Print this Article


පුහු ආටෝපය එපා තමන්ගේ තරම දැනගෙන ජීවත් වන්න

පුහු ආටෝපය එපා, තමන්ගේ තරම දැනගෙන ජීවත් වන්න

අප ජීවත්වන්නේ විශාල තරගකාරි සමාජයකයි. එම සමාජය තුළ අසීමිත ආශාවන් තිබෙනවා. අසීමිත ආශාවන් තිබුණත් සම්පත් සීමිතයි. එම අසීමිත ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා සීමිත සම්පත් ප්‍රමාණයක් යොදා ගැනීමට සිදු වෙනවා. සීමිත සම්පත් ප්‍රමාණය යොදා ගන්නේ කෙසේ ද? ගැටුම පවතින්නේ එතැනයි.

කුමන තත්ත්වයක් යටතේ වුව ද අපගේ අවශ්‍යතාවන් ඉස්මතුවීම වැළැක්විය නොහැකියි. ඒ වගේම සැපතට ලොල්වීම පෘථග්ජන ස්වභාවයක්. සෑම මනුෂ්‍යයකු ම සැප විඳීමට කැමැතියි. අපගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට අපි උත්සාහ කළ ද අප අපේක්ෂා කරන ආකාරයට ම එය සපුරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එම සියලු ස්වභාවයන් හමුවේ අප විශාල මානසික ආතතියකට පත්වීම කිසිවිටෙකවත් වැළැක්විය නොහැකි කරුණක්.

එම සියලු තත්ත්වයන්ගෙන් මිදී සතුටින් ජීවත් වීමට නම් බුදුරජාණන් වහන්සේ වදාළ අල්පේච්ඡතාව ඉතාම වැදගත්. අල්පේච්ඡතාව තරම් තවත් උසස් ගුණධර්මයක් ලෝකයේ නොමැති තරම්. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අල්පේච්ඡතාව පිළිබඳ සඳහන් වෙනවා.

නාහං භික්ඛවේ අඤ්ඤං එක ධම්මම්පී සමනුපස්සාමි. යේන අනුප්පන්නාවා කුසලාධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති. යථයිදං භික්ඛවේ අප්පිච්ඡතා අප්පිච්ඡස්ස භික්ඛවේ අනුප්පන්නා චෙව කුසලාධම්මා උප්පජ්ජන්ති. උප්පන්නාච අකුසලා ධම්මා පරිහායන්ති

යමක් හේතු කොටගෙන නූපන්නා වූ කුසල ධර්මයන් උපදිද්ද, නැති කුසල ධර්මයෝ ඇති වෙනවද? උපන්නා වූ අකුසල ධර්මයන් නැති වෙනවද? පිරිහෙනව ද, ඊට අවශ්‍ය මූලික සාධකයක් තමයි අල්පේච්ඡතාව. එනිසා අල්පේච්ඡතාව බඳු එකදු ධර්මයක් මම නොදන්නෙමි” යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එම ධර්මතාවයේ පවතින උත්තරීතර බව නිසයි.

ඒ අනුව භෞතික ජීවිත හැඩගස්වා ගැනීම සඳහා අල්පේච්ඡතාව අපට ඉතාම වැදගත්. අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට සාමාන්‍ය පුද්ගලයකුට බැහැ. සාමාන්‍ය පුද්ගලයා තමන්ගේ එදිනෙදා ජීවිතය ගොඩනඟා ගත යුත්තේ ඔහුගේ පවතින ආර්ථික ශක්තිය මතයි. එසේ නොවූ විට අවසානයේ දී ණය වීමට සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ දිළිඳුකම දුකක් බවට දේශනා කළ ආකාරය අංගුත්තර නිකායේ සඳහන් වෙනවා.

දිළිඳුකම නිසා ණය ගැනීමට සිදු වෙනවා. ණය වීමෙන් පොලියක් ගෙවීමට සිදු වෙනවා. පොලිය නොගෙවීමෙන් පොලීකාරයන් සොයා ගෙන එනවා. එහි අවසානය නීතියේ රැහැනට හසුවීමෙන් බන්ධනාගාරගත වීමට පවා සිදු විය හැකියි. එවිට එය දුකක්. අපට අවශ්‍ය වන්නේ කායික, වාචසික, මානසික සතුට ඇති කරගෙන මනසින් ණය නොවී ප්‍රඥාවන්තව ජීවිතය ගොඩනඟා ගැනීමටයි.

අපේ පංචේන්ද්‍රියන් පින විය යුත්තේ අවම ප්‍රමාණයෙන්. එසේ වුවත් අප උත්සාහ කරන්නේ පංචේන්ද්‍රියන් අසීමිත ලෙස පිනවීමට යි. එය අපට ඔරොත්තු නොදෙන තත්ත්වයක්. තණ්හාවට දාසයෙක් ව කටයුතු කිරීම මේ හැම දෙයට ම මුල බව අප වටහා ගත යුතුයි.

ජීවත්වීමට මුදල් අවශ්‍යයයි. මුදල් අවශ්‍ය වුණාට ධනය පුද්ගලයාගේ ස්වාමියෙක් නොවෙයි. ධනය පුද්ගලයාගේ සේවකයෙක්. පුද්ගලයකු ධනතාවයෙන් උමතුවීම සමාජයට හිතකාරි වන්නේ නැහැ. ජීවත්වීම සඳහා මුදලක් අවශ්‍ය වුව ද අසීමිතව එයට ලොල්වී ක්‍රියා කිරීම පිළිගන්න බැහැ. එහි සීමා නැහැ. එවැනි තත්ත්වයක් තුළ මිනිසාගේ සතුට නැති වෙනවා.

සමාජයේ යම් කෙනකු ඔහුගේ ආර්ථික පදනම අනුව ඉහළින් ජීවත්විය හැකියි. එවැනි ජීවන තත්ත්වයක් ඇති කර ගැනීමට ඕනෑම පුද්ගලයකු උත්සාහ කිරීම වරදක් නොවේ. එසේ වුව ද එවැනි ආර්ථික පදනමක් ඇති අයකු තමන්ගේ ශක්තිය තේරුම් නොගෙන ඉහළින් ජීවත්වීමට උත්සාහ කළ හොත් සිදුවන්නේ කඩා වැටීමක්.

බුදුරජාණන් වහන්සේ වදාළ අල්පේච්ඡතා සංකල්පය අපගේ ජීවිතයට ළඟා කර ගැනීමෙන්, එම ස්වභාවය අපගේ ජීවිතය හා බද්ධ කර ගැනීමෙන් සැනසුම රැඳී වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට පුළුවන්.

මේ ආකාරයෙන් බලන විට මවුපියන්ට විශාල වගකීමක් පැවරෙනවා. දරුවන් ආදර්ශ ගන්නේ මවුපියන්ගෙන්. ආදර්ශයට හොඳම උදාහරණය මුහුණ බලන කැඩපතයි. කැඩපත ළඟදී අපි කැඩපතින් බලා අපේ වැරැදි හදා ගන්නවා. නමුත් වර්තමානයේ දී මවුපියන් දරුවන්ට අවවාද දෙනවා පමණයි, ආදර්ශවත් වන්නේ නැහැ. එසේ වුවත් මවුපියන් අවවාදයට වඩා ආදර්ශයෙන් දරුවන් දැනුම්වත් කළ යුතුයි.

සමස්ත සමාජයම අවුලකට ඇද දමන මූලික හේතුව තණ්හාවයි. පුද්ගලයා තණ්හාවේ දාසයෙක් බවට පත්වෙලා. පුහු ආටෝප ජීවිතවලින් මිදි අල්පේච්ඡතාව වැනි ධර්මතා ජීවිතයට ළඟා කර ගැනීමයි වැදගත්. අපි වසර හාර පන්සියයක් ජීවත් වන්නේ නැහැ. ජීවත් වන මේ කාලය තුළ ආධ්‍යාත්මිකවත්, භෞතිකවත් ලැබිය හැකි දියුණූුව අවබෝධයෙන් ළඟා කර ගැනීමට මවුපියන් උත්සාහ ගන්නේ නම්, අපේ දරු පරපුරත් එම අඩිපාරේ ම ගමන් කරාවි.

අග්ගික්ඛන්ධො සමුද්දෝච – මහෙච්ඡො වාපි පුග්ගලො
සකටෙන පච්චයං දෙන්තු – තයො පෙතෙ අතප්පයාතා

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරයට ගින්න, මහ මුහුද සහ අධික තණ්හාවෙන් යුතු පුද්ගලයා කවදාවත් සතුටු කළ නොහැකියි. ගින්නට කෙතරම් දර දැම්මත් තෘප්තිමත් වන්නේ නැහැ. මුහුදට කෙතරම් ජලය ලැබුණත් තෘප්තිමත් වන්නේ නැහැ. ඒ වගේම අසිමිත ආසාවන් පසුපස්සේ ලුහුබඳින පුද්ගලයා කවදාවත් තෘප්තිමත් වන්නේ නැහැ.

එනිසා සැම අවස්ථාවක දී ම අල්පේච්ඡතාව වැනි උසස් ධර්මතාවන්ට අනුකූලව ජීවිතය හැඩගස්වා ගැනීමෙන් අපගේ ජීවිතය වඩාත් සැහැල්ලුවෙන්, සතුටෙන් ගත කළ හැකියි. එය ධර්මානුකූල ජීවිතයක් බවට ද පත්වෙයි.

පුද්ගලයකු තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර කර ගත් විට එහි ලාභය පළමුව ලබන්නේ තමාම යි. සමාජයට යහපත්කම සැලසෙන්නේ ඉන් පස්සේ. බොහෝ පුද්ගලයන් විනාශයට පත්වූ අවස්ථා තිබෙනවා. එසේ වන්නේ ඉන්ද්‍රියන් සංවර නැති නිසා.

අද ගෙදරක් ගතහොත් දිනපතා වියදම වැඩියි. එයට හේතුව තමාට අවශ්‍ය දේට වඩා වැඩියෙන් යම් යම් දේ අරගැනීමයි. කෑම බීම, ඇඳුම් පැළඳුම් විතරක් නොවෙයි වෙනත් බොහෝ දේ. ජනමාධ්‍යවල වෙළෙඳ දැන්වීම්වලට රැවටිල අරගන්නට යනවා. ඒ නිසා තමයි එය වන්නේ.

ඔබම වුණත් කල්පනා කරල බැලුවොත් වෙළෙඳ දැන්වීම්වලට කොච්චර රැවටිලා තියෙනව ද? ඉන් තමන්ට කොපමණ අලාභ වුණා ද? කියලා පැහිදිලි වෙයි. මිනිස්සු හරි අඥානයි. තමන් තමයි නුවණැති කෙනා කියලා තමයි කවුරුත් හිතන්නේ. ඒත් තමා සතුව තරම් අනුවණකම් වෙන කවුරුත් ළඟ නැහැ.

ඉඳුරන් සංවර කර ගැනීමේ උපරිමය තමයි රහත්වීම කියලා කියන්නේ. ගිහි ජීවිතය ගතකරන අපි එතරම් දුරක් නොගිහින් සිටියත්, ඒවා පාලනය කර ගත්තේ නැත්නම් කරදර අත්විඳින්න වෙනවා. ලස්සන ජීවිතය එහෙම වුණොත් අවලස්සන වෙයි.

අපගේ සියලු ඉන්ද්‍රියයන් උපතින්ම හුරුවෙලා තියෙන්නේ අයහපත් දෙයට. පුද්ගලයා ජන්මයෙන් ම එබඳු ලක්ෂණ අරගෙන එනවා. සමාජගත ජීවිතයේ දී කරන්නේ එම පංච ඉන්ද්‍රියයන් යහපත් පැත්තට නැඹුරු කරවන්න උත්සාහ කිරීමයි.

ඒත් ඒවා හරියට තාම සකස් වුණේ නැත්තේ ඔබගේ සිත අසංවර නිසා. එනිසා ඉන්ද්‍රියන් සංවරව, සංසුන්ව තබා ගන්නට දහම නිතරම උපදෙස් ලබා දී තිබෙනවා. අනාගතය ගැන සිතා කටයුතු කරන පුද්ගලයා, ඉන්ද්‍රිය සංවර කර ගන්නට පුදුම ආකාරයේ සටනක නිරත වෙනවා. කැප කිරීම් කියන වචනයෙන් කියැවෙන්නේ ඉන්ද්‍රිය සංවරකමයි.