Print this Article


ජීවිතය හැඬූ කඳුළින් ගෙවන්නට නොවේ

ජීවිතය හැඬූ කඳුළින් ගෙවන්නට නොවේ

තමන් උපයන, නැතිනම් හරි හම්බ කරන දේ ධාර්මික විය යුතු යි. ඒ වගේම හම්බකළ දේ වියදම් කරන ආකාරයත් ධාර්මික විය යුතුයි. මුදල් ඉපයීම, වගේම වියදම් කරන ආකාරයත් බොහොම අපහසු කාර්යයක්. හේතුව බොහෝ දෙනෙක් දුක සේ, මහන්සියෙන් නිදිමරාගෙන හරි හම්බ කරන දේ පාපකාරී, අනර්ථකාරී දේ වෙනුවෙන් වියදම් කරනවා.

යම් කෙනකුගේ යොවුන්විය, තරුණ විය කියන්නේ බොහෝ ම වටිනා කාලයක්. ඒ වටිනා කාලය, යොමු කළ යුත්තේ නොවැදගත් දේ වෙනුවෙන් නොවෙයි. වැදගත් දේ වෙනුවෙන්. ගිහියෙක් නම් ඔහු ධර්මානුකූලව රැකියාවක, ව්‍යාපාරයක යෙදී මිල මුදල්, ධන ධාන්‍යය උපයා සපයා ගත යුතුයි.

ගිහි ගෙදරක ජීවත්වන පුද්ගලයාට ගිහි ප්‍රතිපදාවක් පවතිනවා. ඒ ප්‍රතිපදාව ඉටු කරන්නට ම ඕනෑ. එනම්, ඒ පුද්ගලයා ගෘහය තුළ ජීවත්වීම සඳහා ධනය උපයන්නට අවශ්‍යයයි. ඒ වගේ ම ඉපයූ ධනයෙන් කොටසක් ඉතිරි කිරීමට ද අවශ්‍යයයි. කම්මැලි නොවී, අලස නොවී ධනය උපයන්නට ඕනෑ. තමන්ගේ ජීවිතයට සැප සම්පත් ලබන්නට නම් මහන්සි වෙලා දෑතෙ, දෙපයේ වීර්යයෙන් ධනය හරි හම්බ කරන්නට ඕනෑ.

ඒ වගේම තමන් උපයන, නැතිනම් හරි හම්බ කරන දේ ධාර්මික විය යුතු යි. ඒ වගේම හම්බකළ දේ වියදම් කරන ආකාරයත් ධාර්මික විය යුතුයි. මුදල් ඉපයීම, වගේම වියදම් කරන ආකාරයත් බොහෝම අපහසු කාර්යයක්. හේතුව බොහෝ දෙනෙක් දුක සේ, මහන්සියෙන් නිදිමරාගෙන හරි හම්බ කරන දේ පාපකාරී, අනර්ථකාරී දේ වෙනුවෙන් වියදම් කරනවා. ලාමක දේ වෙනුවෙන් වියදම් කරනවා. එසේ වියදම් කිරීම හේතුවෙන් අන්ත අසරණ බවට පත්වෙනවා. අන්න ඒ නිසා දුක සේ - මහන්සියෙන් උපයා ගන්නවාට වඩා වියදම් කරන එක අමාරු කාර්යයක්.

තමන්ට ලැබෙන්නේ කීය ද ඒ දේ හරියාකාරව වියදම් කරන්නේ කොහොමද? යන්න පිළිබඳ තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.

යම් පුද්ගලයකුට ලැබෙන මුළු ආදායම කොටස් හතරකට බෙදා හතරෙන් එක් කොටසක් මේ ජීවිතයේ පරිභෝජනයට ගත යුතුයි. ඒ පරිභෝජනයට ගන්නා කොටසින් ම දන් දීමට ද යොදවන ලෙස උන්වහන්සේ පෙන්වා වදාළහ. ඒ වගේ ම ඒ මුළු ආදායමෙන් කොටස් දෙකක්, නැතිනම් හරි අඩක් නැවත ආයෝජනය කළ යුතුයි. තමන්ගේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් එය ආයෝජනයක්. ඒ වගේ ම ඉතිරි හතරෙන් එක් කොටස අනාගතය වෙනුවෙන් තැන්පත් කර තැබිය යුතුයි. ඒ තමන්ගේ හෝ පවුලේ හෝ කෙනකුගේ ලෙඩක දී දුකක දී යම් වූ ද අවශ්‍යතාවයක දී ගැනීම සඳහා යි.

යම් අයෙක් උපයන යම් ධනයක් වේ නම්, මේ ආකාරයෙන් වියදම් කරන්නේ නම් අපහසුවෙන් වූවද ඔහු ලබන ආදායමෙන් හරි අඩක් ම නැවත ආයෝජනය කරනවා නම් ඒ ආයෝජනය මාසයකින්, අවුරුද්දකින් දෙකකින් ඉහළ ආදායමක් බවට හැරෙනවා. එය තවත් කලෙකින්් දෙගුණ, තෙගුණ වෙනවා. එසේ ආදායම වැඩිවෙන්න වැඩිවෙන්න තමන්ට පරිභෝග කරන්න ලැබෙන කොටසත් වැඩිවෙනවා. දන් දීමට ලැබෙන කොටසත් වැඩිවෙනවා. ඉතිරිවන ආදායමත් වැඩිවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර්ථ දර්ශනය යම් පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට ගළපා ගන්නේ නම් ඒ කිසිම පුද්ගලයකුට වරදින්නේ නැහැ.

මේ ආකාරයෙන් සැලසුම් කර ගන්නා ජීවිතයට අවම වශයෙන් හෝ පංච සීලය රැකීම ද ඉතා වටිනා බව ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තම ජීවිතය දුගතියේ නොයවා අවම වශයෙන් සුගති මාර්ගයේවත් යැවීමට යි. පංචසීලය රකිමින්, දන් දෙමින් තම මවට, පියාට සලකමින්, මහා සංඝරත්නයට ගරු සත්කාර කරමින් තිසරණයේ පිහිටමින්, සැප සතුට ලබමින් හොඳින් කාල ඇඳල වැරැදි දේ නොකර, සැප සේ ජීවත්වන්නට පෘතග්ජන මනුෂ්‍යයාට නිවැරැදි මාවත පෙන්වා දුන්නා.

එසේ නැතිනම් හැඬූ කඳුළින්, මේ සියලු දේ අනිත්‍ය යැයි පවසමින් හඬ හඬා ඉන්න නොවෙයි. ඒ අනිත්‍යභාවය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය විපස්සනා නුවණින් අවබෝධ කළ යුතුයි. එසේ අවබෝධ කිරීම ද ජීවිතයක සාර්ථක බවට හේතු වනවා.

මේ හැම දේට ම ප්‍රථම පෘතග්ජන පුද්ගලයා සාමාන්‍ය ජීවිතයේ බොහෝ හොඳට ජීවත්වන ආකාරය දැන ගන්න අවශ්‍යයයි. මෙලොව වශයෙන්, පරලොව වශයෙන් අනතුරක් නොවී, තමන්ටත් අනුන්ටත් අනතුරක් නොවන ආකාරයට හොඳ මානසික මට්ටමකින්, කායික ශක්තියකින් මේ මහ පොළවේ ජීවත් වෙනවා නම් සැබවින් ම ඒ පුද්ගලයා මෙලොව වශයෙන් පරදිනවා ද? නැහැ. ඇයි ඔහු මෙලොව පරදින්නේ නැත්තේ. ඔහුට හොඳ ගතේ වීර්යයක් තිබෙනවා. සිතේ ශක්තිය තිබෙනවා. තමන් උපයා ගත් දේ නාස්ති කරන්නේ නැහැ.

ඒ වගේ ම බුද්ධ දේශනාවට ගරු කරනවා. ඒ සද්ධර්මය ජීවිතයට ආදේශ කරගෙනයි ජීවත් වන්නේ. ඒ නිසා පින් වැඩෙනවා. එසේ පින් වැඩෙන්න, වැඩෙන්න ඔහුගේ ජීවිතය දියුණු වෙනවා. සාර්ථක වෙනවා. හොඳ ජීවන අස්වැන්නක්, ගුණාත්මක අස්වැන්නක් ඔහුගේ ජීවිතයට ලැබෙනවා.