Print this Article


කෝපයට ඔසුවක්

කෝපයට ඔසුවක්

ඕ ධනඤ්ජානී ය. රජගහනුවර උසස් බමුණු කුලයක කාන්තාවකි. අක්කෝස, භාරද්වාජ බමුණා ඇයගේ ස්වාමි පුරුෂයා ය. මහත් භක්තියෙන් බ්‍රහ්මයන් අදහන මේ බමුණා බුදුන් වහන්සේගේ ධර්මය නුරුස්සනා කෙනෙක් විය. කෙසේ හෝ ධනඤ්ජානි බැමිණියට බුදුන් වහන්සේගේ ධර්මය ඇසීමේ වාසනාව උදාවිය.

ඇය එම ධර්මය අසා සෝවාන් භාවයට ද පැමිණියා ය. යම්කිසි සුළු විපතක දී වුවත් ඇය තෙරුවන් සිහි කිරීමට අමතක නොකළා ය. මෙය බමුණා මහත් සේ කෝප කරවන්නක් වුවත් එයට කළ හැකි දෙයක් ද නොවීය.

ධනඤ්ජානී බැමිණිය නොයෙක් අවස්ථාවල බුදුපාමොක් මහ සඟනට දන් පිරිනැමුවා ය. මෙයට ද බමුණා තරයේ විරුද්ධ වුවත් බැමිණිය අමනාප කර ගැනීමට අකැමැති නිසා නිශ්ශබ්දව සිටියේ ය. සිතින් බැමිණියට ද්වේෂ කරමින් ඔහු එදිනට ගෙදරින් පිටව යන්නේ එය බලා සිටිය නොහැකි නිසා ය.

බමුණ ද නිතර දන් දෙයි. ඒ බමුණන්ට ය. සෝවාන් භාවයට පත් බැමිණිය දන්දීමේ ආනිසංස හොඳින් දන්නී ය. කාට හෝ දන්දීම යහපත් දෙයකි'යි සිතයි. එනිසා මහත් ඕනෑකමකින් සියතින් ම දානය පිළියෙළ කරන ඇය තම සැමියා හා එක්ව බමුණන්ට ද සංග්‍රහ කරයි.

බමුණන්ට දන් දෙන දිනයක් ළං විය. එදිනට පෙර දින බමුණා බැමිණියට අවවාද දෙමින් “හෙට දිනයේ වත් අර මුඩු මහණාට කරන නමස්කාරය නතර කරව, බමුණාට මේ පිළිබඳ අසන්නට ලැබුණොත් මිසදිටු ගෙයකැයි, අපට අවමන් කොට, ආහාරත් නොගෙන යන්නට යාවි’යි කීවේ ය.

බමුණන්ට දානය දෙන දිනය උදාවිය. නිවෙස අලංකාර ව සරසන ලදී. රසමුසු අහරවල සුවඳින් මුළු ගෙය ම සුවඳවත් වී ඇත. බමුණා මෙන්ම බැමිණිය ද අගනා වතින් සැරසුණහ. බමුණන් පන්සිය දෙනාම ආදරයෙන් පිළිගත් අක්කෝසක භාරද්වාජ බමුණා ඔවුන් සමඟ සතුටු සාමිචියෙහි යෙදී දානය සඳහා ආරාධනා කළේ ය.

බැමිණිය ද ආහාර බෙදමින් එහි කටයුතු ඉටු කළා ය. හදිසියේ ම පයෙහි මහත් වේදනාවක් ඇතිවිය. එය ඉවසාගත නොහැකි වූ ඇයගේ මුවින් “නමෝ තස්ස භගවතෝ” යනාදි පාඨය පිට වූයේ ඇයට ද නොදැනුවත්ව ය.

මේ වදන් බමුණාගේ හිසට වැදුණු හෙන පහරක් බඳු විය. කෝපයෙන් බත් තැටි එතැන ම බිමට හෙළූ බමුණෝ තූ, තූ ගාමින් කටට ගත් බත් පිඬු ද ඉවත ලා

“අප මේ ඇවිත් තිබෙන්නේ මිසදිටු ගෙයකට නේද”යි බමුණාට නොසෑහෙන ලෙස නින්දා පරිභව කරමින් එතැනින් පිටවූවෝ ය.

අක්කෝස භාරද්වජ බමුණාට කරකියා ගතහැකි දෙයක් නොවීය. හෙතෙම හිතෙහි පැවති කෝපය පිට කළේ බැමිණියට අක්‍රෝශ පරිභව කරමිනි. තිට ඊයේ සිට ම මම කීවා නොවේ ද? අද දිනයේවත් කට පරිස්සම් කර ගෙන ඉන්නට කියා. තිගේ ඔය කට නිසා මට තවත් ඒ බමුණන්ගේ ඇසුර ලැබෙන්නේ නැහැ. මට වූ විපත. මේ විපත සිදු වූයේ ශ්‍රමණ ගෞතමයන් නිසා. මම දැන්ම ඔහු කරා ගොස් ඔහු සමඟ වාද කරමි. ඔහුට නිග්‍රහ කොට ජය ගනිමි. ඔහුට හොඳ පාඩමක් උගන්වමි'යි කීවේ ය.

එවිට බැමිණිය දොහොත් මුදුන් දී වේළුවන වෙහෙර දෙසට වැඳගෙන “මාගේ ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමඟ වාද කොට ජය ගැනීමට සමත් දෙවියෙක් බ්‍රාහ්මණයෙක් හෝ මාරයෙක් මෙලොව නැහැ. ඔබ කැමැති නම් ගොස් බලන්න” යැයි කීවා ය.

බමුණා කෝපයෙන් පිපිරෙමින් අහර ද නොගෙන බුදුන්වහන්සේ හමුවීමට පිටව ගියේ ය. යන අතරමග දී වාදය සඳහා ප්‍රශ්නයක් ද සොයා ගත්තේ ය.

තමාට වූ නින්දාව වරින්වර සිහියට නැගී බුර බුරා නැගෙන කෝපය සඟවා ගෙන බුදුන් වහන්සේ සමඟ පිළිසඳර කතා කළ බමුණා තමාගේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ ය.

ගෞතමයාණෙනි, කුමක් නසා සුව සේ නිදයි ද? ගෞතමයාණෙනි, කුමක් නසා ශෝක නොවෙයි ද? කිනම් එකම දහමක් ඇසීම යහපත් ද?

බමුණාගේ ආවේගශීලී සිත බුදු නුවණට වැටහිණි. අප බුදු පියාණෝ ඒ ප්‍රශ්න සියල්ලට පිළිතුරු සැපයුවේ කරුණා භරිතව ය.

“බමුණ, ක්‍රෝධය නසා සුව සේ නිදයි. ක්‍රෝධය නසා ශෝක නොකරයි. විසක් බඳු දුකට, විපතට මුල් වූ ක්‍රෝධය නැසීම ආර්යයෝ පසසති.”

සිතට කාවදින ලෙස බමුණාගේ පැනයට පිළිතුරු ලැබිණි. ඔහුගේ කෝපය සංසිඳිණි. කෝපයට නිසි බෙහෙත ලැබිණි.

බුදුපියාණෝ තවදුරටත් ඔහුට දහම් දෙසූ සේක. උන්වහන්සේ මිහිරි ලෙස බමුණාගේ සිතට සරිලන ලෙස දෙසූ ධර්මයෙන් සිත පිනා ගියේ ය. බමුණා තෙරුවන් සරණ ගොස් බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්විය. බුදුන් වහන්සේට ප්‍රශංසා කොට පැවිද්ද ද ලබා ගත්තේ ය. නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා අරහත් භාවයට පැමිණියේ ය.