Print this Article


අඟුල්මල් හිමියනි ඔබ සේ මම ද මෙත් වඩමි

අඟුල්මල් හිමියනි ඔබ සේ මම ද මෙත් වඩමි

තරහව නැති කර ගැනීමට හොඳම කාරණය ධාතු මනසිකාරය තුළ සිත පිහිටුවා ගැනීමයි. යම් පුද්ගලයෙක් නින්දා අපහාස, වෛරය, ක්‍රෝධය තරහ සිතිවිලි තමාට එල්ල කරන්නේ නම්, එහි දී මෙනෙහි කළ යුතුයි මේ තරහා සිතිවිලි මට නොවේ. සතර ධාතුන්ගෙන් හටගත් දෙතිස් කුණුපයන්ටයි යන සිතිවිල්ල මත නුවණින් විමසීමෙන් තරහව යටපත් කොට ජීවිත යථාර්ථය දැකිය හැකි ය.

යම් පුද්ගලයෙක් තමාට නින්දා කරන්නේ ද, අපහාස කරන්නේ ද මේ බනින්නේ, නින්දා කරන්නේ අපහාස කරන්නේ මට නොවේ. කෙස් ටිකට ය. ලොම් ටිකට ය. නහර ටිකට ය. මේ ආකාරයට දෙතිස්කුණුපය සිහිපත් කිරීම තුළින් තරහව ප්‍රහානය කළ හැක.

අගාත පටිවිනය සූත්‍ර දේශනාවේ දී, තමාට යම් කෙනෙකු අපහාස කරන්නේ ද, නින්දා කරන්නේ ද, බනින්නේ ද ඒ සියලුම වචන අත්හරින ලෙසත්, තමාට එවැනි චෝදනා ගැරහුම් එල්ල කරන්නාගේ කායික ක්‍රියාවලින් සිහිපත් කිරීම තුළින් තරහ නැති කර ගත හැකි බව පෙන්වා දී තිබේ.

අංගුලිමාල මහා රහතන් වහන්සේ සමහර දිනවල පිණ්ඩපාතයේ වඩින විට බොහෝ මිනිසුන් නින්දා අපහාස කළහ. තවත් සමහරෙක් ගල් මුල්වලින් පහර දුන්නහ. අඟුල්මල් හිමියෝ ලේ පෙරාගෙන. විහාරස්ථානයට පැමිණියහ. මෙසේ වැඩිය අංගුලිමාල හිමිට බුදුරජාණන් වහන්සේ දහම් අනුශාසනා ලබා දුන්හ.

“පින්වත් මහණෙනි, මෛත්‍රි සිතිවිල්ල පෙර දැරි කර ගන්න. ඔබට වෛර කරන සියලුම සත්වයා කෙරෙහි මෙත් සිත පතුරන්න. ඒ තමයි සම්බුදු වදනේ බල මහිමය. ඒ අවස්ථාවේ පටන් අංගුලිමාල රහතන් වහන්සේ දිනපතා උදෑසන පිබිදුන මනසින් මෛත්‍රිය වඩති. “මට මෙත් වඩන, මට වෛර කරන සියලුම සත්වයෝ සුවපත් වේවා. සියලුම සත්වයන්ට වහ වහා චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා’යි ප්‍රාර්ථනා කළහ. බලන්න, මේ රහත් හිමියන්ගේ නිකෙලෙස් ප්‍රාර්ථනය. කොතරම් අගේද? අංගුලිමාල රහතන් වහන්සේ මෙන් සියලු සත්වයා වෙත මෙත් සිත පතුරන්න ශක්තිය ලැබේවා’යි ඔබත් අදිටන් කරන්න.

අපේ ගෞතම බුදුසසුන තුළ මෛත්‍රී චින්තාව ඇති කර ගෙන සුගතිගාමී වූ චරිත බොහෝ අසන්නට ලැබේ. උදේනි රජතුමාගේ බිසව මල්ලිකා ඇතුළු සදහම් සරණ යන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට වෛර කරපු මාගන්ධියා බිසව මුළු මාලිගයට ගිනි තබන්නට කටයුතු කළා ය.ගිනිදැල් මුළු මාලිගාව වෙලා ගනිද්දි පින්වත් මල්ලිකා බිසව ඇතුළු සෙසු කාන්තාවන්ට බේරීමට නොහැකි විය. ඒ සියලු දෙනාම වෛර සිතිවිලි ඇති කර ගත්තේ නැත. මාගන්ධියා වෛරයේ ගිනිදැල් වෙලා ගනිද්දී මල්ලිකා බිසව ඇතුළු පිරිසකගේ මෛත්‍රි සිතිවිල්ල බලවත් වුණා. ගිනිදැල් මුළු සිරුර දවද්දී මෙත් චින්තාව ඒ සියලුම දෙනා සුගතිගාමී භාවයට පත් කළහ.

වෛරී සිතිවිලි ඉවත දමන්න. තරහ සිතිවිලි ඉවත දමන්න. වෛරය, තරහව තමාට කර ගන්නා අකුසල් විපාකයක් බව සිතා ගන්න. ධර්මාවබෝධයට අවහිර කරන, දහම් ඇස වසා දමන, ප්‍රඥාව දුබල කරන, ව්‍යාපාදය දුරලන්නට කැමැත්තක් ඇති කර ගත යුතුයි. ඊළඟට මෙය යටපත් කිරීමට වීර්යය වැඩිය යුතුයි. දැඩි වීර්ය තුළින් අධිෂ්ඨානශීලව නුවණින් විමසා බලමින් පිලිකුල් ස්වභාවයෙන් ව්‍යාපාදය ප්‍රතික්ෂේප කළ යුතුයි.