Print this Article


දෙලොවක වෙනස තීරණය වන හැටි

දෙලොවක වෙනස තීරණය වන හැටි

බොහෝ දුර සසරක් ගෙවා එන අප මේ ජීවිතයේ දී මිනිස් ලෝකයක උපත ලබා තිබෙනවා. අද වන විට මේ මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු අසූවට අඩුයි. බොහෝ කලක් ජීවත්වීමට සිතුවත් අපගේ ආයුෂ ඉතා කෙටියි.

ගෙවා යන මේ මිනිස් ජීවිතයේ දී අපි දැන හෝ නොදැන දස අකුසල් සිදුකළොත්, පවට ම බර සිතින් වාසය කළොත් අපි මේ ජීවිතය අත හරිද්දීම ආයුෂ දහස් ගණන් ලක්ෂ ගණන්, කෝටි, කල්ප ගණන් ප්‍රේත ලෝකයේ නිරයේ උපදින්නට පුළුවන්. තිරිසන් ලෝකයේ ආයුෂ කෙටියි වගේ අපට පෙනුනත් ඒ තිරිසන් සතා ලක්ෂ කෝටි වාරයක් යළි යළිත් තිරිසන් ලෝකයේ ම ඉපදෙනවා. දුකට පත්වෙනවා.

එබඳු දුක් සහිත සසර ගමනක් උදෙසා රැස් වූ කර්ම අතීත සංසාරවල අපගේ ජීවිතවල කොතරම් තිබෙන්නට ඇතිද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා අප මෙසේ ගෙවා එන සසරේ දී සොරුන් ලෙස කටයුතු කරද්දී ආණ්ඩුවට හසු වී බෙලි කැපුම්වලින් කෑමෙන් පමණක් මිය යන විට ගැලූ ලේ සතර මහා සාගරයට වඩා වැඩියි කියා දුන්නා. එනිසා අපි මහා පිනක් අතැතිව සිටින්නේ කියා සිතන්නට හොඳ නැහැ. සිතින් කයින්, වචනයෙන් සිදු වූ මහා පව් පොදිය අප මියෙන තුරු බලා සිටිනවා සතර අපායට අපව තල්ලු කරන්න.

ඇතැම් කෙනෙක් මේ ජීවිතයේ උගත්, බුද්ධිමත්, ධනවත් උසස් යැයි සම්මත පවුලක ඉපදී සිටින්නට පුළුවන්. නමුත් ඒ කෙනා ඊළඟ මොහොතේ මිය ගියහොත්, ඒ ක්ෂණයෙන් නිරයේ උපන්නොත් බළලෙක්, සුනඛයෙක් වගේ තිරිසන් ලෝකයේ උපන්නොත්? ප්‍රේතයකු වී උපන්නොත්, නිරයේ මහා දුකක් විඳින නිරි සතකු වී උපන්නොත් පෙර ජීවිතයේ මිනිස් ලෝකයේ දී ගත් උපාධි, සම්මාන, නම්බුනාම, නිලයන් බලයන් ආදීන්ගේ ඇති වැදගත්කම කුමකට ද? එහි හරයක්, උපකාරයක් තිබෙනවා ද? අද වායු සමීකරණ කාමරයක කැරකෙන පුටුවක වාඩි වී, රස මසවුළු ආහාර අනුභව කරමින් සිටියත් ඊළඟ මොහොතේ මරණයට පත් වී බඩපපුව මහා දැවිල්ලකට ලක්ව සෙම්, සොටු ටිකක් සොයා දුව යන ප්‍රේතයෙක්ව ප්‍රේත ලෝකයේ උපන්නොත් මේ ජීවිතයේ විඳි සැප හෝ සමාජ තත්ත්වය කුමකට ද?

අපට නම් එහෙම වෙන්නේ නෑ කියලා අපට දිය හැකි සහතිකය කුමක්ද? අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ සෝතාපන්න වූ ශ්‍රාවකයාට පමණයි එසේ ස්ථිර කොට කිව හැක්කේ අප සතර අපායෙන් නිදහස් කියලා. ඊළඟට ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි ශ්‍රාවකයාටත් තිබෙනවා සුළු අවස්ථාවක් මේ සතර අපායෙන් මොහොතකට මිඳී සුගති ලෝකයක උපදින්නට. අනෙක් සෑම සත්වයෙක් ම සතර අපාය මහ ගෙදර කර ගෙන සිටිනවා කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

එනිසා අපගේ තීරණාත්මක මේ මොහොත ගැන සිතමු. අපට සදාකාලික සැනසුම උදා කර දෙන ඒ උතුම් ප්‍රතිපදාවේ යෙදීමෙන් ජීවිතයට යහපත උදාකර ගනිමු.