Print this Article


ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 04 කොටස

I කොටස

ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

01.

I බුදුසමයට අනුව සියලුම ධර්ම බෙදෙන කොටස් දෙක නම් කරන්න.

අ) ආ)

II ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් බැහැර කළ යුතු අන්ත දෙක දක්වන්න.

අ) ආ)

III.පටිච්චසමුප්පාද ධර්මයේ එන ණය ක්‍රම දෙක නම් කරන්න.

අ) ආ)

IV. ස්කන්ධ පංචකය බෙදිය හැකි කොටස් දෙක නම් කරන්න.

අ) ආ)

V. පරිනිර්වාණ ධාතු දෙක නම් කරන්න.

අ) ආ)

VI. තෙවැදෑරුම් වේදනා දක්වන්න.

අ) ආ) ඉ)

VII. ත්‍රිලක්ෂණය නම් කරන්න.

අ) ආ) ඉ)

VIII. තුන්තරා බෝධිය නම් කරන්න.

අ) ආ) ඉ)

IX. අප්පමඤ්ඤා සතර දක්වන්න.

අ) ආ)

ඉ) ඊ)

X. පහත සඳහන් ගාථා පාදය ඇතුළත් ගාථාව සම්පූර්ණ කර ලියන්න. “න කහාපණවස්සේන - තිත්ති කාමේසු විජ්ජති” එම ගාථාවේ තේරුම ලියන්න.

II කොටස

02.

I. චතුරාර්ය සත්‍යය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය එම සත්‍යවලට අදාළ වන පරිද්දෙන් දක්වන්න.

II. දුක ඇතිවීමට හේතු වන ආර්ය සත්‍ය නම් කර, එහි ප්‍රභේද ද දක්වා ඒවා හඳුන්වන්න.

III. “නිර්වාණයත්, නිර්වාණගාමී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයට ම ය.” මෙම ප්‍රකාශය ආර්ය සත්‍යය දේශනාව මඟින් පැහැදිලි කරන්න.

03.

I. ආත්මවාදී ඉගැන්වීම්වලට අනුව පුද්ගලයා මරණයෙන් පසු උපදින ස්ථාන දක්වන්න.

අ) ආ)

II. “ආත්මවාදී සංඥාව බැහැර කරන බුදුසමය දෘෂ්ටි කෝණ තුනකින් සත්ත්වයා පිළිබඳ යථාර්ථය ඉදිරිපත් කරයි.” එම දෘෂ්ටි කෝණ තුන නම් කර, කෙටියෙන් පැහැදිලි කරන්න.

III. “භෞතික ලෝකයේ ජීව - අජීව සියල්ල ම සෑදී ඇත්තේ භූත රූප සතර මුල් කරගෙන ය.” එම භූත රූප දක්වා, ඒවායේ ස්වභාවය පෙන්වා දෙන්න.

04.

I. බුදුරජාණන් වහන්සේ විසින් භාරතයේ පැවති හේතුඵලවාදී ඉගැන්වීම් මූලික කොටස් හතරකට බෙදා, ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. ඒ කොටස් හතර නම් කරන්න.

II. එකී වාදවලින් වාද දෙකක ස්වභාවය හඳුන්වා දෙන්න.

III. පටිච්චසමුප්පාද ධර්මය දේශනා කිරීමේ මූලික අරමුණු දක්වා, මහාවග්ගපාලියේ සඳහන් වන පරිදි ද්වාදසාංග පටිච්චසමුප්පාදය ඉදිරිපත් කරන්න.

05.

I. බුද්ධකාලීන ෂඩ් ශාස්තෘවරුන් අතර කර්මවාදය හා පුබ්බේකත හේතුවාදය ප්‍රතික්ෂේප කළ ශාස්තෘවරුන් නම් කරන්න.

II. “චේතනාවට මුල්තැන දී කර්මය විවරණය කිරීම බුදුසමයේ මූලික ලක්ෂණයකි.” පැහැදිලි කරන්න.

III. විපාක දෙන පිළිවෙළ අනුව කර්මයේ ප්‍රභේද දක්වා, ඒවායින් දෙකක් හඳුන්වන්න.

06.

I. කුසලමූල හා අකුසලමූල නම් කරන්න.

II. දස කුසල් දක්වා, ඒවා ද්වාරත්‍රයට බෙදා දක්වන්න.

III. අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙන කුසල - අකුසල විනිශ්චය කිරීමේ නිර්ණායක දක්වා, ඒවා නොසලකා හැරීම පුද්ගල හා සමාජ පරිහානියට හේතු වන බව පෙන්වා දෙන්න.

07.

I. ‘බෝධි’ නමින් හැඳින්වෙන ලෝකෝත්තර මාර්ග ඥාන නම් කරන්න.

II. ඉන්ද්‍රිය ධර්ම නම් කර, ඒවාට එම නම ව්‍යවහාර කිරීමේ හේතුව සැකෙවින් දක්වන්න.

III. සතර සතිපට්ඨාන ධර්ම වැඩීමේ අනුසස් දක්වා, චිත්ත දමනය සඳහා චිත්තානුපස්සනාව පිහිට කර ගත හැකි ආකාරය පෙන්වා දෙන්න.

08.

I. බුදුසමයේ දැක්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක දක්වා, පඤ්ච අභිඥාන හා අෂ්ට සමාපත්ති උපදවා ගත හැකි භාවනාව හඳුන්වන්න.

II. භාවනාව සඳහා අරමුණු කර ගත යුතු දසකසිණ නම් කර, ඉන් දෙකක් සැකෙවින් හඳුන්වන්න.

III. කර්මය හා කර්ම විපාකය පිළිබඳ ඇති අවබෝධය මඟින් පුද්ගලයා සතු දුර්වලතා මඟහරවා ගෙන යහපත් වැඩදායි නිවැරැදි ජීවිතයක් උදා කර ගත හැකි ආකාරය සාකච්ඡා කරන්න.


 

පිළිතුරු

I කොටස

01. I. අ) සංඛත ආ) අසංඛත

II. අ) කාමසුඛල්ලිකානුයෝගය

ආ) අත්තකිලමථානුයෝගය

III. අ) අනුලෝම

ආ) පටිලෝම

IV. අ) නාම

ආ) රූප

V. අ) සෝපධිසේස නිබ්බාන ධාතු

ආ) අනුපධිසේස නිබ්බාන ධාතු

VI. අ) සුඛ වේදනා ආ) දුක්ඛ වේදනා ඉ) අනාත්ම

VII. අ) අනිත්‍ය ආ) දුක්ඛ ඉ) අනාත්ම

VIII. අ) බුදු ආ) පසේබුදු ඉ) මහරහත්

IX. අ) මෙත්තා ආ) කරුණා ඉ) මුදිතා ඊ) උපේක්ඛා ය.

X. “න කහාපණවස්සේන - තිත්ති කාමේසු විජ්ජති අප්පස්සාදා දුඛා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ”

“මිනිසාට කහවනු වැස්සකිනුත් කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. මේ නිසා කාමයෝ සිහිනයෙන් පානය කළ පැනක් මෙන් මඳ ආස්වාද ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. පණ්ඩිතයා නුවණින් දැන ගත යුතු ය.”

II කොටස

02. I. දුක්ඛාර්ය සත්‍ය - පරිඤ්ඤෙය්‍ය (පිරිසිඳ දැනගත යුතු ය.)

දුක්ඛ සමුදයාර්ය සත්‍ය - පහාතබ්බ (ප්‍රහාණය කළ යුතු ය.)

දුක්ඛ නිරෝධාර්ය සත්‍ය - සච්ජිකාතබ්බ (සාක්ෂාත් කළ යුතු ය.)

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය - භාවේතබ්බ (වැඩිය යුතු ය)

II. අ) කාම තණ්හා - රූප ශබ්දාදි පංචකාම වස්තුන්හි ඇලීම් බැඳීම් ඇති කර ගන්නා තණ්හාව.

ආ) භව තණ්හා - රූප, අරූප භාවයන්හි ඇලීම හා ධ්‍යාන පිළිබඳ සියුම් ඇල්ම.

ඉ) විභව තණ්හා - සත්ත්වයා මරණින් මතු යළි ඉපදීමෙන් මේ ජීවිතයෙන් ම අවසන් වන්නේ ය යන උච්ඡේද දෘෂ්ටිය සමඟ ඇතිවන තණ්හාව.

III. දුකින් මිදීම නිවනයි. එය අයත් වන්නේ නිරෝධ සත්‍යයට යි. එම දුකින් මිදීම සඳහා ක්‍රමික පිළිවෙතක යෙදිය යුතු ය. ඒ පිළිවෙත් මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නැතහොත් මධ්‍යම ප්‍රතිපදාවයි. එය අයත් වන්නේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා මාර්ගයට යි. දුක නැති කිරීමත් සිදුකළ යුත්තේ දුකක් ඇති නිසා ය. එය දුක්ඛ සත්‍යය යි. දුක ඇති වීමට ද හේතුවක් තිබිය යුතු ය. එය සමුදය යි. මේ අනුව නිර්වාණයත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් අයත් වන්නේ ප්‍රධාන වශයෙන් ම චතුරාර්ය සත්‍ය පදනම් කර ගෙනය.

03. I. ස්වර්ගය නිරය

1. ස්කන්ධය - පුද්ගලයා, සත්ත්වයා බුදු දහම ගොඩවල් (බන්ධ) පහකට බෙදා දක්වා ඇත. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, මේ පහ එකතු කොට පංචස්ඛන්ධයයි කියයි. මේ ස්කන්ධ පහ වෙන් වෙන් වශයෙන් ගෙන පරීක්ෂා කිරීමේ දී සත්ත්වයෙක් නැත. ඇත්තේ සම්මුති මාත්‍රයක් පමණි. එසේම මේ ස්කන්ධ පහ රථයක අවයවවලට උපමා කරමින් පරමාර්ථික එබඳු සත්ත්වයකු නැති බව දන්වා ඇත.

2. ආයතන - ආත්ම සංකල්පය ප්‍රතික්ෂේප කරන බුදු සමය පුද්ගලයා වශයෙන් පමණක් නොව තවදුරටත් ආයතන වශයෙන් ද බෙදා දක්වයි. මෙහිදී චක්ඛු ආදී දොරටු සයත්, රූපාදී අරමුණු හයත් එකතු කොට ආයතන නාමයෙන් හඳුන්වයි. මේ මඟින් චක්ඛු ආදී විඤ්ඤාණ සයත්, ඒ හා සම්බන්ධ චෛතසිකත් පහළ වීමෙන් සත්ත්වයා අනන්ත සසර ගමන් කරවයි. සසර දුකට පත්කරයි.

එසේ සසර ගමන් කරවීමට චිත්ත - චෛතසික ධර්ම උත්සාහ ගන්නා නිසාත් ඒ අනුව සසර දිගින් දිගට ගමන් කරවන නිසාත් චක්ඛු ආදී දොළසට ආයතන නම ව්‍යවහාර කෙරේ.

3. ධාතු - ධාතු දහඅටකි. සත්ත්වයා විසින් චක්ඛු ආදිය උසුලන දරන බැවින් ධාතු යන වචනය ධර්මයේ සඳහන් වෙයි. එසේම මේ ධාතුන් සත්ත්වයාට සසර දුක ඇති කරවන යන අර්ථයෙන් ධාතු වන බව කියැවේ. ආයතන වශයෙන් දොළසකට බෙදන ලද ඉන්ද්‍රිය හා අරමුණුවලට ඉන්ද්‍රිය විඥානය එක් කිරීමෙන් ධාතු දහ අටක් වෙයි. මෙම ධාතු විභාගයෙන් නිස්සත්ත නිජ්ජිව භාවය ද ප්‍රකට කෙරේ.

ඪඪඪ. 1. පඨවි 2. ආපෝ 3. තේජෝ

4. වායෝ

පඨවි - මෘදු බව, තද බව, රළු බව ලක්ෂණ කොට ඇත්තේ පෘථිවියයි.

ආපෝ - වැගිරෙන ස්වභාවයෙන් යුක්ත වන්නේ ආපෝ ධාතුවයි.

තේජෝ - උණුසුම් ස්වභාවය, දැවෙන ගතිය සිසිල් බව තේජෝ ධාතුවයි.

වායෝ - ඉන්ද්‍රිය සම්බන්ධ වූ හෝ නොවූ කොතැනක හෝ පවතින සැලෙන ගතිය, පිපෙන ගතිය වායෝ ධාතු නම් වේ.

04. I.

1. සයංකතං දුක්ඛං - සයංකත වාදය

2. පරංකතං දුක්ඛං - පරංකත වාදය

3. සයංකතං පරංකතං දුක්ඛං - සයංකත පරංකත වාදය

4. අසංයංකාරං අපරංකාරං - අසයංකාර අපරංකාර වාදය

II. සයංකත වාදය - හේතුව හා ඵලය අතර වෙනසක් දැක්විය නොහැකි බව ප්‍රකාශ කිරීම සයංකත වාදයයි.

පරංකත වාදය - හේතුව එකකි. ඵලය අනෙකකි. හේතුව හා ඵලය අතර සම්බන්ධයක් නැතැයි ඉගැන්වෙන්නේ පරංකත වාදයෙනි.

සයංකත පරංකත වාදය - සයංකත හා පරංකත වාද දෙකේම මිශ්‍රණයක් ලෙස මෙය හැඳින්විය හැකි ය. හේතුවත් ඵලයත් එකකි. එමෙන්ම දෙකකි. හේතුව හා ඵලය අතරට සම්බන්ධයක් ඇත්තාක් මෙන්ම නැත්තේ ද වෙයි. අන්ත දෙකක් එකට සම්බන්ධ කර ඇති බැවින් උභතෝවාදය ලෙසින් ද හැඳින්වෙයි.

අසයංකාර අපරංකාර - හේතුඵල සම්බන්ධයකින් තොරව සියල්ල සිදුවන බව ප්‍රකාශ කරන වාදය අසයංකාර, අපරංකාර වාදයයි. බුද්ධකාලයේ විසූ මක්ඛලීගෝසාල වැනි අය මෙවැනි දෘෂ්ටියක් ගත් අය වෙයි.

III.

1. සන්තානගත දුක

2. සමාජගත දුක ඇතිවන ආකාරය විවරණය කිරීම.

සන්තානගත දුක හා සමාජගත දුක නැතිවන ආකාරය දැක්වීම.

අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්ස පච්චයං, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවනස්සති, ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

05.

I.

1. පූර්ණ කස්සප

2. අජිත කේසකම්බල

3. මක්ඛලි ගෝසාල

4.ජෛන මහාවීරතුමා පුබ්බේකත හේතු වාදය ප්‍රතික්ෂේප කළ අය වෙති.

II. නිබ්බේධික පරියාය, චුල්ලකම්ම විභංග වැනි සූත්‍රවලට අනුව බුදුරජාණන් වහන්සේ චේතනාවට මුල්තැන දී කර්මය විවරණය කළහ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, යං චේතයිත්වා කම්මං කරෝති. කායෙනවා වාචාය වා මනසායවා. මෙයින් කියවෙන්නේ කර්මය සංචේතනික බවයි. තිදොරින් කරන ක්‍රියා කුසල අකුසල වශයෙන් නම් කෙරේ. ලෝභ, දෝෂ, මෝහ මුල් වීමෙන් අකුසල චේතනා ද අලෝභ - අදෝස - අමෝහ මුල්වීමෙන් කුසල චේතනා ද පහළ වෙයි.

III. 1. ගරුක කර්ම 2. ආසන්න කර්ම

3. ආචිණ්ණ කර්ම 4. කටත්තා කර්ම

ගරුක කර්ම - බලවත් වූ කුසල කර්ම හා අකුසල කර්ම ගරුක කර්ම නම් වේ. රූපාවචර, අරූපාවචර ලබා ඒවායින් නොපිරිහී මියගිය විට උපතක් ලබයි ද කුසල පක්ෂයේ ගරුක කර්මයි. පංචානන්තරිය කර්ම සිදුකර අපායේ උපන්විට එය ගරුක අකුසල කර්මයි.

ආසන්න කර්ම - මරණයට ආසන්න අවස්ථාවේ දී සිදු කළා වූ හෝ කලින් සිදු කරන ලදුව මරණාසන්න අවස්ථාවේ දී නැගුණා වූ කුසල අකුසල කර්ම ආසන්න කර්ම නම් වේ.

ආචිණ්ණ කර්ම - කලක් මුළුල්ලේ ම පුරුදු කරන ලද හෝ නිරන්තරයෙන් සිහිකරන ලද කුසල කර්ම ආචිණ්ණ කර්ම නම් වේ. ගරුක කර්මය හෝ ආසන්න කර්මයක් නැති විට ආචිණ්ණ කර්මයක් විපාකදීම ස්වභාවයයි.

කටත්තා කර්ම - බලවත් චේතනා ශක්තියකින් තොරව සිදුකරන ලද කුසලාකුසල කර්ම කටත්තා කර්ම නම් වේ. ඇත්තේ ක්‍රියා මාත්‍රයක් පමණි. ප්‍රතිසන්ධියක් ලබා දීමට තරම් ශක්තියක් නැති දුර්වල කර්මයි. ගරුක, ආසන්න, ආචිණ්ණ කර්ම ඉදිරිපත් නොවන අවස්ථාවල දී මෙවැනි කර්මවල ප්‍රවෘත්ති විපාක ලැබේ.

06.

I. කුසල මූල

1. අලෝභ 2. අදෝස 3. අමෝහ

අකුසල මූල

1. ලෝභ 2. දෝෂ 3. මෝහ

II. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, මේවා කයින් සිදුවන ක්‍රියා වේ. බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, හිස්වචන කීමෙන් වැළකීම, නපුරු වචන කීමෙන් වැළකීම, මේවා වචනයෙන් සිදුවන ක්‍රියා වේ.

අභිධ්‍යා

ව්‍යාපාද

මිථ්‍යා දෘෂ්ටිය යන මේවායින් වැළකීම සිතින් සිදුවන ක්‍රියා වේ.

III.

1. තමන් මුල් කරගෙන

(අත්තව්‍යාධාය සාවත්තති)

2. අනුන් මුල් කරගෙන

(පරව්‍යාධාය සාවත්තති)

3. තමන් හා අනුන් මුල්කරගෙන (උභයව්‍යාධාය සාවත්තති)

පුද්ගලයා, සමාජය ඒ හා බැඳුණු උභය පාර්ශ්වයට අයත් දියුණුව හෝ පරිහානිය පවතින්නේ කරන්නා වූ ක්‍රියාදාමයන් මත ය. යහපත් ක්‍රියාව ඒ සෑම පාර්ශ්වයක් ම ආරක්ෂා කරන්නා සේ අයහපත් ක්‍රියා ඒ සෑම පාර්ශ්වයක් ම විනාශය කරා යොමු කරවයි. හොඳ හෝ නරක තේරුම් නොගෙන කටයුතු කිරීම නිසා පුද්ගල හා සමාජ එකතුව ලෞකික ලෝකෝත්තර උභය දියුණුවෙන් ම පරිහානියට පත්වෙයි.

07. I.

1. සෝවාන් මාර්ග ඥානය

2. සකෘදාගාමී මාර්ග ඥානය.

3. අනාගාමී මාර්ග ඥානය.

4. අරහත් මාර්ග ඥානය.

II.

1. සද්ධින්ද්‍රිය 2. විරියින්ද්‍රිය 3.සතින්ද්‍රිය 4. සමාධින්ද්‍රිය

5. පඤ්ඤින්ද්‍රිය

නාම රූප ධර්මයන්ගේ අධිපති බව පවත්වන්නා වූ ධර්ම ඉන්ද්‍රිය නමින් හඳුන්වනු ලැබේ. අධිපතිබව නම් අන්‍යධර්මයන් තමාට අනුකූල කරවා ගැනීමයි.

III.

1. සත්ත්වයන්ගේ පිරිසුදු වීම පිණිස.

2. ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස.

3. දුක්දොම්නස් දුරලීම පිණිස.

4. ආර්ය මාර්ගයට පිවිසීම පිණිස.

5. නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස.

සිත අනුව බලමින් භාවනා කිරීම චිත්තානුපස්සනාවයි. විවිධ අරමුණු කරා ගමන් කරන සිත මෙම චිත්තානුපස්සනාව මඟින් එක අරමුණක පිහිටුවා ගැනීමට පුළුවනි. චිත්ත ප්‍රභේදවල එන සරාග, සදෝස, සමෝහ අසමාහිත ප්‍රභේද නිදසුන් කර ගනිමින් සිත පිහිටුවා ගන්නා ආකාරය පෙන්වා දිය හැකි ය.

08. I.

1 සමථ භාවනාව

2. විදර්ශනා භාවනාව

මේ ක්‍රම දෙකෙන් පංච අභිඥාන සහ අෂ්ට සමාපත්ති උපදවා ගන්නා වූ භාවනාව සමථ භාවනාවයි.

II.

1. පඨවි කසිණය 2. ආපෝ කසිණය 3. තේජෝ කසිණය 4. වායෝ කසිණය 5. නීල කසිණය 6. පීත කසිණය 7. ලෝභිත කසිණය 8. ඕදාත කසිණය 9. ආකාස කසිණය 10. ආලෝක කසිණය

III. පුද්ගලයන් සතු දුර්වලතා පූර්ව කෘත කර්ම හේතුවෙන් සිදුවන අයුරු බුදුදහම පෙන්වා දෙයි. එහෙත් ඒ සෑම දුර්වලතාවක් ම කර්ම මඟින් සිදු නොවන බව ද තේරුම්ගත යුතු ය. ධම්මපදට්ඨ කථාවේ එන චක්ඛුපාල, කාල යක්ෂණී කතන්දර මඟින් පෙර කරන ලද අකුසල කර්ම නිසා මෙම ජීවිතයේදීත් යම් යම් කටුක විපාක ලද බව ඒවායින් කියැවෙයි. ඒවා නිදර්ශන වශයෙන් රැගෙන අප ජීවිතවලට ද එකතු කර ගැනීමෙන් අයහපත් හා යහපත් කර්ම හඳුනාගෙන අයහපත් කර්ම බැහැර කර යහපත් කර්ම කෙරෙහි පුද්ගලයා යොමු වීමෙන් තමා සතු දුර්වලතා මඟහරවා ගැනීමට පුළුවන් වෙයි.

උදාහරණයක් වශයෙන් බොරු කීම, වැරැදි බව වටහාගත් පුද්ගලයා එයින් මිදුණු කල සමාජයේ විශ්වසනීය පුද්ගලයකු බවට පත්වෙයි.