Print this Article


සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර

සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර

සේරුවිල 99 වැනි ‘ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර’ අති උත්කර්ෂවත් අයුරින් සේරුවිල මංගල රාජමහා විහාර පරිශ්‍රයේ දී පසුගියදා වීදි සංචාරය කරන ලදී. සධාතුක කරඬු වහන්සේ ශ්‍රී දළදා මාළිගාවේ මියන්රාජා හස්ති රාජයා විසින් වැඩමවන ලද අතර, අලි ඇතුන් 12 දෙනකුගෙන් සහ නර්ථන කණ්ඩායම් සහ විවිධ නර්ථන අංග 70කින් පමණ පෙරහර සමන්විත විය.

නැඟෙනහිර පළාතේ විශාලතම සංස්කෘතික මංගල්‍යය වන මේ උතුම් පින්කම සඳහා දස දහස් ගණනක් සැදැහැවතුන් සහ දමිළ, මුස්ලිම් ජනතාව ද බොහෝ පිරිසක් එක්ව සිටියහ.

අළුදෙණියේ සුබෝධි හිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, තායිලන්ත තානාපති පොජ් හන්පෝල් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පෙරහර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් වූ අතර, සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතියේ ගිහි උපදේශක, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ස්තුති කතාව පවත්වන ලදී.

ගුවන් ගැබෙන් ඇදහැළුණු මල් වරුසා සහ සැදැහැවතුන්ගේ සාධු හඬ මධ්‍යයේ මංගල මහා සෑ වන්දනාව පැවැත්වූ අතර, ඉන් අනතුරුව මහ පෙරහර වීදි සංචාරය කරන ලදී. පෙරහර මංගල්‍යයේ ප්‍රධාන නිළමේතුමන් වන සුදත් අන්නාසිවත්ත මහතා ඇතුළු නිළමේවරු සධාතුක කරඬුව බාරව ගමන් කළ අතර, සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ රන්වන් විදුලි ආලෝකයෙන් ආලෝකමත්ව තිබුණි . උඩරට, පහතරට සහ සබරගමු සාම්ප්‍රදායික නර්තනයන් ද ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේට උපහාර පූජා පිණිස පෙරහරට එක්කොට තිබුණි.