Print this Article


මිය යන බව නිතර සිහි කරන්න

මිය යන බව නිතර සිහි කරන්න

මේ උදාවී තිබෙන්නේ ජීවිතයට සුබ මොහොතකි. ඇයි මේ මොහොත සුබ වෙන්නේ, යමෙක් ජීවිතයේ සුබ මොහොතක් ලෙස සලකන්නේ වාසනාවන්ත දේ සිදුවන විටයි. ඒ කියන්නේ තමන් කැමැති දේ සිදුවෙන මොහොත තමන්ගේ සිත සතුටුවන දේ සිදුවන මොහොත.

යමෙක් තමන්ට තනතුරක් ලැබුණොත් එය වාසනාවන්ත කාලයක් ලෙස සලකාවි. දරුවන් ලැබෙන කාලය වාසනාවන්ත කාලයක්. ඒ වගේ ම විදෙස් ගමනක් යන්න ලැබෙන කාලය වාසනාවන්ත කාලයක්. රැකියාවේ උසස්වීමක් ලැබෙන කාලය වාසනාවන්ත කාලයක්. තමන් ආරම්භ කළ ව්‍යාපාරය දියුණුවන කාලය වාසනාවන්ත කාලයක්.

මේ ආකාරයටයි අපේ බොහෝ පිරිසක් වාසනාව කියන දේ සලකන්නේ. භෞතිකව මෙතැන වාසනාව කියන දේ සැබෑවක්. ඒත් ඒ වාසනාව කියන දේ බොහොම ස්වල්ප කාලයකටයි. එනම් දින කීපයකට මාස කීපයකට නැතිනම් අවුරුදු කීපයකට එය සීමා විය හැකියි. ඒ කියන්නේ එය අවලංගු වන වාසනාවක් බවයි.

බුද්ධිමත් කෙනෙක් වාසනාව සොයන විට එපමණකින් නතර විය යුතු නැහැ. මෙලොව වාසනාව සොයා ගැනීම අවශ්‍යයයි. ඒ වාසනාව මතුවන ආකාරයට වැඩ කටයුතු කළ යුතුයි. එහෙත් මරණින් මතුවටත් ඒ වාසනාව එබඳු ආකාරයෙන් නොව ඊට වඩා සිය දහස් ගුණයකින් බලවත් ලෙස රැගෙන යා හැකි නම් ඒ උදෙසාත් සූදානම් විය යුතුයි.

යම් පුද්ගලයෙක් මේ ජීවිතය ගැන පමණක් නම් සිතන්නේ, ඒ පුද්ගලයා සැබෑම ප්‍රඥාවන්තයෙක් ද? මේ ජීවිතයේ අවුරුදු හැටක්, හැත්තෑවක් හෝ උපරිම වශයෙන් සියයක් යැයි සිතමු. අන්න ඒ අවුරුදු සියය ගැන විතරක් නම් සිතන්නේ, එතැනින් එහා කල්ප ගණනකට එහා අනාගතය ගැන සිතන්නේ නැති නම් ඒ අයට ප්‍රඥාවන්තයෙක් යැයි කියා පැවසිය හැකි ද?

යම් කෙනෙක් මරණින් මතු ජීවිතය ගැන සිතනවා. එසේ සිතා හොඳින් සිල් ආරක්ෂා කරනවා. ඒ සීලය බිඳ ගෙන ලක්ෂ ගණනින් මුදල් සොයන්න පුළුවන්. එහෙත් එසේ කරන්නේ නැහැ. ඇයි එසේ නොකරන්නේ. ඔහු ප්‍රඥාවන්තයෙක් නිසයි. ප්‍රඥාවෙන් අනාගත සසර ගැන දකින නිසයි.

මම මෙලොවින් පරලොවට යන කෙනෙක්. මම මැරෙන කෙනෙක්. මේ ඉහළ, පහළ යන හුස්ම රැල්ල ඕනම මොහොතක නතර විය හැකියි. තරාතිරමකින් තොරව තත්පරයක්වත් ප්‍රමාද නොවී මරණය නියම වෙලාවට ජීවිතයට පැමිණෙනවා. ජීවිතයකට භෞතිකව ලැබෙන දේ ප්‍රමාද විය හැකියි. නමුත් මරණය කියන දේ තත්පරයකින්වත් ප්‍රමාද කළ හැකි සමතෙක් නැහැ.

ඔබ ඉපදෙන මොහොතේ ඔබේ මරණය කවදාද?, කොයි මොහොතක, කොතැන ද කියා මනාව ලියවී තිබෙනවා. එසේ ලියැවුණ මරණය ප්‍රමාද කරන්න පුළුවන් බලවතෙක්, ධනවතෙක් ඉන්නවාද? නැහැ කිසිවෙක් ම නැහැ. මරණය කොයි මොහොතේ දැයි කිව නොහැකියි. මම, මගේ ජීවිතයට වටිනාම දෙයක් ළං කර ගන්නට අවශ්‍යයි.

ඒ වටිනාම දේ මෙලොවට විතරක් සීමා වීමට ඉඩ දිය නොහැකියි. පරලොව යන දිනටත් එය මහමෙරක් වගේ ශක්තිමත් වෙන්නට ඕනෑ. මැරෙන මොහොතේ මේ හිත විවිධ අරමුණුවල ගැටෙනවා. ඒ ගැටෙන අරමුණූ බොහෝ සෙයින් මේ ජීවිතයේ වැඩිපුරම සිතූ දේ යි. ඔබ යම් පුද්ගලයෙක් ගැන වැඩිපුරම කල්පනා කරනවා. එනම් රාගයෙන්, ද්වේෂයෙන්, ආශාවෙන්, වෛරයෙන් මේ කල්පනා කළ පුද්ගලයා ගැන මරණ මංචකයේ දී මතක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එසේ මතක් වුණොත් ඔබ හිතන්නේ කොහේ යයි කියල ද? එසේ මතක් වුණොත් නිදාගෙන පිබිදුනාක් මෙන් තිරිසන් ලෝකයේ, පේ‍්‍රත ලෝකයේ, නිරයේ ඉපදෙනවා.

යමකුගේ සිතට රාගය, ද්වේෂය, පාපය ඇතිවෙන, අසංවරය ඇතිවෙන, සිත ගිනි ගන්නා අරමුණක් මිය යන මොහොතේ සිහිවුණොත් යහපත් තැනක උප්පත්තියක් නොලබන බවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඔබ කැමැති වුණත්, අකැමැති වුණත් සත්‍යය එයයි.

ඒ වගේ ම යමෙක් මරණාසන්න මොහොතේ තමන් සිදු කළ මල් පූජාවක්, දුන්න දානයක්, ජීවිතය ලස්සනට ගත වුණා යැයි කියා යමෙකුට සිතන්න පුළුවන් නම්, වැරැදි කළේ නැහැ. පව් වැඩ කළේ නැහැ. හොර මැරකම් සිදු කළේ නැහැ. ලැබුණ දෙයකින් දැහැමෙන් ජීවත්වුණා . අසාධාරණයෙන් මිල මුදල් හම්බ කළේ නැහැ. එලෙසින් යමකුට මරණාසන්න මොහොත සිතන්න පුළුවන්නම්, මරණෙන් මතු ඔහු කොහේ ඉපදෙයි ද? මහ මඟක වාහනයකට යටව මිය යන්නට සිදු වුණත්, නිදාගෙන නැගිට්ටා සේ ඔහු දෙව්ලොව ඉපදෙනවා.

බුදුරජාණන් වහන්සේ දවස සැඩොල් කුලයක ඉපදුණු අසරණ මහලු කාන්තාවක් සිටියා. ඇයට කන්න නැහැ. අඳින්න නැහැ. හම රැලි වැටිල. කුදු ගැහිලා, නහර පෙනෙනවා. තරුණ කාලයේ ඇය සමඟ සිටි කිසිවෙක් නැහැ. ඇවිද ගන්නත් අපහසුයි. අන්ත අසරණ වෙලා

මේ අසරණ මහලු කාන්තාව දිනක් රජගහනුවර වීදියක් දිගේ ඉතා අපහසුවෙන් කබලක් අතින් ගෙන ඇවිදගෙන යනවා. එසේ කබලක් අතින්ගෙන යන්නේ කුසගින්නට යමක් සොයා ගන්නයි.

ඒ මඟම අප තථාගත බුදුරජාණන් වහන්සේ පාත්‍රයත් රැගෙන පිණ්ඩපාතයේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ රජකුලයේ ඉපදිලා. රජ සම්පත් අත්හැර තපෝවනයට වැඩම කර සත්‍ය අවබෝධ කර ගෙන, දෙවි මිනිසුන්ගේ වන්දනා බුහුමන් ලබමින්, ගෙයින් ගෙට පිණ්ඩපාතයේ වඩිනවා. හරිම අසිරිමත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. දුගී මගී යාචකයන්ට සම සේ සැලකුවා. ඒ වගේම සුනීත සෝපාක වැනි අසරණයන්ට කරුණාවෙන් පිහිට වුණා. පටාචාරා අංගුලිමාල වැනි අයටත් සම කරුණාවෙන් පිහිට වුණා. බිම්බිසාර, කොසොල් වැනි මහ රජවරුන්ගේ රජ මැදුරුවලටත් අනුකම්පාවෙන් පිණ්ඩපාතයේ වැඩියා.

උස් – පහත් භේදයකින් තොරව කොයිකාටත් සම සිතින් කරුණාව දයාව පැතිරූ එකම ශාස්තෘන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි.

මේ මගේ ජාතිය, මේ මගේ කුලය, මේ මගේ රට, තමන්ගේ කියන දේට පමණක් නොවෙයි සැලකුවේ. අනුකම්පා කළේ.

දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයටත් වැඩම කළා. ධර්මය අවබෝධ කරන්නට පින ඇති යම් කිසිවෙක් වේ නම් ඒ සෑම තැනකට ම භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. එසේ වැඩම කර මහා කරුණාවෙන් අමා ධර්මය දේශනා කළා. ඒ සම්බුදු කරුණාවේ ස්වභාවයයි.

බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වඩින ඒ මොහොතේ අර මහලු යාචක කාන්තාව ඇස ගැටුණා. ඇය බුදුරජාණන් වහන්සේ වඬින මඟින් ඉවත්ව කාණුවට බැස ගත්තා. එදා භාරතයේ සිරිතක් තිබුණා කුලයෙන් අඩු අයෙක්, උසස් කුලයක කෙනෙක් පාරේ යන විට කාණුවක හෝ සැඟවිය යුතුයි කියලා. බ්‍රාහ්මණ සමාජයේ එය බොහොම ඉහළින් පැවතුණා. මේ පිළිවෙත අවසන් කළේ තථාගත බුදුරජාණන් වහන්සේයි.

මේ යාචක කාන්තාවට සැඟවෙන්නත් බැහැ. පලා යන්නත් බැහැ. කාණූුවේ බැස සිටි යාචක කාන්තාව ඉදිරියේ බුදුරජාණන් වහන්සේ නතර වූවා. ඒ ඇයට අනුකම්පාවෙන් පිහිට වීමටයි. නමුත් කාණුූවේ බැස සිටි මේ යාචක කාන්තාවට වැටහෙන්නේ නැහැ බුදු සිරිපතුල් වන්දනා කළ යුතුයි කියලා.

බුදුරජාණන් වහන්සේ පිටුපසින් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වැඩියා. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා.

“මාතාවනි, ඔබ ඉදිරියේ මේ වැඩ සිටින්නේ තුන්ලෝකයක් දිනු තථාගත බුදුරජාණන් වහන්සේයි. දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන, රාජරාජ මහාමාත්‍යයන්ගෙන් පිදුම් ලබන ශාක්‍යය කුලයේ ඉපදුණු බුදුරජාණන් වහන්සේයි. අප්‍රමාදීව වන්දනා කර ගන්න යැයි පැවසූවා.”

ඒ මොහොතේ යාචක කාන්තාවට සිහි කල්පනාව ආවා. ඇය වහා දණින් වැටී, බිම දිගාවී සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට වැටහුණා මේ මහලු කාන්තාවගේ වන්දනාව හොඳටම ප්‍රමාණවත් මරණින් මතු ඇයට සුගතියේ උප්පත්තියක් ලබන්නට.ඇයට එසේ අනුකම්පා කොට උන්වහන්සේ නැවත පිණ්ඩපාතයේ වැඩි සේක. මේ අසරණ මැහැල්ල බුදුරජාණන් වහන්සේ වඩින මඟ දෙස දෑස් නොපියා බලා සිටියා.

ඇය ජීවිත කාලයේ කිසි දිනක දානයක් පූජා කර නැහැ. සිවුරක් පූජා කර නැහැ. බණක් අසා නැහැ. වෙනයම් හෝ පිනක් කර තිබුණේ ද නැහැ. ජීවිතයේ අවසාන කාලයේ නෙත ගැටුණේ අසම සම උතුමන් වහන්සේ යි. ජීවිතයේ අවසාන මොහොතේ නෙත ගැටී,අවසාන මොහොතේ වන්දනා කළ පින මොනතරම් බලවත් ද?

මේ මහලු කාන්තාව වෙවුල වෙවුලා නැඟිටිමින් කබලත් අතින් ගෙන සිඟමනේ යන්න පිටත් වුණා.

ඇයට පියවර දහයක්වත් යන්න ලැබුණේ නැහැ. මහ මඟ සිටි වැස්සියක් ඇනීම නිසා කාන්තාව මරණයට පත්වුණා. වැස්සියගේ පහර දීම නිසා තම ශරීරයෙන් රුධිරය ගලා යන මොහොතේ මේ කාන්තාවට මැවි මැවී පෙනුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කළ ආකාරයයි.

ඇය නින්දෙන් පිබිදුනාක් මෙන් තව්තිසා දෙව්ලොව හැට යොදුන් ස්වර්ණ විමානයක උපත ලැබුවා.

ඒ මොහොතක් බුදුන් වැදීම් අනුභාවයයි.