Print this Article


අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා සැවැත්නුවර දී...

අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා

සැවැත්නුවර දී...

මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැනත්, අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා ගැනත්, සත්පුරුෂයා ගැනත් සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා ගැනත් දේශනා කරන්නෙමි. එය අසන්න. මැනවින් මෙනෙහි කරන්න. කියන්නෙමි.

‘එසේය ස්වාමීනි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

මහණෙනි, අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි මෙහිලා ඇතැමෙක් සැදැහැ නැත්තේ වෙයි. ලජ්ජා නැත්තෙක් වෙයි. පවට භය නැත්තේ වෙයි. කුසීත වෙයි. මුළා සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා රහිත වූයේ වෙයි. මහණෙනි මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමාත් සැදැහැ නැත්තෙක් වෙයි.

අන්‍යයන්ට ද ශ්‍රද්ධාව නැති කිරීම පිණිස සමාදන් කරවයි. තමාත් ලජ්ජා නැත්තේ වෙයි. අන්‍යයන් ද ලජ්ජාව නැති කිරීම පිණිස සමාදන් කරවයි. තමාත් පවට භය නැත්තේ වෙයි. අන්‍යයන් ද පවට භය නැති කිරීම පිණිස සමාදන් කරවයි. තමාත් කුසීත වෙයි. අන්‍යයන් ද කුසීත බව පිණිස සමාදන් කරවයි. තමාත් මුළා සිහි ඇත්තේ වෙයි. අන්‍යයන් ද සිහි මුළා කිරීම පිණිස සමාදන් කරවයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සැදැහැ ඇත්තේ වෙයි. ලජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. සිත් ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වූයේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමාත් සැදැහැ ඇත්තේ වෙයි. අන්‍යයන් ද ශ්‍රද්ධාව ඇති කිරීම පිණිස සමාදන් කරවයි. තමාත් පවට ලජ්ජා ඇත්තේ වෙයි. අන්‍යයන් ද ලජ්ජාව ඇති කිරීම පිණිස සමාදන් කරවයි. තමාත් පවට භය ඇත්තේ වෙයි. අන්‍යයන් ද පවට භය ඇති කිරීම පිණිස සමාදන් කරවයි. තමාත් පටන් ගත් වීර්යය ඇත්තේ වෙයි. අන්‍යයන් ද ආරද්ධ වීරිය පිණිස සමාදන් කරවයි. තමාත් සිහි ඇත්තේ වෙයි. අන්‍යයන් ද සිහිය පිණිස සමාදන් කරවයි. තමාත් ප්‍රඥාවන්ත වූයේ වෙයි. අන්‍යයන් ද ප්‍රඥාවෙහි සමාදන් කරවයි.

මහණෙනි, මොහු සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.