජාණන් වහන්සේට ආනන්ද හිමියන් විසින් සිදු කළා වූ සෝළස උපස්ථානයන් දළදා වහන්සේ උදෙසා ද සිදු කරන බැවින් එහිදී උණු පැන්, සිසිල් පැන්, දැහැටි සිවුරු පිරිකර ද පූජා කරයි.

ඉන් අනතුරුව පෙරවරු 06.30ට අලුයම මුළුතැන් පූජාව පවත්වනු ලබයි. අලුයම මුළුතැන් පූජාව වෙනුවෙන් හාල්සේරු 32ක බත්, ව්‍යංජන 32ක්, අවුළුපත් ආදී පූජා ද්‍රව්‍යය ද දන්ත ධාතුන් වහන්සේ වෙත පූජා කරනු ලබයි. තවද සහල් සේරු 16ක බත් ඇතුළුව ප්‍රමාණවත් ව්‍යංජන, අවුළුපත්, දැහැත් අතිරේක පූජාවක් වශයෙන් ඒ අයුරින් ම පවත්වනු ලබයි. තවද මුළුතැන්ගේ සිට පයින්ඩ කරන බුද්ධ පූජාව කත්තියන බරාඳයේ දී රන්,රිදී පාත්‍රවලට බෙදා පිළියෙල කොට ගැනීම සිදු වෙයි.

එහිදී අලුයම තේවා කටයුතු අවසන් වීමෙන් අනතුරුව නැවතත් වැඩ සිටින මාලිගයේ දොරවල් වසා එහි යතුරු තේවා භාර නායක තෙරුන් වහන්සේ වැඩ සිටින කාමරයේ තැන්පත් කෙරේ.

අනතුරුව නව පැය තේවාව නමින් හඳුන්වන දහවල් තේවාව වෙනුවෙන් දොරගුළු විවෘත කරනු ලබන්නේ පෙ.ව. 9.30ට පමණ ය. පෙර පරිදි තේවා භාර ස්වාමින් වහන්සේ සමඟ නිල මඬුල්ල වැඩ සිටිනමාලේ දොර විවෘත කරනු ලබයි. නව පැය තේවා කටයුතු ආරම්භ වන්නේ පෙ.ව. 10.00ට පමණ ය. එහිදී ස්නානය සඳහා පැන් පූජා කිරීම හා මුළුතැන් පූජාව උඩමාලේ සහ පහළ මාලේ පවත්වනු ලබයි. ඒ සඳහා අලුයම පූජාව මෙන් හාල්සේරු 32ක දානය ඇතුළුව පූජා ද්‍රව්‍ය පූජා කරනු ලබන අතර, අතිරේක පූජාව ද ඒ අයුරින්ම සිදු කරති.

දහවල් පූජාවෙන් පසු වැඩ සිටින මාලේ දොරවල් වසා තැබෙන අතර, නැවත සන්ධ්‍යා පූජාව සඳහා දොරවල් විවර වන්නේ පස්වරු 06.30ටයි. පස්වරු 6.15 වන විට සන්ධ්‍යා ධුරය හෙවත් සන්ධ්‍යා යාමයේ හේවිසි පූජාව ආරම්භ කර පස්වරු 06.30ට තේවාව ආරම්භ කරනු ලැබේ.

එම අවස්ථාවේදී ද අලුයම් කාලය මෙන් උණුපැන්, සිසිල් පැන්, සිවුරු පිරිකර ආදී පූජාවන් පූජා කිරීමෙන් අනතුරුව ගිලන්පස පූජාව පැවැත්වේ.

මෙහිදී පස්වරු 7.00ට සහ 7.30ට වශයෙන් අෂ්ට විධ ගිලන්පස පූජා දෙකක් පැවැත්වීම තුළ විශේෂත්වයක් පවතී. දෙවන ගිලන්පස පූජාව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ඉල්ලීමක් අනුව ඇරඹිණි. ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන බුදු පුද තේවාවන් සඳහා රජතුමා දිනපතා සහභාගි වීම එදා පැවති සිරිත ය. එක් දිනක් රජතුමාගේ පැමිණීම ප්‍රමාද විය. ඒ අවස්ථාවේ දී තේවා කටයුතු අවසන් වී තිබූ අතර, තේවා භාර ස්වාමින් වහන්සේගෙන් රජතුමා සිදු කළ ඉල්ලීමකට අනුව එදින ආරම්භවූ දෙවන ගිලන්පස පූජාව වර්තමානය දක්වා ම ඒ අයුරින් ම සිදුකරනු ලබයි.

උඩ මාලේ ගන්ධ කුටියේ දී ශ්‍රී වාම දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් තේවා කටයුතු සිදු කරන වෙලාවන්හි ම පල්ලෙ මාලේ පිළිමගෙයි ද තේවා කටයුතු සිදු කරනු ලබයි.

දිනපතා සිදු කරන තුන්වරු පූජාවන්ට අමතරව සතියේ බදාදා දිනයන්හි නානුමුර මංගල්‍යය නමින් විශේෂ පූජා චාරිත්‍රයක් පැවැත්වේ. එදින තේවා කටයුතු සඳහා සහභාගි වන සියලු දෙනා හිස් සෝදා නා පිරිසුදු වී පැමිණීම පෞරාණික චාරිත්‍රයක් වශයෙන් සිදු කරති.

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ස්නාන මංගල්‍යයේ දී ආනන්ද හිමියන් සිදු කළ සියලුම චාරිත්‍රයන් සංකේතවත් කරමින් මෙම පූජාව පැවැත්වේ.

වාර්ෂික පූජාවන් අතර සතර මහා මංගල්‍යය ප්‍රධාන වේ. අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය, කාර්තික මංගල්‍යය යන මංගල්‍යය සතර මංගල්‍යයට අයත් වේ. මෙම මංගල්‍යයට අමතරව වෙසක් පෙරහර මංගල්‍යය, පොසොන් පෙරහර මංගල්‍යය, වාහලනාග උපසම්පදා පෙරහර මංගල්‍යය වාර්ෂික දළදා පූජෝපහාර වශයෙන් පවත්වනු ලබයි.

පොලොන්නරුව සෝමවතී රාජමහා විහාරාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ සදූපදේශ සහිතව මෙම ලිපිය සකස් කෙරිණි