Print this Article


අසමසම නායකයාණෝ

අසමසම නායකයාණෝ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතය පුරාම දකින්නට ඇති සුවිශේෂ ගුණාංගයකි. නිර්ව්‍යාජ බව.

උන්වහන්සේ තමන් වහන්සේ නායකයා යැයි සිතට ගෙන තම සවුවන් පාලනය කිරීමට කටයුතු නොකළ සේක. පුද්ගල නිදහස බොහෝ අගය කළ උන්වහන්සේ විනය නීති පනවන ලද්දේ සඟ සසුනේ කල් පැවැත්ම සඳහාම විනා, සඟ සසුන සංස්ථාවක් වශයෙන් ගොඩනැඟීමේ අරමුණින් නොවේ.

උන්වහන්සේගේ අරමුණ වී තිබුණේ නීතිරීති උපයෝගී කොට ගෙන සංඝයා වහන්සේ හික්මවීම නොව සත්‍ය අවබෝධ කරදීම තුළින් තමා ම හික්මවා ගැනීමට මෙහෙයවීම ය.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නායකයා ය යන්න හුවා දැක්වීම සඳහා කිසිදු අවස්ථාවක කටයුතු නොකළහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට දින නියම කළ බව අසා පැමිණි අනඳ තෙරුන් වහන්සේ

“ඔබ වහන්සේ නොමැති විට නායකයකුගෙන් තොරව සඟ සසුන පිරිහී යනු ඇතැයි” පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ

“ආනන්දය මා විසින් ඉටුකළ යුතු යුතුකම් ඉටු කොට අවසානයි. මගෙන් පසු තොපට මඟ පෙන්වීමට ධර්මය තිබේ. මා දෙසූ ධර්මය ම ගුරු කොට ගන්න. ධර්මකාමී, ශික්ෂාකාමී සංඝයා ලොව ජීවත්වන තාක් කල් බුදුසසුන සුරැකිව පවතිනු ඇත” යන්නයි.

බුදුරජාණන් වහන්සේගේ අල්පේච්ඡතාව මෙන්ම ඍජු නායකත්වය ද හෙළිකරන තවත් කරුණක් නම් උන්වහන්සේ කිසිදු අවස්ථාවක තමන් වහන්සේ නායකයා යැයි අමුතු පෙනුමක් ආරූඪ කර නොගැනීමයි. උන්වහන්සේගේ චීවරය අන් භික්ෂූන් භාවිත කළ සිවුරු මෙන් දළ සිවුරක් විය. අංගුලිමාල බුදුරජාණන් වහන්සේ දුටු විගස මුඩු මහණකු ලෙස සිතා ගැනීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ විශේෂ ඇඳුම් පැළඳුම් හෝ ආටෝපයකින් සමන්විත නොවූ බවයි.

වරක් බුදු සසුනෙහි පැහැද දුර බැහැර වාසය කළ පුක්කුසාති නම් තවුසෙක් විය. ඔහුට බුදුරජාණන් වහන්සේ සියැසින් ම දැක ගැනීමට ආශාවක් ඇති විණි.

බුදුරජාණන් වහන්සේ මේ දිනවල රජගහනුවර වැඩ වාසය කරන බව ආරංචි වූ පුක්කුසාති තවුසා පා සිවුරු ගෙන තම සෙනසුනින් පිටත්ව රජගහනුවර බලා යන්නට විය. බුදුරජාණන් වහන්සේ ද රජගහනුවර ජනපද චාරිකාවෙහි යෙදී පුක්කුසාති තවුසා ගිය මගට වැඩියහ.

අතරමග දී රාත්‍රිය එළැඹි හෙයින් පුක්කුසාති තවුසා භග්ගව නම් වළං තනන්නකු ගේ ශාලාවෙහි රාත්‍රී නවාතැන් ගත්තේ ය. ටික වේලාවකින් ම තවත් භික්ෂුන් වහන්සේ නමක් ද රාත්‍රිය ගත කිරීම සඳහා එම ශාලාවට වැඩම කළහ. පුක්කුසාති හා පිළිසඳරෙහි යෙදුණූ පසුව එසේ පැමිණි භික්ෂූන් වහන්සේ

“ඔබ කොහේ යන්නේදැ”යි ඔහුගෙන් විමසීය.

“මම බුදුරජාණන් වහන්සේ බැහැ දකිනු පිණිස රජගහනුවරට යන්නෙමි. උන්වහන්සේ වෙනුවෙන් දිවි කැපකොට කලක් ගත වුව ද තවමත් මට සියැසින් ම උන්වහන්සේ දැක බලා ගන්නට අවස්ථාවක් නොවීය. එහෙයින් මම උන්වහන්සේ දැක ගන්නට යමි.”

දෙදෙනාගේ පිළිසඳර අවසන් වූයේ භික්ෂූන් වහන්සේ විසින් පුක්කුසාතිට ධර්ම දේශනා කිරීමෙනි. මෙබඳු බුද්ධි මහිමයක් හිමි මේ භික්ෂූන් වහන්සේ අන් කිසිවකු නොව බුදුන්වහන්සේ ම බව ධර්ම දේශනාව අවසානයේ දී පුක්කුසාති තවුසාට අවබෝධ විය.

“අමා මෑණියනි, මම ඔබ වහන්සේ නොහැඳින කළ – කී දෙයක් වේ නම් සමා වනු මැනවි’යි පුක්කුසාති තවුසා බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණේ ය.

බුදුන් වහන්සේ තමන්ගේ ම සවුවකුට පවා වෙන් කොට හඳුනාගත නොහැකි තරමට කොතරම් චාම් පුද්ගලයකු වී ද යන්නට මෙම කතා පුවත ප්‍රබල සාක්ෂියකි.

එපමණක් නොව යම් හේතුවක් නිසා උන්වහන්සේ වරක් තම දළ චීවරය වෙනත් භික්ෂුවකට දී එම භික්ෂුවගේ චීවරය ඉල්ලාගෙන හැඳගත් බව පවා ත්‍රිපිටකයේ එක් තැනක සඳහන් වේ.