Print this Article


භික්ෂුව පිටුපස කුණ්ඩධානියක්

භික්ෂුව පිටුපස කුණ්ඩධානියක්

“බුදු දහම රැක ගනිමු දුස්සීලයන් පන්නමු” ඒ වර්තමානයේ බෞද්ධ ප්‍රතිරූපකයන්ගේ සටන් පාඨයයි. විවිධ මාධ්‍ය හරහා ඔවුහු මහ සටනක නිරත වෙති. කවදාටත් වඩා බුදු දහමේ ආරක්ෂකයන් වී ඇත. මෙසේ කියන වුන් බෞද්ධයන් දැයි ගැටලුවක් උපදියි. ඒ කරුණු දෙකක් අරභයායි.

ඉන් එක් කරුණක් නම් මොවුන්ට භික්ෂූන් කෙරෙහි , විහාරස්ථාන කෙරෙහි, විහාරස්ථානවල සිදුවන ආගමික චාරිත්‍ර විධි කෙරෙහි, වැඳුම් පිදුම් කරන සැදැහැවතුන් කෙරෙහි පවතින වෛරයයි. සැබෑ බෞද්ධයා වෛර නොකරයි. මෛත්‍රිය සැම වෙත ලබා දෙයි. සැබෑ බෞද්ධයා බුදු දහම ආරක්ෂා කරන්නේ තව කෙනකු ඒ දහමින් එළවා දමමින් නොව තමන් බෞද්ධ ප්‍රතිපදාව පූර්ණය කරමිනි.

බුදු දහම නසන්නට විවිධ උපක්‍රම පවතී. එය අද ඊයේ වුවක් නොවෙයි. බෞද්ධයා භේද කරන්නට කටයුතු කෙරිණි. පන්සල තුළ නොව බුදු දහම ඇත්තේ අසපුව තුළයි. ඒ නැති නම් ආශ්‍රම තුළයි. බුදුන් උපන්නේ ලක්දිවයි. ඉන්දියාවේ නොවෙයි. ආදි මතවාද ඇතිවිණි. අරමුණ වූයේ බුදු දහම රැකීම නොව බෞද්ධයා බිඳීමයි. දෙකට තුනට හතරට බෞද්ධයා බිඳ පුංචි කඳවුරු තැනීමයි. ශක්තිය දුබල කිරීමයි. තවත් විටෙක බෞද්ධ චාරිත්‍ර, වැඳුම් පිදුම් ප්‍රකාශ කරන්නට විය. තවත් විටෙක බුදු දහම විකෘති කර උගන්වන්නට විය. මේ සියල්ල සිදු වූයේ බුදු දහම රකින්නට නොව බෞද්ධ බලය බිඳින්නටයි.

මේ සියල්ල ඉවසීමෙන් බාර ගත් මෙරට භික්ෂුව නිහඬව හා අභීතව බෞද්ධයා හා බුදු දහම ආරක්ෂා කරමින් සිටියි. නාග මාණික්‍ය ගැනීමට නම් නාගයා අබල දුබල කළ යුතුයි. නාගයා මැරිය යුතුයි. අද මේ යන්නේ එම පියවරයි.

භික්ෂුව යනු සාමාන්‍ය මිනිසෙකි. සාමාන්‍ය මිනිස් සමාජය තුළ වන වැරැදි ඔහු අතින් සිදු විණි. සිදු වෙයි. එහි අරුමයක් නැත. පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම ඔහු සතු කාර්යයකි. කෙනකු බලෙන් පිරිසිදු කළ නොහැක. තමා අතින් වරදක් සිදු විණි නම්, ඒ වරද අවබෝධ කොට ගෙන එයින් මිදිය යුතු මග බෞද්ධ විනය තුළ පවති.

වරද අතරින් නිවන් දැකිය නොහැකි අරමුණ පරාජය වන වැරැදි හතරක් පාරාජිකා වශයෙන් දක්වයි. පාරාජිකා වූ භික්ෂුවක් වුව ද බලෙන් සිවුර හැරවිය නොහැක. ඔහු කැමැති නම් සිවුරු හළ හැකි ය. එසේ වරදකරුවන් ශාසනයෙන් එළවයි නම් මුලින් ම එළවිය යුතුව පැවතියේ දේවදත්ත යි. ඔහු ආනන්තරීය පාප කර්මවල යෙදුණෙකි. බුදු රජාණන් වහන්සේ දේවදත්ත හිමියන් කෙරෙහි අනුකම්පා කළ අතර ඔහු සසුනින් නෙරපා දමන්නට කටයුතු කළේ නැත. ඡන්න හිමියන් ද එවැන්නෙකි. ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය නියම කළේත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව යි.

බුදු දහමෙහි ක්‍රමවේදය වරදකරු එළවා දැමීම නොව වරද නිවැරැදි කොට ඔහුට යහ මග කියා පෑමයි. වරදින් මිදෙන්නට විනය නීති පැන වූ උන්වහන්සේ වැරැදි කරන අය අපායගාමීව විඳින දුක දක්වන ලදී. අග්ගික්ඛන්දෝපම සූත්‍රය එවන් දේශනාවකි. දුසිල්ව වාසය කිරීම තුළින් නිරයට ගොස් විඳින්නට සිදු වන වේදනාව එහි දී විවිධ නිදසුන් ගෙන දක්වයි.

‘දුසිල් මහණක්’ යැයි චෝදනා කොට භික්ෂුවක් සසුනින් නෙරපන්නට සූදානම් වූ අවස්ථාවක් කුණ්ඩධානි ජාතකය තුළින් අපට කියා දෙයි.

එක්තරා කුමාරයෙක් පැවිදි වෙයි. ඔහු බණ භාවනා කරමින් සිටියි. ඔහු ඇවිදින විට ඔහු පසුපස රුවැති කාන්තා රූපයක් ගමන් කරයි. එය ඔහුට නො පෙනෙයි. අන් අයට පෙනෙයි. එය දකින අනෙක් ගිහියෝ දුශ්ශීල භික්ෂුවකැයි ඔහුට චෝදනා කරයි. පැවිද්දෝ ද ඒ චෝදනාව කරති. මේ දුශ්ශිලයා නිසා අපටත් පාරේ බැස යන්නට නොහැකි ය. මිනිස්සු අපටත් චෝදනා කරති. ඒ නිසා මේ භික්ෂුව දෙව්රමින් එළවන ලෙස අනේපිඬු සිටුතුමන්ට දැන්වූහ. විශාකාවට දැන්වූ හ. ඔවුන් දෙපළ ම ඒ සඳහා බුදුරජාණන් වහන්සේ සිටින බවත්, එය තමන්ට අයත් කාර්යයක් නො වන බවත් දැන්විණි.

අනතුරුව කොසොල් මහ රජුට දැන්විණි.

රජු මේ භික්ෂුව පරීක්ෂා කරන්නට විය. කුටිය අසලට ගොස් භික්ෂුවට කථා කළේ ය. භික්ෂුව කුටියෙන් පිටතට එන විට රුවැති ගැහැනියක් ද පිටුපස විය. මේ කවුරුන්දැයි රජු විමසීය. එසේ කිසිවෙකුත් නැති බව භික්ෂුව කියයි. රජු කුටිය අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කරයි. ඒත් කිසිවකුත් නැත. රජු කරුණු අවබෝධ කර ගනියි. මේ භික්ෂුවට පිණ්ඩපාතයෙහි නො යන ලෙස දන්වන රජු රජ මාලිගයෙන් භික්ෂුවට දානය සපයන්නට විය.

අනෙක් භික්ෂූන්ගේ චෝදනා එයින් නො නැවතිණි. ඔවුන් චෝදනා කරන විට මේ භික්ෂුව ද ඔවුන්ට චෝදනා කරන්නට විය. අවසානයේ මේ කරුණ බුදුරජාණන් වහන්සේ වෙත ද යැවිණි.

බුදුරජාණන් වහන්සේ වදාළා මේ භික්ෂුවට මෙසේ වූයේ කර්ම විපාකයක් නිසයි. කාශ්‍යප බුදුරදුන් දවස මෙම භික්ෂුව දෙවියෙක්ව ඉපිද තිබිණි. මේ අවදියේ සිල්වත් භික්ෂූන් දෙනමක් සමගිව සිටියි. මේ සමගිය ශක්තිමත් සමගියක් දැයි පරීක්ෂා කිරීමට දෙවියන්ට අවශ්‍ය විය.

මේ භික්ෂූන් දෙනම දිනක් පොහොය විනය කර්මයට යන්නට විය. ඒ භික්ෂුන් එසේ යන අතර මඟදී එක් භික්ෂුවක් ශරීර කෘත්‍ය කරන්නට අවශ්‍යව වනයට යයි. එසේ යන විට මුලින් කී දෙවියා ගැහැනු වෙසක් ගෙන කැළයට යන්නට විය. මඟ සිටි භික්ෂුව මෙය දකියි. ශරීර කෘත්‍ය කරන්නට ගිය භික්ෂුව එන්නට ප්‍රමාද විය. කැළයට ගිය කාන්තාව රෙද්ද හදමින් යළි කැළෑවෙන් පිට විය. ඉන් අනතුරුව කැළයට ගිය භික්ෂුව ද පැමිණියේ ය.

මඟ සිටි භික්ෂුව එම භික්ෂුවට දෝෂාරෝපණය කරමින් පව්කාරයකු හා එක මඟ යන්නටත් අකැමැතිව ඔහු අතහැර යන්නට විය. අනෙක් භික්ෂුව ද පොහොය කිරීමට පොහොය ගෙට යන විට යහළු භික්ෂුව පොහොය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ මේ භික්ෂුව අපිරිසුදු බව කියමිනි. කෙසේ හෝ මේ අවස්ථාවේ දෙවියා පෙනී සිට ඒ භික්ෂුවගේ සිල්වත්කම කීව ද දෙනම අතර ඇති වූ භේදය නිමා නොවී ය. මේ නිසා දෙවියා දේවත්වය නිම වී නිරයට වැටී නිරයෙහි ද දුක් විඳ එයින් මිදී යළිත් මිනිස් ආත්මභවයක් ලබා මෙසේ පැවිදි විණි. එහෙත් කළ පාපය නිසා මෙසේ ප්‍රති විපාකයක් විඳින්නට සිදුවූ බව බුදුරජාණන් වහන්සේ දැන් වූ සේක.

වර්තමාන භික්ෂුවගේ පසු පසින් ද කුණ්ඩධානි පැමිණෙයි. භික්ෂූන් ද කල්පනාවෙන් තම පැවිදි ජීවිතය ගත කළ යුතු අතර, බෞද්ධ ගිහි බෞද්ධයනුත් මේ පිළිබඳ බුද්ධිමත්ව, අවධියෙන් සිටිය යුතු වෙයි.