Print this Article


ආගමික සමාජයීය මෙහෙවරක අද්විතීය සලකුණ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන

ආගමික සමාජයීය මෙහෙවරක අද්විතීය සලකුණ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය හා මාතලේ පුරවරයට ඇත්තේ චිර කල් පැවත එන සුවිශේෂි වූ සබඳතාවකි. එය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භය දක්වාම දිව යන බව විදුහුරු ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කොට වදාළ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්‍ද්‍රාසභවර ඤාණසාමි මහානායක මා හිමිපාණන් වහන්සේ නිකායාරම්භක මූලික සාකච්ඡා පැවැත්වීම සඳහා ගාල්ලේ සිට මාතලේ පුරවරයට වැඩම කොට අතිපූජ්‍ය වරාපිටියේ සුමිත්ත මහෝපාධ්‍යයන් වහන්සේ හමුවට වැඩම කර නිකායේ ආරම්භක උපසම්පදා විනය කර්මය සිදුකිරීමට උපාධ්‍යායත්වයෙන් කටයුතු කිරීමට උන්වහන්සේ කැමති කරවා ගත්හ. මෙම ඵෙතිහාසික හමුව මාතලේ පුරවරයේ සිදුවීම මාතලේ පුරවරයේ ගරු ගාම්භීරත්වය වැඩි කරන්නට ද හේතු විය.

තවද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය බැබළ වූ මහා යතිවරයන් වහන්සේ බොහෝමයක් ජන්ම ලාභය ලැබූ හා වැඩසිටි පින්බිමක් ලෙස මාතලේ හඳුන්වා දිය හැකි ය.

රාමඤ්ඤ මහා නිකාය මීට පෙර ශ්‍රී ලංකාවේ පිහිටු වීමට ප්‍රයත්න දැරුව ද එම භික්‍ෂු වංශය චිර කල් නො පැවතියහ. පොළොන්නරුවේ පළමු විජයබාහු රජු දවස මෙන්ම, සෙංකඩගල වික්‍රමබාහු රජු දවස ද රාමඤ්ඤ රට භික්‍ෂූන් වහන්සේ ගෙන්වා මෙරට උපසම්පදාව පිහිටුවීම සිදුකළ ද තදනන්තරව බලපෑ විවිධ හේතු නිසා එම රාමඤ්ඤ වංශය බොහෝ කල් නොපැවතියේ ය. ව්‍යවහාර වර්ෂයෙන් 1864 ජූනි මස 12 වැනි දින ගාල්ල මහමෝදර උදකුක්ඛෙප සීමාමාලකයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පළමු උපසම්පදා විනය කර්මය සිදු කරන ලදී. මෙසේ ආරම්භ වූ රාමඤ්ඤ මහා නිකාය අද වන විට ශ්‍රී ලංකාව පුරා අතු පතර විහිදුණු මහා වෘක්ෂයක් සේ වැඩී වර්ධනය වී ඇත.


වර්තමාන විහාරාධිපති
මාඋස්සාවේ අග්ගධම්ම නාහිමි

මෙසේ වැඩෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට එක් වූ අභිනව විහාරස්ථානයක් ලෙස එදා 2500 වන සම්බුද්ධ ජයන්තියට මුළු රට ම සැදී පැහැදි සිටි සමයේ 1956 වෙසක් මස මාතලේ පුරිජ්ජල ශ්‍රී ධම්මසිද්ධ්‍යාරාම විහාරස්ථානය ආරම්භ විය. තවද උඩරට දකුණු මාතලේ කොහොන්සිය පත්තුවේ පුරිජ්ජල නම් මනරම් ගම් පියසේ නාගහකොටුව නම් අක්කර භාගයක ඉඩමේ මෙම ශ්‍රී ධම්මසිද්ධ්‍යාරාම විහාරස්ථානය පිහිටා ඇත. ටී ඒ බී හලංගොඩ දම්පතීන් සතුව පැවති ඉඩමක විහාරය ඉදි වූ මෙම භූමිය අතපැන් වත්කොට පූජාකරවා මාතලේ සාසනතිලක මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ වෙත පූජා කිරීමෙන් පසු එහි පිදුරු හෙවිල්ලූ කුඩා මඬුවක් දායක කාරකාදීන් විසින් ඉදිකර සසුනට පූජා කිරීමෙන් අනතුරුව මාතලේ සාසනතිලක මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ එහි වැඩවාසය කරමින් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය සේවාව ආරම්භ කළහ.

විද්‍යා විශාරද හා රාජකීය පණ්ඩිත උපාධිවලින් තම ශාස්ත්‍ර ඥානය වැඩි දියුණු කර ගෙන සිටි සාසනතිලක අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ශ්‍රී ධම්මසිද්ධ්‍යාරාම විහාරස්ථානය කේන්‍ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ දුවා දරුවන්ට ශාස්ත්‍ර ඥානය ලබා දුන්හ. ජලය, විදුලිය මංමාවත් සකස් කිරීම මෙම විහාරස්ථානය ආරම්භ වීමත් සමඟ සිදුවිය. ඒ හරහා ගමේ ජීවත් වන සියලු ජනයාගේ ජීවිත සුභ සිද්ධිය ඇති වීම සිදු වූ අතර ක්‍රමයෙන් විහාරස්ථානය හා බැඳි ගම්පියසට ද ආගමික හා සාමාජික වශයෙන් පුනර්ජීවයක් ලැබුණි.

සාසනතිලක නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව මෙම විහාරස්ථානයේ අධිපතීත්වය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අනුනායක ධුරන්ධර මාතලේ ධම්මකුසල ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ වෙත හිමිවිය. උන්වහන්සේ විසින් මෙම විහාරස්ථානය උන්වහන්සේගේ ජේ්‍්‍යෂ්ඨ ශිෂ්‍යවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී මාතලේ දිස්ත්‍රීක් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම නාහිමියන් වහන්සේ වෙත භාර කරන ලදුව උන්වහන්සේ මෙම විහාරස්ථානයේ බොහෝ විහාර කර්ම කරමින් වර්තමානය තෙක් රැගෙන ආහ.

කන්ද උඩරටට අයත් ඉතා රමණීය සිත් අලවන කඳු මුදුනක පිහිටි මාඋස්සාව නම් ගම් පියසෙහි ජන්ම ලාභය ලබා පෙර පින් මහිමයෙන් ගිහි ගෙයින් නික්ම සසුනට පිවිස වැඩවාසය කරන අග්ගධම්ම නාහිමියන් වහන්සේ බණ දහම් උගත් සුපේෂල ශික්‍ෂාකාමි ස්වාමීන් වහන්සේ නමකි. මාතලේ අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ සෙවනෙහි හැදී වැඩෙන උන්වහන්සේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් තම ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදි උපාධිය ද, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද, ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද හිමි කර ගත්හ.

එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිංහල භාෂාව වෙනුවෙන් ලබා දෙන විමල් ජී බලගල්ල ත්‍යාගය උන්වහන්සේ දිනා ගනිමින් භාෂා ඤාණය පිළිබඳ උන්වහන්සේගේ පෘථුල දැනුම සනාථ කළහ.

අග නගරයේ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබුණ ද අග්ගධම්ම නාහිමියන් වහන්සේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන් විහාරස්ථානයට වැඩම කොට ඉතා දුෂ්කර කාලවකවානුවක් පසුකළේ උන්වහන්සේ තුළ තිබුණු අප්‍රතිහත ධෛර්යයත් මනා ගුණ මහත්වයත් නිසාවෙනි. උන්වහන්සේ මෙම විහාරස්ථානයට වැඩම කිරීම පුරිජ්ජල ග්‍රාමයට පමණක් නොව මාතලේ පුරවරයට ම ලැබුණු ඉමහත් ලාභයකි.

“පුරිජ්ජල ආවාසය” නමින් ආරම්භයේ පැවති මෙම විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත ආගමික, ශාස්ත්‍රීය හා සාමාජික වශයෙන් විශාල සේවයක් රටටත් සම්බුද්ධ සාසනයටත් සිදුකරන විහාරස්ථානයක් බවට අද වන විට පත් වී හමාර ය.

මාතලේ සාසනතිලක මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ අභිප්‍රාය වූයේ මෙම විහාරස්ථානය භික්‍ෂු පුහුණු ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම යි. උන්වහන්සේගේ එම බලාපොරොත්තුව මල්ඵල දරමින් 1998 මෙම විහාරස්ථානයේ ශ්‍රී සංඝබෝධි පිරිවෙන ස්ථාපනය කරන ලදී.

ඒ අනුව වසර 25 ක තරම් කාලයක් පුරා ශ්‍රී සංඝබෝධි පිරිවෙන තුළින් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ ස්වාමීන් වහන්සේ හා ගිහි ප්‍රභූන් විශාල සංඛ්‍යාවක් රටපුරා විසිරී පැතිරී ඇත. අද වන විට විහාර මන්දිරය, දාගැබ් වහන්සේ, බෝ මළුව, ආවාස ගෙවල්, පිරිවෙන් ශාලා, කාර්යාල, පුස්තකාල, නේවාසිකාගාර, දානශාලාව ආදි විහාරාංගවලින් සමන්විත ශ්‍රී සංඝබෝධි පිරිවෙන් විහාරස්ථානය මාතලේ පුරවරයේ කේන්‍ද්‍රීය විහාරස්ථානයක් බවට පත් වී ඇත.

මෙම ගමන් මගෙහි අතිවිශාල සේවාවක් සිදු කරමින් මේ වන විට පුරා දසක තුනක පමණ කාලයක් මෙම විහාරස්ථානයේ භාරකාරත්වය ගෙන කටයුතු කරන, මෙවර 73 වන උපසම්පදා මහෝත්සවයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ මාඋස්සාවේ අග්ගධම්ම නාහිමියන් වහන්සේ පිරිවෙන් විහාරස්ථානයට පෑයු සුපුන් සඳක් සේ මාතලේ පුරවරය ආලෝකවත් කරන බව මෙහිලා කිවහොත් එය අතිශයෝක්තියක් නොවන්නේ ය.

මාතලේ දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් ආයතනවලට නායකත්වය දෙමින් භික්‍ෂු අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ද උන්වහන්සේ ක්‍රියා කරති. එසේම ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල කටයුතු කරමින් දිස්ත්‍රික්කයේ සියලූම විහාරස්ථාන හා දහම් පාසල් නංවාලමින් කළ සේවය පමණ කළ නොහැකි ය.

දිස්ත්‍රික්කයේ ඇති ප්‍රමුඛ පෙළේ සමිති සමාගම් හා ස්වේච්ඡා සංවිධානවල අනුශාසකත්වය දරමින් පුරවරයේ දියුණුවට හා සංවර්ධනය සඳහා පුරෝගාමීව උන්වහන්සේ කටයුතු කරති. වාර්ෂිකව සංවිධානය කරන බොහෝ සුබසාධන හා සමාජ සේවා කටයුතුවලින් ප්‍රදේශයේ මහජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමටත් ඔවුන්ගේ දුක් ගැහැටවල දී බුදුදහමින් උගත් කරුණා ගුණය පෙන්වමින් පිහිටක් වෙමින් ජනතාවට අස්වැසිල්ලක් ගෙන ඒමටත් උන්වහන්සේ නිරතුරුව ම කටයුතු කරමින් සිටිති.

මෙම සෑම කටයුත්තක දී ම උන්වහන්සේට ශක්තියත්, ධෛර්යත්, ආශිර්වාදයත් මෙන් ම ගුරුහරුකම් ලබා දෙමින් මෙම විහාරඝනයේ අධිපතීත්වය දරන අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ කටයුතු කිරීම මෙම සේවාවන් මෙතරම් විශිෂ්ට අයුරින් සිදුකිරිමට දොරටු විවෘත කර දෙන බව මෙහිලා සඳහන් කළ යුතු ය.

මාතලේ ප්‍රාදේශීය සංඝසභාවේ ලේඛකාධිකාරී (1998-2018), නිකායේ මහා ලේඛකාධිකාරී නාහිමිපාණන් වහන්සේ දෙනමකගේ සහය ලේකම් ලෙස ද (2018 දක්වා) වර්ෂ 2015 සිට කාරක සංඝ සභික ලෙස ද වර්ෂ 2020 සිට නියොජ්‍ය පරියත්ති සංවර්ධන ලේඛකාධිකාරී ලෙස ද අග්ගධම්ම නාහිමිපාණන් වහන්සේ අතිමහත් සේවාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් සිදු කරති.

සම්බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් තම දිවිය ම කැප කළ අග්ගධම්ම නාහිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිදු කරන සාසනික හා සාමාජීය සේවය විවිධ පරාසයන් ඔස්සේ විහිදී පැතිරී ඇත. උන්වහන්සේ උකුවෙල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස වර්ෂ 15 ක් තරම් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර 2016 සිට 2021 දක්වා එම බලමණ්ඩලයේ සභාපති ධූරයෙහි කටයුතු කළහ.

භික්‍ෂු අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් තම දැනුම හා පරිචය යොදා ගන්නා අග්ගධම්ම නායක හාමුදුරුවන් වහන්සේ ශ්‍රී සංඝබෝධි පිරිවෙන්හී පරිවෙනාධිපති හිමි වශයෙන්, මාතලේ දිස්ත්‍රික් ගුරු උපදේශකවරයෙකු වශයෙන්, පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ උන්වහන්සේ වර්තමානයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු වශයෙන් විශාල අධ්‍යාපනික සේවාවක් ඉටු කරති.

භාෂාව පිළිබඳ විශේෂඥයකු වන උන්වහන්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවදියේ පටන්ම ශස්ත්‍රීය සඟරා හා ශාස්ත්‍රීය ලිපි බොහෝමයක් සම්පාදනය කළ අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන “පටිපදා” ශාස්ත්‍රීය සඟරාවෙහි සංස්කාරකවරයෙකු වශයෙන් ද ඉමහත් සේවයක් සිදු කළ අතර තවදුරටත් උන්වහන්සේ තම ධර්ම ශාස්ත්‍රීය සේවය රටටත් දැයට ත් නොපිරිහෙලා ඉටු කරති.

කරුණාව හා දයාව පෙරදැරි කර ගත් චරිතයකින් සෝබාසම්පන්න වන නිසාම අග්ගධම්ම නායක හාමුදුරුවන් වහන්සේ සමාජයේ බොහෝ සුභ සාධන කටයුතුවල දී පෙරමුණ ගෙන කටයුතු කරති.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් සංවර්ධන කමිටුවේ අනුශාසක ලෙස කටයුතු කරන උන්වහන්සේ රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම හා රෝගීන් වෙනුවෙන් වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් කරුණා පෙරටුව කටයුතු කරති. තම සමාජ සුභ සාධන කටයුතු තවදුරටත් පුළුල් කරන නාහිමියන් වහන්සේ මාතලේ පුණ්‍ය වර්ධන සමිතියේ අනුශාසක ලෙස ද කටයුතු කරති. “පරත්තං පටිපජ්ජථ” යන බුදු වදන අනුව සුවිශාල සේවාවක් මෙම සංඝබෝධි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උත්කෘෂ්ඨතම උත්සවය වන උපසම්පදා මහෝත්සවය 73 වන වරට මෙවර පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන් විහාරස්ථානය කේන්‍ද්‍ර කර ගනිමින් පැවැත්වුණි.